Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අතීසාරයට අමුඩෙ ගහලා වැඩක් ඇද්ද?

අතීසාරය ඇතිවන්න බැක්ටීරියාවක් නිසා ය. මෙම රෝගය බඩවැලේ දැවිල්ල ඇති කරන අතර රුධිරය පිට කෙරෙමින් පාචනය ඇති කරයි. පුරාණයේ දී මෙම රෝගයට හේතුව ඔවුන් දැන නොසිටි හෙයින් පිළියම් යෙදීම ද බෙහෙවින් අවම විය.

කෙසේ වෙතත් පැරැන්ණෝ ඒ සඳහා ප්‍රතිකාරයක් වශයෙන් කුකුළු මස් සුප් බීමට ගෙන තිබේ. ඇතැම්හු සුළු ආසියාවෙන් හමු වන ස්වදේශික තාර වර්ගයක් වන බිටුමන් මෙම ගැටලුව මඟහරවා ගැනීම සඳහා භාවිත කළහ. කාන්තාවන්ගේ ඔසප් වීම වේගවත් කිරීමට ද බිටුමන්වලට හැකි බව විශ්වාස කෙරෙයි.

තිත් කටුස්සාගේ මස් ද ඵලදායී පිළියමක් විය. එනමුත් එය ඖෂධයක් වශයෙන් ගැනීමට නම් එම සත්ත්වයින් සිටිනා රටක් සොයා ගෙන, ඔවුන් ආනයනය කර ගැනීමට සිදු විය. නියමිත තිත් කටුසු වර්ගය ගෙන, තම්බා බීමට ගැනීම පිළියමක් යැයි පොත් පත්වල ලියවී තිබුණ ද, එහි සඳහන් අන්දමේ සැබෑ තිත් කටුස්සන් වෙසෙනා ස්ථානයක් අදටත් වාර්තා වී නොමැත.

අතීසාරය සඳහා තවත් ප්‍රතිකාරයක් වූයේ බිත්තරයක සුදු මදය ඉවත් කොට, කහ මදය පමණක් ගෙන එය පොපි යුෂ සහ වයින් සමඟ මිශ්‍ර කොට ප්‍රයෝජනයට ගැනීම ය. එපමණක් නොව රෝගය සුව කිරීම සඳහා පැරැණි රෝමානුවන් විසින් පුදුමාකාර ඖෂධයක් ලෙස සැලකූ දෙළුම් මල් නෙළා ආහාරයට ගෙන තිබේ. කෙසේ වෙතත් මෙම උපක්‍රමවලින් බොහොමයක් සාර්ථක ව ඵල දැරීමට නම්, රෝගියාගෙන් අධෝ මුඛයෙන් පිට කෙරුණු රුධිරය, වයින් සහ ගිජුලිහිණියෙකුගේ පෙනහලු සමඟ මිශ්‍ර විය යුතු ව තිබිණි.

නින්දෙන් මුත්‍රා පිට වීම.

නින්දෙන් මුත්‍රා පිට වීමට නොයෙකුත් හේතූන් තිබිය හැකි ය. හයිනාවෙකුගේ මුත්‍රාශය ගෙන එය වයින්වල පොඟවා ආහාරයට ගැනීමෙන් මෙයින් මිදීමට හැකි විය. පුළුස්සන ලද වල් ඌරන්ගේ මුත්‍රාශය ද බෙහෙවින් කාර්යක්ෂම ඖෂධයක් ලෙස සැලකිණි.

අල්ලා ගැනීමට හැකි වී නම්, පුළුස්සා ගන්නා ලද මුහුදු අශ්වයින් ද මෙම අපහසුතාව සඳහා පොදු පිළියමක් විය. විශාල මාළුවෙකුගේ බඩ තුළ තිබී හමු වන කුඩා මාළුවන් තවත් හොඳ ඖෂධයක් වූ බව පෙනේ. ග්‍රීක ඉතිහාසඥයෙකු වූ ප්ලිනි යෝජනා කළේ පීඩාවට පත් වන තැනැත්තා කුඩා දරුවෙකු නම්, ඔහුගේ ආහාර සමඟ තම්බා ගත් මීයන් අනුභව කිරීමට ලබා දෙන ලෙස ය.

මේ සියල්ලෙන් අමුතු ම පිළියම නම් පැපිරස් හෝ ලිනන් පත්‍ර ගෙන රෝගියාගේ ලිංගික අවයවයේ අගට ස්පර්ශ කිරීම ය. එය අසාර්ථක වුවහොත්, ලිංගික අවයවය වටා ලිනන් හෝ පැපිරස් නූලක් බැඳ, නූලේ අග කකුල වටා ගැට ගැසීම ප්‍රයෝගයක් විය.

ඌරෙකුගේ ලිංගේන්ද්‍රිය පුළුස්සා, වයින් සමඟ මිශ්‍ර කොට එම මිශ්‍රණය පානය කිරීමෙන් මුත්‍රා අසහනය පාලනය කළ හැකි වූ බව පෙනේ. පසු කලෙක දී එය “සූකර වයින්” යනුවෙන් ජනප්‍රිය විය. ලතින් භාෂාවෙන් රචනා කරක ලද ග්‍රන්ථයක මෙම වයින් පානය කිරීමට හේතුව වශයෙන් ලියා තිබෙන්නේ “බල්ලෙකු කරනවාක් මෙන් මා විසින් මගේ ඇඳ තෙත් නොකිරීම සඳහා මෙය පානය කරමි.” යනුවෙනි.

රක්තවාතය

රක්තවාතය හා උග්‍ර දැවිල්ල ඇති කරවන ආතරයිටිස් නැවත නැවතත් ඇතිවීමේ වේදනාව ක්‍රම කිහිපයකින් සුව කළ හැකි ය. අබ, කුංකුම, පිරිමි එළුවෙකුගේ මේදය සහ ගැහැනු එළුවෙකුගේ බෙටි සංයෝජනය කිරීමෙන් රෝග ලක්‍ෂණ අවම කර ගැනීමට පෙර යුගවල මිනිසුන්ට හැකි වී තිබේ.

ඇතැම් වෛද්‍යවරුන් විසින් රෝගයෙන් බලපෑමට ලක් වූ කොටස් මත මුහුදු හාවෙකු ඇතිල්ලීමට සහ බීවරයෙකුගේ සමෙන් සාදන ලද සපත්තු පැලඳීමට නියම කරන ලදී. ප්ලිනි විසින් “පොන්ටික් බීවර්” යනුවෙන් සිය ග්‍රන්ථවල විස්තර කර තිබෙන්නේ මෙම වඩාත් ඵලදායී ප්‍රතිකර්මය යි.

ඔසප් වෙමින් සිටින කාන්තාවකගේ ස්පර්ශය තුළින් රක්තවාත රෝග ලක්‍ෂණ සමනය කළ හැකි බව ප්ලිනි විශ්වාස කළේ ය. ලිලී මල්වලින් තම්බා ගත් වසු පැටියෙකුගේ ගොම ද ප්‍රයෝජනවත් ප්‍රතිකාරයක් ලෙස විශ්වාස කෙරිණි. කණගාටුවට කරුණක් නම්, කණුවක බැඳ තබන නරියෙකු පණ පිටින් සිටිය දී ම තෙල් දමා තම්බා ගෙන ප්‍රතිකාර වශයෙන් භාවිත කිරීම ය. එය රක්තවාතය සුව කිරීම සඳහා ඵලදායී පානයක් බවට විශ්වාස කෙරිණි.

 අපස්මාරය

නූතන යුගයේ අපස්මාරයට ප්‍රතිකාර කිරීම තරමක් අභියෝගාත්මක වුවත්, පැරැණි ජනතාව විශ්වාස කළේ මීට සාර්ථක පිළියම් ගණනාවක් ඇති බවයි. නිදසුනක් වශයෙන් රාත්‍රියේ දී උල්පතකින් ලබා ගත් ජලය, මිය ගිය මිනිස් හිස්කබලකට පුරවාගෙන ගොස් පානයට ලබා දිය හැකිය.

තවත් පියවරක් වූයේ යකඩ ආයුධයකින් මරා දැමූ මෘගයෙකුගේ මස් ආහාරයට ගැනීම යි. එහෙත් ඊට පෙර මෙම ආයුධයෙන් ම මිනිසෙකු මරා දමා තිබිය යුතුය. ඒ සියල්ල අසාර්ථක වුවහොත් අද මෙන් යකඩ ඇණයක් තැබීම උපකාරී වනු ඇත.

වළසෙකුගේ හෝ වල් ඌරෙකුගේ වෘෂණ කෝෂ කිරිවල හෝ ජලයේ ගිල්වා තබා, රෝගියාට පානය කිරීමට ලබා දීම ඉතාමත් සාර්ථක ප්‍රතිකාරයක් ලෙස සැලකිණි. පැටවෙකු බිහි කළ පසු බූරු දෙනකගෙන් පිට වන සුවඳ (විශේෂයෙන් පිරිමි පැටවෙකු ලැබුණේ නම්) වලිප්පුව ඇති අයට ප්‍රයෝජනවත් විය. කෙසේ වෙතත්, මෙය ප්‍රායෝගික හෝ කාලෝචිත විසඳුමක් නොවී ය.

කිසිදු ප්‍රතිකර්මයකින් සුව නොවී නම් වියළන ලද ඔටු මොළයක් ගෙන විනාකිරි දමා බලපෑමට ලක් වූ රෝගියාට ආහාරයට දෙනු ලැබිණි.

ශ්‍රීනි ලංකා ජයකොඩි