ඔබ සිතනා ආකාරයට දුම්කොළ ශරීරයට හිතකර ද? නූතන වෛද්‍ය විද්‍යාවට අනුව දුම්කොළ යනු පිළිකා කාරකයකි. ආසියාතිකයින් බොහෝ විට හප හපා සිටීමට හුරු වී ඇති බුලත් ද වෛද්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කරනුයේ මෙම දුම්කොළ ගැටලුව හේතුවෙනි. එම කතාව එසේ තිබෙන අතර දියෙහි ගිලී සිහි නැති වූ පුද්ගලයෙකු හට ඔබ ලබා දෙන ප්‍රථමාධාරය කුමක්දැයි සිතා බලන්න. සාමාන්‍යයෙන් එම පුද්ගලයා පැත්තට හරවා බඩ තද කරමින් කෘත්‍රිම ශ්වසනය දෙන අතරේ කෙසේ හෝ ශරීරය තුළ රැඳී ඇති ජලය ඉවත් කිරීමට උත්සාහ කිරීම සාමාන්‍ය ක්‍රමය යි. එහෙත් 1700 වසරේ දී පමණ මෙලෙස දියෙහි ගිලුණු පුද්ගලයින් බේරාගෙන ඇත්තේ අමුතු ම ක්‍රමයකට ය.
පැරැණි මිනිසුන් දුම් කුඩු උරා බීමට භාවිත කරන ලද උපකරණයක් තිබේ. එක් පැත්තකින් කෙළවර සිදුරක් සහිත දිගු නලයක් ද, අනෙක් පැත්තෙන් මයිනහමක් ද ඇති මෙම උපකරණය ඇතැම් ඓතිහාසික චිත්‍රපට හා නාට්‍ය මාලාවල දක්නට ලැබේ. සාමාන්‍ය මිනිසුන් දුම්කොළ කොටා, ඒ තුළට දමා ඉරූහ. එහෙත් ඇතැම් වෛද්‍යවරුන් මෙම උපකරණය ජිවිත බේරා ගැනීම උදෙසා යොදාගෙන තිබේ. එම පුනර්ජීවන කට්ටලය තුළට ඔවුන් ඇතුළු කර තිබුණේ ද අප මෙතරම් පිළිකා කාරක ලෙස සලකන දුම්කොළ හෝ නිකොටින් ය.
නිකොටින් යනු ශරීර උත්තේජකයකි. එබැවින් පැරැණි වෛද්‍ය වෘත්තිකයෝ සිරුර නැවත පණ ගැන්වීම සඳහා නිකොටින් භාවිත කළහ. මෙම ක්‍රමය තරමක් අමුතුයි. සරල ව කිවහොත් වෛද්‍යවරයා, මිය යමින් සිටින පුද්ගලයාගේ කලිසම පහත් කොට, සිදුර සහිත බට කෙලවර ගුද මාර්ගය තුළට ඇතුළු කරයි. ඉන්පසු අනෙක් කෙළවරින් දුම්කොළ කුඩු ඇතුළු කොට මයිනහමෙන් හුළං ගසනු ලැබේ. ඇතැම්හු මේ සඳහා මයිනහම වෙනුවට මුඛය ද යොදා ගෙන තිබෙන බවට සාක්ෂි ඇත. මෙලෙස ඇතුළු කරන ලද නිකොටින් දුමාරය ගුද මාර්ගයෙන් ශරීරයට ඇතුළු වී, රෝගියාගේ අධිවෘක්ක ග්‍රන්ථි උත්තේජනය කොට, ඇඩ්රිනලීන් නිපදවා, පුද්ගලයා වහා ම පුනර්ජනනය කරන බවට නිගමනය කෙරිණි.
1780 ගණන් වන විට එංගලන්තයේ රාජකීය පවුල විසින් තේම්ස් නදිය අසල විවිධ ස්ථානවල දුම්කොළ දුමාර හා වෙනත් පුනර්ජීවනය කිරීමේ උපකරණ ස්ථානගත කර තිබුණු බව වාර්තාවල සඳහන් වේ. මෙහි මූලාරම්භය වී තිබුණේ කෘත්‍රිම ශ්වසනය ඇතුළු දකුණු ඇමරිකානු ගෝත්රිකයන්ගෙන් ලබා ගෙන තිබුණු තාක්ෂණික දැනුම යි.
“ඇමරිකානු ජනකතා” සඟරාවට අනුව දුම්කොළ දුමාරයෙහි ඇති තෙතමනය රඳවා ගැනීමටත් ශරීරයේ අභ්‍යන්තර කොටස් උණුසුම් කිරීමට හා සමතුලිතතාව පවත්වා ගැනීමටත් ඇති හැකියාව නිසා මෙම උපකරණය මිනිසුන් අතර ජනප්‍රිය වීමට වැඩි කලක් ගත නොවීය.
මුල දී දියේ ගිලෙන අය සඳහා පමණක් මෙම ප්‍රතිකාරය භාවිතා කරන ලද නමුත් අවසානයේ දී හිසරදයට, ටයිපොයිඩ් උණට, කොලරාවට, හර්නියාවලට, සෙම්ප්‍රතිශ්‍යාවට මෙන් ම ඕනෑම ගැටලුවක් හේතුවෙන් ඇති වන මරණයකට එරෙහි ව සටන් කිරීම සඳහා ද මෙම “දුම් එනැමාව” භාවිත කරන ලදී. 1811 වන විට නිකොටින්වල හානිකර බලපෑම් අනාවරණය වූ අතර දුම් එනැමාවේ කාර්යයභාරය එයින් නිමා කෙරිණි.
හිස්ටීරියාවට අමුතු ප්‍රතිකාර.
වික්ටෝරියානු යුගයේ ජීවත් වූ කාන්තාවන්ගෙන් බොහොමයක් හිස්ටීරියාවට හෙවත් සාංකාවට ගොදුරු වී සිටි බව පෙනේ. ඊට හැමවිටම පාහේ හේතු වී තිබුණේ ලිංගික ගැටලු ය. බොහෝ ධනවත් කාන්තාවන්ට සිදු ව තිබුණේ සිය පවුලේ නම්බුව ආරක්ෂා කර ගැනීමේ අරමුණ පමණක් සිතේ දරා ගනිමින් පවුල් ජීවිත ගත කිරීමට ය.
යහපත වී තිබුණේ ඔවුන් මෙම සාංකාව රෝගයක් වශයෙන් පිළි ගැනීම ය. එහෙයින් එකල සිටි මනෝ චිකිත්සකවරුන් හට එවැනි කාන්තාවන් හට ප්‍රතිකාර කිරීම පහසු විය. වැඩි පිරිසකට තිබුණේ ලිංගික ගැටලු වූ හෙයින් එම වෛද්‍යවරුන් හට කිරීමට සිදු ව තිබූ එක ම ප්‍රතිකාරය නම් ඔවුන් හට කිසියම් ලිංගික උත්තේජනයන් ප්‍රතිකාර වශයෙන් ලබා දිය හැකි ක්‍රම නිර්මාණය කිරීම යි. මේ සඳහා ඔවුන් නොයෙකුත් උපකරණ පමණක් යොදා ගත් අතර එකල මනෝ චිකිත්සකවරුන් අද තරම් සුලබ නොවූ හෙයින් එක් පුද්ගලයෙකු හට රෝගීන් ගණනාවකට ප්‍රතිකාර කිරීමට සිදු වීම ඉතා වෙහෙසකර කටයුත්තක් වූ බව කියවේ. එහෙත් ප්‍රතිකාර ලැබීමෙන් පසු අදාළ කාන්තාවන්ගේ මානසික සංකූලතා ද නොසිතූ අන්දමින් අඩු වී, ඔවුන් ඉතා ප්‍රීතිමත් ගැහැනුන් බවට පත් වූ බව බොහෝ වාර්තාවල සඳහන් ව තිබේ.
ශ්‍රීනි ලංකා ජයකොඩි.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්