Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව විදුලියත් අමෙරිකානු සමාගමකින් මිලදී ගැනීමට සුදානම්

ඇමරිකානු සමාගමකින් විදුලිය ලබාගැනීම සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පසුගිය ඔක්තෝබර් 19වන දින කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙසේ විදුලිය මිලදීගැනීම විදුලිබල මණ්ඩල පනතේ 43වන වගන්තිය ප්‍රකාරව පටහැනි වන අතර මෙලෙස නීතිවිරෝධීව විදුලිය මිලදීගැනීමට යන්නේ මේ වනවිටත් එවැනිම නීති විරෝධී විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් තුනක් ක්‍රියාත්මක් වෙමින් ඇති පසුබිමකය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාශයෙහි නීතිවිරෝධී විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් අහෝසි කරන බව පැහැදිලිවම සඳහන්ව තිබුණ මේ වනවිටත් නීතිවිරෝධීව විදුලිය මිලදී ගන්නා ඇඹිලිපිටිය ඒස් පවර්, මාතර ඒස් පවර් හා සපුගස්කන්ද ඒෂියා පවර් දැවිතෙල් විදුලි බලාගාර සමග ඇති ගිවිදුම් 2023 දක්වා දීර්ඝ කිරීමටද අමාත්‍ය ඩලස් අලහප්පෙරම විසින් මෙම කැබිනට් පත්‍රිකාව මගින් ඉල්ලා ඇත.

මෙම නීතිවිරෝධී විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් 2021 වසරේ අප්‍රේල් 21 වැනිදායින් අවසන් වීමට නියමිතය.

විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් M/S New Fortress Energy නැමති ඇමරිකානු සමාගමෙන් විදුලිය මිලදීගැනීමට කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත් කර ඇත්තේ එවැනි පසුබිමක් තුළ වීමද විශේෂත්වයකි.

මීට පෙර එනම් මහ මැතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ඇමරිකානු තානාපතිවරිය විසින් එවකට හිටපු විදුලිබල ඇමති මහින්ද අමරවීර මහතා වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඔහු මහ මැතිවරණයට පෙර අදාළ යෝජනාව සහිත කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබී ඇත. ඩලස් අලහප්පෙරම ඇමතිවරයාගේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් පරිදි මෑතකදී ඇමරිකානු තානාපතිනිය ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා මුණගැසී ඇමරිකානු සමාගමෙන් විදුලිය මිලදී ගැනීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත. එම යෝජනාව අනුව කිලෝවෝට් පැයකට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 0.099 (අද රු. 18.29)ක මුදලකට වසර 05ක කාලයක් සඳහා විදුලිය ලබාදීමටද තානාපතිවරිය එකඟතාවය පළකර ඇති බව සදහන්.

විදුලිබල මණ්ඩල පනතේ කුමක් සඳහන් වුවත් එය පසෙකින් තබා මේ වනවිට ඇමරිකානු සමාගමකින් විදුලිය මිලදීගැනීමට කැබිනට් මණ්ඩලයේ අවසර ඉල්ලා ඇත.

මේ අතර මේ වසරේ විදුලියේ පාඩුව රුපියල් කෝටි 10,000ක් බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. එමෙන්ම 2025 වසර වනවිට විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා මෙගා වොට් 2.749ක ධාරිතාවයක් වැඩිපුර එකතු කළ යුතුව ඇත.

© lankatruth.com