Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හෙට ලොව ගිල ගන්නා චැපරේ.

වර්තමාන කොවිඩ් – 19 වසංගතයට හේතු වූ කොරෝනා වෛරසයෙන් සිදු වන මරණ සංඛ්‍යාව ලොවට ප්‍රමාණවත් නොවන නිසාදෝ, විද්‍යඥයින් විසින් “චැපරේ වෛරසය” නමින් තවත් මාරාන්තික වෛරසයක් බොලිවියාවෙන් සොයාගෙන ඇත. මෑත කාලීන වාර්තාවලට අනුව, එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (සී.ඩී.සී.) විසින් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිර යා හැකි තවත් වෛරසයක් වශයෙන් මෙය නම් කොට තිබේ. චැපරේ වෛරසය කිසියම් ප්‍රමාණයකින් දුර්ලභ වෛරසයක් වන අතර ඉබෝලා වෛරසය වැනි රක්තපාත උණ ඇති කරවන වෛරස් පවුලට අයත් වේ.

චැපරේ වෛරස යනු.

චැපරේ රක්තපාත උණ (CHHF) ඇතිවන්නේ ඉබෝලා වෛරස රෝගය (EVD) වැනි රෝග සඳහා වගකිව යුතු වෛරස පවුල තුළින් ම ය. චැපරේ වෛරසය අයත් වන්නේ අරා වයිරස පවුලට යි. මෙම වෛරස් පවුලට අදාළ රෝග අතිශයින්ම බෝ වන සුලු ය. චැපරේ වෛරසය මුලින් ම සොයාගත් බොලිවියාවේ “චාපාරේ” කලාපය අදාළ කොට ගෙන වෛරසය එම නමින් නම් කර ඇත.  

සම්ප්‍රේෂණය.

ආසාදිත මීයන් සමඟ ඍජු ව සම්බන්ධ වන විට හෝ ආසාදිත මීයන්ගේ මුත්‍රා හෝ මළ මූත්‍ර හරහා වක්‍ර ව වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වන බව වාර්තා වේ. ආසාදිත මීයන්ගේ කෙළ බිඳිති මඟින් වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බවට වාර්තා වේ.

ලයිව් සයන්ස්හි වාර්තාවකට අනුව පසුගිය දිනෙක බොලිවියාවෙන් තවත් රෝගීන් දෙදෙනෙකු හමු වී තිබේ. පර්යේෂකයින් විසින් ආසාදනය වූ පළමු පුද්ගලයා වටා ඇති නිවෙස්වල සහ අවට ගොවිබිම්වල විසූ මීයන් තුළ වෛරසයේ ලක්ෂණ සොයා ගන්නා ලදී.

“මීයන් තුළ තිබූ ආර්. එන්. ඒ.හි ජානමය අනුක්‍රමය මිනිස් ආසාදිතයින් තුළ අප දුටු දේ සමඟ හොඳින් ගැලපේ,” සී.ඩී.සී. වසංගත රෝග විද්‍යාඥ “කේට්ලින් කොසබූම්” පැවසීය. චැපරේ වෛරස ආර්.එන්.ඒ. ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති මීයන් විශේෂය වන්නේ ඌරු මීයා ලෙස අප සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන සත්ත්වයා ය. උන් බොලිවියාව පුරා සහ එහි අසල්වැසි රටවල් කිහිපයක ද දක්නට ලැබේ.

කෙසේ වෙතත්, පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ චැපරේ වෛරසය මිනිසාගෙන් මිනිසාට ද පහසුවෙන් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති බව යි. කොවිඩ් 19 වැනි තවත් වසංගතයක් වැළැක්වීම සඳහා මෙම අලුතින් සොයාගත් වෛරසය පැතිරීම නැවැත්වීමට නිසි පියවර ගත යුතු යැයි ඔවුන් යෝජනා කරන්නේ මේ හේතුව නිසා ය.

පර්යේෂකයන්ට අනුව, චැපරේ වෛරසය ශරීර තරල මගින් මිනිසුන් අතර සම්ප්‍රේෂණය විය හැකිය. නිරෝගී පුද්ගලයෙකු ආසාදිත පුද්ගලයෙකුගේ ශරීර තරල ගෑවුණු ඕනෑ ම දෙයක් සමඟ සම්බන්ධ වූ විට, ඔවුන්ට ද වෛරසය ආසාදනය විය හැකිය. එනම් කෙළ, සෙම, සොටු පමණක් නොව ශුක්‍ර තරලය මඟින් ද රෝගය බෝ වේ.

දෙවන වරට ආසාදිත රෝගීන් හමුවීමෙන් පසු මින් පෙර දී තරුණ වෛද්‍යවරයකුට, ගිලන්රථ වෛද්‍යවරයකුට සහ ආමාශ ආශ්‍රිත රෝග විශේෂඥයෙකු හට ද මෙම වෛරසය ම වැළඳී ඇති බව සනාථ විය. මෙම සෞඛ්‍ය සේවකයින්ගෙන් දෙදෙනෙක් පසුව මිය ගියහ. බොහෝ ශාරීරික තරල මඟින් වෛරසය රැගෙන යා හැකි බවට නිගමනය කිරීම සඳහා එම මරණ ද හේතුවක් වී තිබේ.

පර්යේෂකයන් කියා සිටියේ, පවතින සාක්ෂි මත පදනම් ව, සෞඛ්‍ය සේවකයින්ට රෝගය වැළඳීමේ වැඩි අවදානමක් ඇති අතර, එම නිසා රෝගීන්ගේ රුධිරය, මුත්‍රා, කෙළ හෝ ශුක්‍රාණුවලින් දූෂණය විය හැකි ද්‍රව්‍ය සමඟ සම්බන්ධ වීම වළක්වා ගැනීමට නම් රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී අතිශයින් ප්‍රවේශම් විය යුතු බවයි.

හදිසියේ හුස්ම සිර වුණු රෝගියෙකුගේ සෙම ඉවත් කරන අතරතුර රෝගය වෛද්‍යවරයාට ආසාදනය වීමට ඉඩ ඇති බව ඔවුහු සොයා ගත්හ. මේ අතර, පෙර දී රෝගයට ගොදුරු වූ නමුත් දිවි ගලවා ගත් ගිලන්රථ වෛද්‍යවරයා රෝහලට ප්‍රවාහනය කරමින් සිටිය දී එම වෛද්‍යවරයා නැවත පණ ගැන්වීමට උත්සාහ කිරීමේ අවස්ථාවේ දී ද අනෙකාට රෝගය ආසාදනය වී තිබිණි.

පර්යේෂකයන් විසින් ආසාදනය වී දින 168කට පසු දිවි ගලවා ගත් එක් අයෙකුගේ ශුක්‍රාණුව තුළ චැපරේ හා සම්බන්ධ ආ.ර්එන්.ඒ. ජානමය කොටස් සොයා ගන්නා ලදී. මෙයින් ඇඟවෙන්නේ මෙම රෝගය ලිංගික ව ද සම්ප්‍රේෂණය විය හැකි බවයි.

 රෝග ලක්ෂණ.

එක්සත් ජනපද සී.ඩී.සී.යට අනුව, උණ, හිසරදය, උදර වේදනාව, හිසරදය, පාචනය, වීදුරුමසින් ලේ ගැලීම, වමනය, සමේ කැසීම සහ ඇස් පිටුපස නිදන්ගත වේදනාව මෙම රෝගයේ පොදු රෝග ලක්ෂණ වේ. වෛරස රක්තපාත උණ යනු දරුණුතම මෙන් ම ජීවිතයට ද තර්ජනයක් විය හැකි අවස්ථාව වේ. එවිට රෝගය විවිධ අවයවවලට බලපානු ඇති අතර රුධිර නාලවල බිත්තිවලට ද හානි කරනු ඇත.

ප්‍රතිකාර.

විශේෂඥයන්ට අනුව, මෙම වෛරසයට දැනට ප්‍රතිකාරයක් සොයා ගෙන නැත. කෙසේ වෙතත්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීම, ප්‍රතිශක්තිය ගොඩනඟා ගැනීම සහ සමස්ථයක් වශයෙන් සෞඛ්‍ය සම්පන්න ව සිටීම යනු රෝග අවදානම වළක්වා ගත හැකි ක්‍රම කිහිපයක් ලෙස සැලකේ.

වෛරසය හමුවූයේ කෙසේද?

ලොව පුරා පර්යේෂකයන් දැන් උත්සාහ කරන්නේ තවත් SARS-CoV-2 වැනි වසංගතයක් ඇතිවීමේ හැකියාව ඇති වෛරස හා රෝග කාරක ඉක්මනින් හඳුනා ගැනීමට ය. එහෙයින් එම පර්යේෂකයෝ මෙම චැපරේ වෛරසය යනු කුමක්දැයි සොයා බැලීමට උත්සාහ කරමින් සිටියහ. වාර්තාවලට අනුව, 2004 දී වෛරසයේ කුඩා අවදි වීමක් ඇති වී තිබිණි. ඒ අනුව යමින් මෙම වෛරසයේ ස්වභාවය සොයා ගෙන තිබිණි. පසුගිය දිනෙක නැවත රෝගීන් හමු වූ විට, ඔවුන් පරීක්ෂා කිරීමෙන් රෝගය එය ම බව තහවුරු කර ගැනිණි.

සී.ඩී.සී.හි ව්‍යාධි විද්‍යාඥවරියක් වන මාරියා මොරාලෙස් – බෙටූල් පැවසුවේ “අපි වෛරසය හුදකලා කළා. අපි බලාපොරොත්තු වුණේ වඩාත් පොදු රෝගයක් සොයා ගැනීමටයි. කෙසේ වුවත් දැනට කිව හැක්කේ වෛරස ව්‍යාප්තිය තරමක් පාලනය කර ඇති බව පමණයි.” යනුවෙනි.

නව අනුක්‍රමික මෙවලම් මඟින් සී.ඩී.සී. විශේෂඥයින් හට ආර්.ටී.- පී.සී.ආර්. පරීක්ෂණ ඉක්මනින් සිදු කර ගැනීමට ලැබෙනු ඇත. කොවිඩ් -19 රෝග විනිශ්චය සඳහා භාවිත කළ ආකාරයට ම චැපරේ හඳුනා ගැනීමට එම යන්ත්‍ර උපකාර වනු ඇත. දැන් පර්යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත්තේ රෝගය රට පුරා ව්‍යාප්ත වන ආකාරය සහ මීයන් ඇත්ත වශයෙන්ම එහි ව්‍යාප්තියට වගකිව යුතු ද යන්න හඳුනා ගැනීමට යි. අප ගෙවතුවල ද ඌරු මීයන් සුලබ ව ගැවසෙන බැවින් මෙම චැපරේ වෛරසයේ බලපෑම පිළිබඳ වටහා ගැනීම ශ්‍රී ලාංකිකයන් හට ද බෙහෙවින් වැදගත් වනු ඇත.

ශ්‍රීනි ලංකා ජයකොඩි.