Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අල්කයිඩා නායකයා මැරුණා ද?

1998 වසරේ දී කෙන්යාවේ සහ ටැන්සානියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලවලට අල්කයිඩා විසින් එල්ල කළ ප්‍රහාරවලින් සිය ගණනක් මිය ගියහ. එයින් පසු ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ලොව නන් දෙසින් අසන්නට ලැබිණි. මෙම අල්කයිඩා සටන්කාමී කණ්ඩායමේ නායකයෙකු පසුගිය අගෝස්තුවේ ටෙහෙරානයේ දී ඝාතණය කළ බවට වූ වාර්තාවක් ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය දිනෙක නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ අල්කයිඩා සංවිධානයේ දෙවන සේනාධිනායකයා වන “අබ්දුල්ලා අහමඩ් අබ්දුල්ලා” නමැත්තා ඇමරිකා එක්සත් ජනපදයේ ඉල්ලීමකට අනුව ඊශ්‍රායල නියෝජිතයන් විසින් වෙඩි තබා ඝාතණය කෙරුණු බවයි. එහෙත් ඉරානය කියා සිටියේ තම රටේ අල්කයිඩා ත්‍රස්තවාදීන් නොමැති බවයි.

1998 දී පුද්ගලයන් 224 දෙනෙකු ඝාතණය කෙරුණු කෙන්යාවේ සහ ටැන්සානියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලවලට බෝම්බ හෙලීමට අදාළ ඉහත සඳහන් මාරාන්තික ප්‍රහාර සැලසුම් කළ බවට අබ්දුල්ලාට චෝදනා එල්ල වී තිබිණි. අන්වර්ථ නාමය වන “අබු මුහම්මද් අල් මස්රි” යන නමින් වඩාත් ප්‍රසිද්ධියට පත් අබ්දුල්ලා සහ ඔහුගේ දියණිය පසුගිය අගෝස්තු 7 වන දින යතුරුපැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා මරා දමන ලද බව නිව්යෝක් ටයිම්ස් වාර්තා කළේ ය.

ඉරානය මුලින් අබ්දුල්ලාගේ මරණය වසන් කිරීමට උත්සාහ කර තිබේ. ඉරාන සහ ලෙබනන් මාධ්‍ය වාර්තා මඟින් අගෝස්තු 7 වන දින සිදු වූ මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ ලෙබනන් ජාතික ඉතිහාස මහාචාර්යයවරයකු සහ ඔහුගේ දියණිය බව මාධ්‍යය වෙත ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, ඉරානයේ විදේශ අමාත්‍යංශය සෙනසුරාදා එම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ,

“වරින් වර වොෂිංටන් සහ ටෙල් අවිව් විසින් ඉරානය එවැනි කණ්ඩායම් සමඟ ගැටගැසීමට උත්සාහ කරන්නේ බොරු හා ව්‍යාජ තොරතුරු මාධ්‍යයට කාන්දු කරමිනි. අල්කයිඩා කණ්ඩායම සහ කලාපයේ අනෙකුත් ත්‍රස්ත කණ්ඩායම් අප සමඟ සම්බන්ධතා පවත්වන බව ඔප්පු කිරීමට ඔවුන් උත්සාහ කරති.” යනුවෙනි.

පසුව බටහිර බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් ඊශ්‍රායලයේ චැනල් 12 ගුවන් විදුලි නාලිකාව වාර්තා කළේ අබ්දුල්ලාගේ මරණය “ඊශ්‍රායලයේ හා එක්සත් ජනපදයේ අවශ්‍යතා එකට එකතු වූ” මෙහෙයුමක ප්‍රතිඵලයක් බවයි. මන්ද ඔහු ලොව පුරා ඊශ්‍රායලයට හා යුදෙව්වන්ට එරෙහි ව ප්‍රහාර සැලසුම් කරමින් සිටි බැවිනි. අබ්දුල්ලා යනු මැද පෙරදිග හා අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල ගැටුම් සැලසුම් කළ සහ 2001 සැප්තැම්බර් 11 එක්සත් ජනපදයේ ප්‍රහාර එල්ල කළ ජිහාඩ් කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකි. ඔහු 2003 සිට ඉරානයේ ජීවත් ව ඇති අතර, මුලින් නිවාස අඩස්සියේ සිටි නමුත් පසුව නිදහසේ ජීවත් වූ බව ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීහු සඳහන් කළහ.

ඉරානය සහ අල්කයිඩා අතර ඇති ඕනෑම සම්බන්ධයක් අතිශය අසාමාන්‍ය වනු ඇත. මන්දයත් දෙපාර්ශ්වය එකිනෙකා අතර සිදු වන ගැටුම්වල දී අමානුෂික අන්දමින් සටන් කර ඇති බැවිනි. මෙම දෙපක්ෂය ඉස්ලාමයේ ප්‍රධාන ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙක නියෝජනය කරයි. ඉරානය බොහෝ දුරට ෂියා මුස්ලිම් වන අතර අල්කයිඩා සුන්නි ජිහාඩ් කණ්ඩායමකි. ඝාතණය පිළිබඳ ආරංචිය කෙසේවුවත් අබ්දුල්ලා තවමත් එෆ්.බී.අයි. ආයතනය තුළ වඩාත් ම අවශ්‍ය ත්‍රස්තවාදී ලැයිස්තුවේ පෙනී සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වන තොරතුරු සඳහා ඩොලර් මිලියන 10ක ත්‍යාගයක් ද පිරිනැමෙනු ඇත.