Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව පුංචි අයවැය 3ක් පරාදයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අම්පාර නගර සභාව, ජාඇළ ප්‍රාදේශීය සභාව සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවල අයවැය අද (12) පරාජයට පත්වුණා.

අම්පාර නගර සභාවේ අයවැය පරාජයට පත්වුණේ 6කින්. අද පැවති ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්ද 12ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 6ක් පමණයි.

අම්පාර නගර සභාව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 9 දෙනකුගෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකුගෙන්, නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 3 දෙනෙකුගෙන්, ජනතා විමුක්ති පෙරමුණේ සහ ස්වාධීන කණ්ඩායමක මන්ත්‍රීවරන් දෙදෙනෙකු බැගින් සැදුම් ලබනවා.

කෙසේ වෙතත්, ඡන්ද විමසීමේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් 6 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් 3 දෙනෙකු අයවැයට සහය පළ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 3 දෙනා අයවැයට විරුද්ධ වීම විශේෂත්වයක්. එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ සහ ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරුන් දෙදෙනා ද ඡන්දය ප්‍රකාශ කළේ අයවැයට විරුද්ධවයි.

පොදුජන පෙරමුණට බලය හිමි ජාඇළ ප්‍රාදේශීය සභාවේ අයවැයද පරාජයට පත්වුණේද වැඩි ඡන්ද හයකින්.

අයවැයට විරුද්ධව ඡන්ද 24 ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 19ක් පමණයි. මන්ත්‍රීවරුන් 47 දෙනෙකුගෙන් සමන්විත ජාඇළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 23ක්.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකු, ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරුන් හතරදෙනෙකු, ජාතික ජනතා පක්ෂය සහ ස්වාධීන කණ්ඩායමකින් එක් මන්ත්‍රීවරයෙකු බැගින් නියෝජනය කරනවා.

කෙසේ වෙතත් අද පැවති ඡන්ද විමසීමේදී විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමඟ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හතරදෙනෙකු ද අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා.

පොදුජන පෙරමුණට බලය හිමි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 17කින් පරාජයට පත්වුණා.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හත්දෙනෙකු, එක්සත් ජාතික පක්ෂයේ හයදෙනෙකු, කම්කරු කොංග්‍රස් තුන්දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණේ සහ ස්වාධීන කණ්ඩායමේ එක් අයෙකු බැගින් සමන්විත මෙම ප්‍රාදේශීය සභාවේ අද පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ලැබුණේ ඡන්ද තුනක් පමණයි.

විපක්ෂය සමඟ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා.