Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හේමසිරිගේ චෝදනා මෛත්‍රීපාල ප්‍රතික්ෂේප කරයි.

හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේදී ඉකුත්දා තමන් සම්බන්ධයෙන් සිදුකළ ප‍්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම ප‍්‍රකාශය ද්වේශ සහගත කරුණක් බවයි. 

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පවසා තිබුණේ් පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම භාරගෙන පොලිස්පති ධූරයෙන් ඉවත් වුවහොත් විදෙස් තානාපති ධූරයක් ලබා දෙන බවට එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරට හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබූ බවයි.

එමෙන්ම ප‍්‍රහාරය පිළිබඳ සෙවීමට මුල්වරට පත්කෙරුණු මලල්ගොඩ කමිටුවේ වාර්තාවද වෙනස් කරන බව හිටපු ජනාධිපතිවරයා දැනුම් දී තිබූ බව හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු එහිදී ප‍්‍රකාශ කර තිබුණා.  

කෙසේවෙතත් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර, එම යෝජනාවට එකඟ නොවූ බවයි ඔහු පවසා තිබුණේ. එහිදී අදහස් දැක්වූ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ප‍්‍රකාශ කර තිබුණේ ප‍්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විසින් ප‍්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපතිවරයාව දැනුවත් කරන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

ඊට ප‍්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කොමිසම හමුවට ඉදිරි දිනකදී පැමිණීමට අවස්ථාව ලැබුණහොත් මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාල සියළු ප‍්‍රකාශ සම්බන්ධව සත්‍ය වු කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි. ප‍්‍රකාශයට පත් වූ කරුණු තරයේ ප‍්‍රතික්‍ෂේප කරන බවද හිටපු ජනාධිපතිවරයා පවසනවා.

කෙසේවෙතත් පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාවේ වගකීම හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා විසින් භාරගත යුතු බව සමගි ජනබලවේගය පවසනවා. එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ ආරක්‍ෂක අංශවලින් ලබාදුන් තොරතුරුවලට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු නොකළ බවයි.