Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හරි, වැඩ පටන් ගමු

විලර්ඞ් ක‍්‍රිස්ටෝපර් ස්මිත් ලෙස උපන් ඔහු රඟපෑ චිත‍්‍රපට අතර මෙන් ඉන් බ්ලැක්, අයි රොබෝ, අයි ඈම් ලෙජන්ඞ් ආදිය වෙයි. හොලිවුඩය ඔහු හඳුනන්නේ විල් ස්මිත් ලෙස යි.

ඔයා ජී්වත් වුණේ ෆිලඩෙල්ෆියාවේ ලූ නේද? එහෙ ජීවිතේ මෙහෙට වඩා හොඳයි ද?
විශේෂ හොඳක් නැහැ. ඒත් අමුතුයි. මගේ වටේ හිටිය අයගෙන් සීයට පනහක් ම ජුදා ජාතිකයින්. ඉතුරු භාගේ මුස්ලිම්. මම විතරක් බැප්ටිස්ට්. ගියේ කතෝලික ඉස්කෝලෙකට. ඒ වගේ විවිධත්වයක් සහිත පරිසරයක තමයි මම හැදුනේ වැඩුණේ.

කොහොමද රංගන ජීවිතයට පසුබිම හැදුණේ?
මම ගිය ඉස්කෝලේ හිටිය භාගයක් සුදු ජාතිකයෝ. ඒත් මගේ හුඟක් යහළුවෝ කළු ජාතිකයින්. මම හිතන්නේ ඒකෙන් තමයි මං හාස්‍ය රසය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තේ. කළු ජාතිකයින් තමන්ගේ සාමාන්‍ය ජීවිතයේ දී වුණත් සෑහෙන්න උත්සහ කරනවා හිනා වෙවී ඉන්න. සුදු අය කරන්නේ අත්දැකීම් ලබන්න උත්සහ කරන එක. කළු සුදු මිශ‍්‍ර පරිසරයකට හාස්‍ය රසය අරගෙන එන්න මට නිර්මාණශීලී ව හිතන්න සිද්ධ වුණා. ඒ ලැබුව පුහුණුවෙන් තමයි මේ තරම් කල් එන්න පුළුවන් වුණේ.

ඒ කාලේ ඉගෙන ගන්න දක්ෂයි ද?
අපොයි ඔව්. මට සෑහෙන්න තෑගි හම්බ වෙලා තියෙනවා හොඳ ම ලකුණුවලට. මගේ අම්මාත් ගුරුවරියක් නේ.

අම්මා මොකද කිව්වේ රඟපාන්න යන එක ගැන?
අම්මා නම් කීයටවත් කැමති වුණේ නැහැ. මගේ අම්මා ගුරුවරියක් විතරක් නෙවෙයි, උපාධිධාරිණියක්. ඇය හිතුවේ ජීවිතය ජය ගන්න තියෙන එක ම ක‍්‍රමය උගත්කම කියලා. අම්මා කොහොමටවත් මම වෙන අංශයකට යොමු වෙනවාට කැමති වුණේ නැහැ. ඒත් තාත්තා ටිකක් වෙනස් විදිහට හිතුව කෙනෙක්. ඒ නිසා අපට එකඟතාවකට එන්න පුළුවන් වුණා මම අවුරුද්දක් මට අවශ්‍ය දේ කරලා, හරි ගියේ නැත්නම් ආයෙමත් ඉස්කෝලේ යනවා කියලා. එහෙම නොවුණා නම් අද විල් ස්මිත් කියන්නේ කිහිපදෙනෙක් විතරක් අඳුනන සාමාන්‍ය පුද්ගලයෙක්.

ඉතින් ආයේ කවදාවත් ඉස්කෝලේ යන්න හිතුවේ නැද්ද?
නැහැ. මම අද වෙනකොට ලබාගෙන තියෙන, මට හුඟාක් ම වටින දේවල්වලින් වැඩි හරියක් මට ලැබුණේ ඉස්කෝලේ ගිහින් නෙවෙයි. මම හිතන විදිහට පාසල් අධ්‍යාපන ක‍්‍රමය පදනම් වෙලා තියෙන්නේ න්‍යායන් සහ විභාග සමත්වීම් මත. හුඟක් දේවල් ඇත්තට ම අපේ ජීවිතයට අවශ්‍යත් නැති තරම්. මම කියන්නේ නැහැ ඉස්කෝලේ යන එක මෝඩ වැඩක් කියලා. ජීවිතයට ශක්තිමත් අත්තිවාරමක් හදා ගන්න නම් පාසල් යාම අත්‍යවශ්‍ය යි. ලියන්න, කියවන්න සහ ගණන් ඉගෙන ගන්න පාසල් යන්න ඕනේ. ඒත් මම මගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ ගෙදරදී ම යි.

ඒ කියන්නේ ඔයා එයාලා ව කවදාවක් පාසල් යැව්වේ නැද්ද?
එහෙම එකක් නැහැ. ඒත් පෞද්ගලික ව මට නම් ගුරුවරයෙක් අවශ්‍ය නැහැ පොත්වල තියෙන දේවල් ඉගෙන ගන්න. හිතන්න, මට ඕනේ අභ්‍යවකාශ ශටල ගැන දැන ගන්න. ඒ ගැන මට කලින් අත්හදා බලපු කෙනෙක් තමන්ගේ දැනුම උපයෝගී කරගෙන පොත් ලියලා තියෙනවා නේ. දෙන්න මට ඒ ජාතියේ පොතක්. මම කියවලා බලලා ඒ ගැන දැන ගන්නම්. ඒකට තව කවුරුවත් ඕනේ යැ. දැන් කාලේ ළමයින්ට වෙලා තියෙන්නේ ඕකේ අනිත් පැත්ත. එයාලට පොත් නිකම් දෙනවා. ගුරුවරු පණ යනකල් ඒකේ තියෙන දේ එහෙම පිටින් ම කියලා දෙනවා. ඒත් ඉගෙන ගන්නේ නැහැ.

භෞතික විද්‍යාව වගේ සංකීර්ණ විෂයක දීත් තත්ත්වය ඔය විදිහ ම ද?
අමාරුයි. ඒත් මූලික ම දේ තමයි අපි විශ්වාස කරන්න ඕනේ අපට මේ දේ කරන්න පුළුවන් කියන එක.

අපට හිතෙන්නේ ”ද පර්සූට් ඔෆ් හැපිනස්” චිත‍්‍රපටයේ ඔයා රඟපෑව චරිතය ඇත්තට ම හිතට අරගෙන වගේ.
නැහැ. ඒකේ දී මම කළේ රැකියාව අහිමි වුණු තාත්තා කෙනෙක් තමන්ගේ පුතා එක්ක පාරේ ජීවත් වෙන එක ගැන. ඒ තාත්තා දැඩි ව විශ්වාස කරනවා තමන්ට මේ ජීවිතය දිනන්න පුළුවන් කියන එක. ඒ වගේ ම එයා හැම තිස්සෙ ම දිනන්න ම යි හදන්නේ. ඒත් මම එහෙම නැහැ. දිනනවා ඇරෙන්න මගේ හිතේ ජීවත් වෙන්න ආසාවකුත් තියෙනවා.

එතකොට ඔයාට මොනවා හරි දෙයක් වුවමනා බව දැනුණොත්?
මම අනිවාර්යයෙන් ඒක ලබා ගන්නවා. අඩු ම ගණනේ ළඟට හරි යනවා. හැබැයි ඒ වෙනුවෙන් මගේ ජීවිතය විනාශ කර ගන්නේ නැහැ.

ඔයාගේ පුතා ජේඞ් සමහර චිත‍්‍රපටිවල ඔයා එක්ක රඟපෑවා නේද?
ඔව්. ඒක පටන් ගත්තේ ද පර්සූට් ඔෆ් හැපිනස් චිත‍්‍රපටයෙන්. මම ගෙදර හිටිය දවසක පුතා චිත‍්‍රපටයේ පිටපත අරගෙන කියවලා තිබුණා. ඊට පස්සේ එයා කිව්වා තාත්තේ මට ඒ චරිතය කරන්න පුළුවන් නේ කියලා. මමත් හා කිව්වා. මට හරිම සතුටුයි පුතාගේ දක්ෂකම් ගැන.

ජීවිතයේ තවත් කෙනෙකුට නැගිටින්න අත දුන්නු අවස්ථා තියෙනවා ද?
ඔව්. එක්තරා ප‍්‍රවීණ නළුවෙක් (නම කියන එක හොඳ නැහැ නේ) කෝටි ගණනක් වියදම් කරලා හදපු චිත‍්‍රපටයක් අසාර්ථක වුණා. ඊළඟට එයා රඟපාන්න නියමිත වෙලා තිබුණේ මාත් එක්ක. ඔහුගේ හිත හුඟක් කඩා වැටිලා තිබුණේ. රූගත කෙරුණු තැන දී මම එයාට පැත්තකට කතා කරලා කිව්වා ”මේ අහන්න. ඔයා ඕන තරම් වෙලා අරගෙන මේ චරිතය රඟපාන්න හිත හදා ගන්න. ඒත් මතක තියා ගන්න. ඔයා යම් නිර්මාණයක් කළා ම ඒක සුපර් හිට් එකක් වෙනවා. එක දවසක් එහෙම නොවුණා කියලා ඇත්ත මකන්න බැහැ. ඒ වගේ ම මුළු ලෝකයක් බලාගෙන ඉන්නවා ඔයා ආයෙමත් එනකල්. දැන් ඔයා දන්නවා අසාර්ථක වෙනවා කියන්නේ මොකක්ද කියන එක. ඒ නිසා හිත හයිය කර ගන්න.” කියලා. එයා ටිකක් වෙලා මං දිහා බලාගෙන ඉදලා කිව්වා “හරි, වැඩ පටන් ගමු” කියලා.

ගොඩක් අය කියනවා ඔයාට හොඳ පෞරුෂයක් තියෙනවා කියලා.
ඔව්. මගේ තාත්තා හමුදාවේ හිටියේ. තාත්තාගේ ඇසුරත් එක්ක මම ලබා ගත්ත අත්දැකීම් නිසා වෙන්න ඇති මේ තරම් ශක්තිමත් වෙන්න හැකියාව ලැබුණේ.

එතකොට අම්මාගෙන් ලබා ගත්තේ මොන වගේ දේවල් ද?
හරියට ඉංග‍්‍රීසි ශබ්ද කරන එක. අම්මාට පේන්න බැහැ වැරදියට කතා කරන අය. කොල්ලා කලේ අපි භාෂාව ගැන ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ නේ. ඒත් අම්මා කොයි වෙලාවක වත් මට නොසැලකිලිමත් ව කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. ඒකට ම හරි යන්න අපේ ආච්චිත් හිටියා නේ. දෙන්න ම එකයි.

ශ්‍රීනි ලංකා ජයකොඩි