Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවට නියාමන ආයතන වදයක් වෙයි – සංවර්ධනයට බාධාවක් බව පවසමින් එකින් එක අහෝසි කිරීමේ උත්සාහයක – මහජන උපයෝගිතා කොමිසම ඈවරයි , දෑවරයි

රාජ්‍ය ආයතනවල සිදුවන ඇතැම් අත්තනෝමතික ගණුදෙනු සහ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා ස්ථාපිත කර ඇති නියාමන ආයතන රටේ සංවර්ධනයට අහිතකර බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

ඔහු පෙන්වා දී අත්තේ අදාළ නියාමන ආයතන මගින් ඒකාකාරී ආයතනවලට තරගකාරීත්වයක් ඇතිකොට පාරිභෝගිකයන්ට තරගකාරී මිල සහ ඉහල ප්‍රමිතිය සහිත නිෂ්පාදන ලබාගැනීමට ඉඩ සැලසීම වෙනුවට එම සේවා සපයන ආයතන කළමනාකරණයට සහ පාලනයට උත්සහ කිරීම ගැටළුවක් වී ඇති බවයි.

එය ආර්ථික සහ සමාජ සංවර්ධනයට බාධාවක් වී ඇති බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

තව ද මහජන උපයෝගිතා කොමිසම විදුලිය,ජලය , ඛනිජ තෙල් , අපද්‍රව්‍ය කළමනාකරණය වැනි සේවා නියාමනය ඇතුළුව පුළුල් රාජ්‍ය හා පුද්ගලක තරඟකාරීත්වය තුල ආයෝජන , මහජන සුබසාධනය වැඩිවන අයුරින් කටයුතු කල යුතු වුවත් මහජන උපයෝගිතා කොමිසමේ සිට මහබැංකුව දක්වාම පසුගිය කාලයේ අමිහිරි අත්දැකීම් වාර්තා කර ඇතැයිද අගමැතිවරයා දෙසැම්බර් මස 16 වෙනිදා තමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අදාළ සංදේශයෙහි සදහන් කර තිබෙනවා.

ඒ අනුව එම ලිපය මගින් යෝජනා කර තිබෙන්නේ අදාල ආයතනවල නියාමනය අවලංගු කොට ඒ වෙනුවට නව යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාවයයි.

ඒ අනුව අදාල ලිපිය මගින් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සිදුකෙරෙන බැංකු හා මුල්‍ය ආයතන නියාමනය,

රක්ෂණ නියාමන කොමිසන් සභාව මගින් සිදුකරන රක්ෂණ සමාගම් නියාමනය,

ශ්‍රී ලංකා සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව මගින් සිදුකෙරෙන ප්‍රාග්ධන කොටස් වෙළඳ පොළ නියාමනය,

පරිසරය අධිකාරිය මගින් සිදුකෙරෙන පරිසර ක්ෂේත්‍රයේ නියාමනය,

ඖෂධ අධිකාරිය මගින් සිදුකෙරෙන ඖෂධ සම්බන්ධ නියාමනය,

විශ්ව විද්‍යාල කොමිෂන් සභාව මගින් සිදු කෙරෙන විශ්වවිද්‍යාල කටයුතු නියාමනය.

මහජන උපයෝගීතා කොමිසම හරහා සිදුකෙරෙන විදුලිය, ජලය සහ ඛනිජ තෙල් මිලදී ගැනීම හා විකුණුම් මිල තීරණය නියාමනය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් සිදු කෙරෙන විදුලි සංදේශ නියාමනය ආදී නියාමන ආයතන සහ නියාමනයන පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කර ඇති නියාමන ආයතන එකවරම අහෝසි කිරීමේ බලයක් රජයකට නැහැ.

මෙම ආයතන අහෝසි කිරීමේ මුල් පියවර ලෙස විදුලිය, ජලය සහ ඛනිජ තෙල් මිලදී ගැනීම හා විකුණුම් මිල තීරණය කරන මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට අගමැතිවරයා මෙම ලිපිය හරහා යෝජනා කර තිබෙනවා.

මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට පෙර ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියකින් දන්වා තිබුණු අතර එයට විශාල විරෝධයක් එල්ල වූ අතර අවසානයේ එම කොමිසමේ සභාපති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය කිත්සිරි ලියනගේ, මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු සියලු සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙසට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දුරකථනයෙන් දන්වා තිබුණු බවද මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා.

ජනාධිපති ලේකම්වරයා විසින් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට අදාළව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කර තිබු ලිපිය

මහජන උපයෝගිතා කොමිසම 2002 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කර තිබෙන අතර විදුලිය, ඛනිජතෙල් , සහ බලශක්ති ක්ෂේත්‍රයන් තුළ සිදුවූ අකටයුතු කම් රැසක් හෙළි කළ නියාමන ආයතනයක් ලෙස පසුගිය යහපාලන පාලන සමයේද කතා බහට ලක් වුණා.

යහපාලන සමයේ මුහුදේ නැංගුරම්ලන ලද තුර්කි නෞකාවකින් ඉන්ධන මිලදී ගැනීමේ රජයේ උත්සාහක් ද වලක්වා තිබුණේ මහජන උපයෝගිතා කොමිසමේ මැදිහත් වීම මතයි.

විශාල දුෂණයක් පිළිබඳ හෙළිදරව්වක්

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා චෝදනා කරන්නේ ආණ්ඩුව මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට සැරසෙන්නේ බරපතල මුල්‍ය වංචාවක් සිදුකිරීම සඳහා බවයි.

ආණ්ඩුව චීන රජයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා දරන උත්සාහයට සහ විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලිය මග හැර චීන සමාගමකට පුත්තලම ප්‍රදේශයේ ගල් අඟුරු බලාගාරයක් සැදීම සඳහා ඉඩකඩ ලබා දීමේ අරමුණින් මෙම සියල්ල සිදු කරන බව ඔහු සඳහන් කළා.

© මුලාශ්‍ර – LankaTruth.com