Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හොරුන්, දුෂිතයන්, මංකොල්ලකරුවන් නිදහස් කරගැනීමට ඇටවූ ජනාධිපති කොමිසමක් පිලිබඳ ජවිපෙ හෙළිදරව්වක

දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා යැයි පවසමින් පත්කළ ජනාධිපති කොමිසමේ ක්‍රියාකාරීත්වය දැඩිව විවේචනය කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා.

ජාතික රුපවාහිනියට අදාල බැසිල් රාජපක්ෂ මහතා චුදිතයෙකු ලෙස නම් කර තිබු නඩුව , උදය ගම්මන්පිල මහතා ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයෙකුගෙන් සිදු කල මුල්‍ය වංචාවට අදාල සිදු වීමට අදාළ නඩුව, යෝශිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ගොනු කර තිබු නඩුවේ සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීම ඇතුළු නිර්දේශ රැසක් අදාළ කොමිසම මගින් නිර්දේශ කිරීම අධිකරණ පද්ධතියට එල්ල කල බරපතල තර්ජනයක් බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙනවා.

මෙහි ඇති බරපතල කාරණාව වන්නේ දුෂිතයන්ට එරෙහිව නඩු පැවරූ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන ලෙස අදාල කොමිසම සිදු කල නිර්දේශයන් මගින් පැමිණිලිකරුවන්ට සහ සාක්ෂිකරුවන්ට එල්ල වී ඇති බලපෑමයි.

මීට අමතරව නාලක ගොඩහේවා මහතාට එරෙහිව පවරා තිබු නඩුවෙන් ගොඩහේවා මහතා මෙන්ම ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් මහතාට එරෙහි මිනීමැරුම් නඩුව සම්බන්ධයෙන් වූ අධි චෝදනා වලින් පවා පිල්ලයාන් මහතා පවා නිදොස් කොට නිදහස් කිරීමට අදාළ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කර තිබීම පුදුම සහගත බවයි.

එමෙන්ම හිටපු ඇමරිකානු තානාපති ජාලිය වික්‍රමසුරිය මහතා සමබන්ධයෙන් ඇති චෝදනා වලින් ඔහු නිදහස් කර ඔහුට විරුද්ධව නඩු පැවරූ පුද්ගලයින් වරදකරුවන් කිරීමට කටයුතු කරන බවද මෙහිදී අනාවරණය වුණා.

එමෙන්ම රාජ්‍ය නිලධාරියෙකු ද නොවන අවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඔහුට එල්ල වී ඇති චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට මෙම කොමිසම මගින් නිර්දේශ කර තිබීම බරපතල ගැටළුවක් වන බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙනවා.

රෝහිත බෝගොල්ලාගම මහතාගේ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ නඩුවෙන් බෝගොල්ලාගම මහතා නිදහස් කිරීමටද මෙම කොමිසම මගින් යෝජනා කර ඇති බව සඳහන්.

එමෙන්ම කුප්‍රකට මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින උදයංග වීරතුංග මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කරුණු ගොනු නොකළ යුතු බවත්, ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් අදාල කොමිසම මගින් නිර්දේශ කර තිබෙනවා.

මෙහි දී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික විජිත හේරත් මහතා සඳහන් කලේ, මේවන විට එම වංචාවන් , දුෂණයන් සම්බන්ධයෙන් මැදිහත් වෙමින් ඊට එරෙහිව කටයුතු කළ නිලධරීන්, රාජ්‍ය සේවකයින් සහ සිවිල් ක්‍රියාකාරීන් වරදකරුවන් කිරීමට මෙම කොමිසම හරහා උත්සහ ගනිමින් සිටින බවයි.