2022 නොවැම්බර් 26

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සෝමාලියාවේ සිවිල් යුද්ධය.

වසර තිහක ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීමේ මහඟු කර්තව්‍යයට මේ වන විට වසර එකොළහක් ගත වී තිබේ. 1983 වසරේ සිට අප රටක් වශයෙන් අභ්‍යන්තරයේ ඇති වූ එනම්, සිවිල් යුද්ධයකට මුහුණ දෙමින් සිටි කාලයේ දී, එවැනි ම සිවිල් යුද්ධයකට මැදි ව සිටි තවත් රාජ්‍යයක් වන්නේ සෝමාලියාව යි. ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වුව ද සෝමාලියාව අදටත් එම භයානක තත්ත්වයට මුහුණ දෙමින් සිටියි. මේ වන විට සාමාන්‍ය වැසියන් ලක්ෂ තුනක් පමණ හා යුද්ධයට සම්බන්ධ වූවන් ලක්ෂ පහක් පමණ මිය ගොස් ඇති අතර මිලියන 1.1 ක ජනතාවක් අවතැන් ව සිටිති.

හේතු.

එරට සිදු වූයේ ජනවාර්ගික අර්බුදයක් නොව, ජනතාව පාලක පක්ෂයට එරෙහි ව කැරැලි ගැසීම යි. 1969 වර්ෂයේ දී සෝමාලියානු ජනරජයේ ජනාධිපති ධූරය⁣ට පත් වූ “මේජර් ජනරාල් මොහොමඩ් සියාද් බරේ”ට එරෙහි ව ආයුධ අතට ගැනීමට ජනතාවට සිදු විය. ඒ, 1980 වසරේ පමණ සිට ඔහු ගෙන ගිය අදූරදර්ශී එමෙන් ම, ඒකාධිපති මිලිටරි පාලනය හේතුවෙනි. 

සෝමාලියාව පිළිබඳ කතා කරන විට අපගේ මතකයට නැඟෙන්නේ කුස පිට පොත්තට ඇලී, බොහෝ අපහසුවෙන් හුස්ම ගන්නා, අධික ලෙස කෘෂ වූ ශරීර සහිත මිනිසුන් කොට්ඨාසයකි. එහෙත් කිලෝ මීටර් 3330ක් දුරට විහිදෙන මුහුදු තීරයකින් යුත් සෝමාලියාව ආශ්‍රිත ව ්වෙසෙන මත්ස්‍ය ජනගහණය අන් බොහෝ රටවලට වඩා වැඩි ය. එසේ නම් සිදු වූයේ කුමක් ද? 

ආදි යුගයේ පටන් සෝමාලියානු වාසීන්ගෙන් බහුතරයක් ජීවත් වූයේ ධීවර රැකියාවෙනි. එහෙත් තමන්ට ම කියා මුහුදු කලාපයක් වෙන් කර ගැනීමට පාලක පක්ෂයට කිසිදු උනන්දුවක් නොතිබිණි. එයින් සිදු වූයේ අදාළ මුහුදු තීරය නිදහස් තීරයක් ලෙස ප්‍රසිද්ධ වීම ය. අසල්වාසී සියලු රටවල බහුදින ධීවර යාත්‍රා ගණනාවක් සෝමාලියාව අසලට ම පැමිණ, තම තමාට අවැසි ඕනෑම තරමකින් මසුන් ඩැහැගෙන ගියේ ය. වාර්තාවලට අනුව වසරකට ඇමරිකානු ඩොලර් මිලියන තුන්සියයක පමණ මසුන් ප්‍රමාණයක් මෙලෙස අන් රටවල් අතට පත් වී තිබේ. තක්ෂණික දැනුමෙන් අනූන වූ දියුණු රටවල ධීවර යාත්‍රා සමඟ උරෙන්උර ගැටීමට තබා, තමන්ට එදිනෙදා ජීවත් වීමට තරම් මසුන් ප්‍රමාණයක්වත් අල්ලා ගැනීමට සෝමාලියානු ධීවරයින්ගේ සාම්ප්‍රදායික ආම්පන්නවලට හැකි වූයේ නැත. එහෙත් රජය අදාළ මුහුදු තීරය අන් රටවලට බදු දුන් අතර බදු මුදල් සම්පූර්ණයෙන් ම පාලක පක්ෂයේ සුඛ විහරණය සඳහා වෙන් විය. ධීවරයින්ට මුදල් ද මසුන් ද යන දෙවග ම අහිමි විය.

ගැටලු ආරම්භ වූයේ එයින් අනතුරුව ය. ටිකෙන් ටික ධීවරයෝ මසුන් ඇල්ලීම නවත්වා මංකොල්ලකරුවන් බවට හැරුණු අතර සිය මුහුදු ප්‍රදේශය හරහා ගමන් කරන සියල්ලන්ගෙන් මුදල් මෙන් ම මසුන් ද පැහැර ගැනීමට පෙළඹුණහ. එම කැරැල්ල රටින් පිටතට පමණක් නොව, වසර ගණනාවක් පුරා ජනතා හඬට කන් නොදුන් රට අභ්‍යන්තර පාලකයින් වෙත ද යොමු විය. මුහුදුබඩ පළාත්වලින් මෙසේ විරෝධතා ආරම්භ වද්දී රට පුරා නොයෙක් පළාත්වලින්, එම ප්‍රදේශවලට ම ආවේණික වූත් මුළු මහත් ජනතාවට ම පොදු වූත් අසාධාරණකම් හේතුවෙන් විරෝධතා මාලාවක් දියත් වෙමින් පැවතිණි. 1986 පමණ වන විට මුළු රට ම එක ම යුධ පිටියක් බවට පත් ව තිබිණි.

කැරැල්ල යුද්ධයකට පෙරළීම.

සියාද් බරේගේ පාලනයේ මුල් අවධියේ දී සියල්ල හොඳින් සිදු විය. ඔහු මේජර්වරයෙකු වූ නිසා මෙන් ම රටේ පාලකයාට අවනත වීමේ හමුදා විනය නීතිය නිසා ද හමුදාවේ නොමඳ සහාය ලැබුණේ බරේට ය. 

එහෙත් හමුදාවේ සිටිනුයේ ද රට වැසියන් ම ය. මෙම ඒකාධිපතියාගේ සමාව දිය නොහැකි වැරදි සහ ජනතාව නොසලකා හරිමින් ඔහු ගෙන ගිය ඒකාධිපතිවාදයත්, අසරණ මිනිසුන් පීඩාවට පත් කරමින් දියත් කෙරුණු මිලිටරි පාලනයත් නිසා හමුදා නිළධාරීන්ගේ ද ඉවසීමේ සීමාව ඉක්ම ගියේ ය. එබැවින් ඔවුහු මෙතුවක් කළ ආකාරයට කැරැල්ල මැඬලීම වෙනුවට කැරැලිකරුවන් අතට ආයුධ ලබා දීමට තීරණය කළහ. ඒ 1989 දී ය. මෙයින් ජනතාව අතර ඇති වූ කෝලහාලය ඉතා පහසුවෙන් සිවිල් යුද්ධයකට පෙරළිණි.

යුද්ධයේ වගතුග.

සෝමාලියානු සිවිල් යුද්ධයේ කේන්ද්‍රස්ථානය වූයේ අගනගරය වූ මොගඩිෂු නුවර යි. එබැවින් උතුරු ප්‍රදේශයෙන් “සෝමාලියානු ගලවා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ” අගනුවර කරා ටිකෙන් ටික ළඟා වීමට පටන් ගත් අතර දකුණින් “එක්සත් සෝමාලියානු කොන්ග්‍රසය” යුද්ධයට එකතු විය. 1991 වන විට ප්‍රධාන වශයෙන් මෙම පක්ෂ දෙකෙහි මූලිකත්වයෙන් රජය පෙරළා දැමීමට කැරලිකරුවන්ට හැකි වූ බව පෙනේ. 

එහෙත් ගැටලුව එයින් සංසිඳුණේ නැත. බරේ ගෙදර යැවීමෙන් පසු කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ කැරැලිකරුවන් අතර එකඟතාවක් නොතිබුණු බැවින්, සිදු වූයේ රට අරාජික වීම ය. ජනතාව සිතූ සිතූ පරිදි ක්‍රියා කරන්නට වූහ. වෙළඳසල් පමණක් නොව රෝහල් පවා කොල්ලකනු ලැබිණි. 2012 වර්ෂයේ දී පමණ නව රජයක් පිහිටුවීමට උත්සාහ ගැනුණ ද එය අසාර්ථක විය. එබැවින් රටෙහි අනෙකුත් ප්‍රදේශවල ගැටුම් මදක් සමනය වී ඇතත් මොගඩිෂු නගරයේ සිවිල් යුද්ධය මේ මොහොතේ දීත් ක්‍රියාකාරී ව පවතී.

අතුරු ඵල.

යුද්ධයේ අතුරු ඵල ද සෝමාලියාවට ලැබිණි. 1998 වන විට එරට උතුරු ප්‍රදේශය වෙන ම රාජ්‍යයක් ලෙස කැඩී වෙන් වූ අතර, එය “පුට්නම්” යැයි නම් කෙරිණි. සෝමාලියාවේ පිහිටා තිබෙන “අයිල්” සහ “ගරාකඩ්” යන ප්‍රධාන වාරායයන් දෙක උතුර යටතට ගැනුණු අතර පුට්නම් රාජ්‍ය වාසීහු එයින් පසු හැසිරුණේ උද්ගත ව ඇති යුධමය වාතාවරණයට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නැති සේ ය. අදටත් පුට්නම් පාලකයින්ගේ අදහස වන්නේ මොගඩිෂු නගරය කේන්ද්‍ර කර ගනිමින් ඇති වී තිබෙන යුද්ධය නිසාවෙන් තමන්ට රට පාලනය කර ගැනීමට බොහෝ අපහසු වී තිබෙන බව ය. 

මුල් අවධියේ දී සාධාරණ ජනතා ප්‍රශ්න වෙනුවෙන් ආයුධ අතට ගැනුණ ද 1992 පමණ වන විය එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඊට මැදිහත් විය. 2006 වන විට ඉතියෝපියාව ඊට සම්බන්ධ වූ අතර 2009 දී එක්සත් රාජධානිය ද කැරැලිකරුවන්ට සහාය දැක්වීමට පටන් ගත්තේ ය. මේ වන විට එය ධීවර හා සාමාන්‍ය වැසියන් පසෙක තබා, “අල්- කයිඩා”, “අල් – ශබාබ්” ආදී ඉස්ලාම් යැයි කියා ගන්නා ත්‍රස්තවාදී කණ්ඩායම් වෙනුවෙන් වෙන් වී ඇති භයානක ක්‍රියාවලියක් බවට පත් ව තිබේ. 

මේ දක්වාත් සෝමාලියානු ජනගහණයෙන් 90%ක් රැකියා විරහිත බවින් පෙළෙමින් සිටිති. නගරය ආශ්‍රිත ව මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සිද්ධි මෙන් ම හිසගසා දැමීම් ද නිරන්තරයෙන් වාර්තා වන බැවින් රටෙහි ජනතාවගේ ආරක්ෂාව තිබෙනුයේ අනතුරුදායක තත්ත්වයක ය. ඇතැම් පිරිස් මොගඩිෂු නුවර හැර දමා වෙනත් ප්‍රදේශවලට මෙන් ම වෙනත් රටවලට ද සරණාගතයින් ලෙස සංක්‍රමණය වෙමින් සිටිති. සෝමාලියාවේ තාරුණ්‍යය යුද්ධය තුළ ම දිය වෙමින් යයි. 90%කට පමණ ආහාර හා ජලය අවම ය. 

ගැටලුව වී ඇත්තේ මොවුන් මෙතරම් උත්සාහයෙන් යුධ වැදීමෙන් පසු අත්පත් කරගෙන ඇත්තේ කුමක්ද යන්නයි.

ශ්‍රීනි ලංකා ජයකොඩි