Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සුශාන්ත් වෙනුවෙන් දේශපාලනඥයෝ සටනේ.

පසුගිය වසරේ ජුනි මස 14 වන දින හදිසියේ ම සිදු වූ ඉන්දියානු බොලිවුඩ් නළු සුශාන්ත් සිංගේ මරණය කලා ලෝකය පමණක් නොව දේශපාලන ලෝකය ද කළඹා ඇති බව පෙනේ. එම වසරේ ඔක්තෝම්බර් – නොවැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිත ව තිබූ, එහෙත් කොරෝනා වසංගතය හේතුවෙන් දිනෙන් දින කල් දැමෙන මැතිවරණය වෙනුවෙන් මේ වන විට ඉන්දියාව පුරා ප්‍රචාරක කටයුතු සිදු වෙමින් පවතින අතර, මෙම බොලිවුඩ් නළුවාගේ මරණය ඇතැම් අපේක්ෂකයින්ගේ ඡන්ද ගුණ්ඩුවක් බවට පත් ව තිබේ. 

සුශාන්ත්ගේ නිවස පිහිටා තිබෙන බිහාර් ප්‍රාන්තය තුළ තරඟ වදින සෑම දේශපාලන කණ්ඩායමක් ම මෙම නළුවාගේ මරණයට හේතු වූ කරුණු පිළිබඳව මධ්‍යම විමර්ශන කාර්යාංශ (සී.බී.අයි.) පරීක්ෂණයක් ඉල්ලා සිටිති. සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් වන “සුශාන්ත්ට යුක්තිය” යන සංගමය ද බිහාර් ප්‍රදේශය තුළ ක්‍රියාකාරී වී තිබේ.  ජන අධිකාරී පක්ෂයේ ප්‍රධානී, “පප්පු යාදව්” මහතා ප්‍රථම වෙඩිමුරය දියත් කළේ ය. රාජ්පුත්ගේ මරණය පිටුපස “ගැඹුරු කුමන්ත්‍රණයක්” ඇති බව පවසමින් ඔහු සී.බී.අයි. විමර්ශනය සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළේ ය. ලෝක් ජනශක්ති පක්ෂයේ ප්‍රධානී “චිරාග් පාස්වාන්”, මහ ඇමතිවරයා වන “නිතිෂ් කුමාර්” වෙත ලිපියක් යවමින් සුශාන්ත්ගේ මරණයට වග කිව යුතු වැරදිකරුවන්ට දඬුවම් කිරීම සඳහා පරීක්ෂණයක් සිදු කිරීමට බිහාර් රජයේ මැදිහත්වීම ඉල්ලා සිටියේය. මහාරාෂ්ට්‍ර මහ ඇමති “උද්දව් තැකරි”, රාෂ්ට්‍රීය ජනතා පක්ෂයේ (ආර්.ජේ.ඩී.) නායක “තේජාස්වි යාදව්” ආදී තවත් බොහෝ පිරිස් ද පක්ෂ පාට භේද නොසලකා මෙම සටනට උර දෙමින් සිටිති. 

මොවුන් මෙතරම් සුශාන්ත්ට යුක්තිය ඉටු කිරීමේ උණෙන් පෙළෙන්නේ ඇයි ද යන්න සොයා බැලීම වටී. අභාවප්‍රාප්ත නළුවා රාජ්පුත් කුලයට අයත් විය. බ්‍රාහ්මණයන්ට පසු බිහාර් ප්‍රාන්ත ජනගහණයෙන් 5%ක් පමණ ඉහළ කුලයේ අය වන අතර දෙවන විශාලතම ජනගහණය වන්නේ රාජ්පුත්වරුන් ය. තව ද රාජ්පුත් ඡන්දදායකයින්ගෙන් බොහෝ ප්‍රමාණයක් ප්‍රාන්තය පුරා විසිරී සිටිති.

 සාම්ප්‍රදායික ව, රාජ්පුත්වරුන්ගේ තේරීම සමස්ත ප්‍රජාව සමඟ තරයේ බැඳී පවතින අතර, එහෙයින් ම යම් ආසනයක් දිනා ගැනීම පිණිස ඔවුන්ගේ මැදිහත්වීම වැදගත් වේ. පාලකයින් වන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ සහ විපක්ෂයේ  බොහෝ අපේක්ෂකයෝ ද මෙම ප්‍රජාවට අයත් වෙති. කුල භේදය යනු ඉන්දියාව තුළ උසස් නිළයක් හෙබවීම සඳහා ඉතා වැදගත් සාධකයකි. එහෙයින් පරාජය කළ නොහැකි මැතිවරණ උපාය මාර්ගයක් සඳහා නව කුල පදනමක් එක් කරමින්, “මුස්ලිම්-යාදව් සංයෝජනය” තහවුරු කර ගැනීමේ අරමුණින් පසුවන “ආර්.ජේ.ඩී.” පක්ෂයට, රාජ්පුත්වරුන්ගේ සහයෝගය වඩාත් තීරණාත්මක සාධකයක් වී තිබේ. “එල්.ජේ.පී.”යට ද මැතිවරණය දිනීම සඳහා රාජ්පුත් කුලයේ ඡන්දය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. පාස්වාන්ගේ “ජමුයි ලෝක් සභා”ආසනයේ, රාජ්පුත් ඡන්ද ලක්ෂ දෙකකට වඩා ඇති අතර රාජ්පුත්වරු, යාදව්වරුන්ට පසුව දෙවන විශාලතම ඡන්ද කොට්ඨාසය වේ. ඒ හා සමාන ව, හජිපූර් ප්‍රාන්තයේ රාජ්පුත් ඡන්ද ලක්ෂ 3.5කට වඩා ඇත. එහෙයින් සුශාන්ත්ගේ මරණයට සාධාරණය ඉටු කර දුන්නේ නම්, රාජ්පුත්වරුන්ගේ ඡන්දවලින් වැඩි ප්‍රතිශතයක් අදාළ අපේක්ෂකයින්ට ලැබෙනු ඇති බව නොඅනුමාන ය. මෙම දේශපාලන පකෂවල බලපෑම කෙතරම් ද කියතොත් මේ වන විට බිහාර් පොලිසිය රාජ්පුත්ගේ මරණය පිළිබඳ සාක්ෂි රැස් කිරීම සඳහා මුම්බායි බලා පිටත් වී තිබේ.

කෙසේ වෙතත් තම තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉෂ්ට කර ගැනීම පිණිස අන් කිසිවෙකුගේ මරණය උපයෝගී කර ගැනීම නම් අනුමත කළ නොහැකි ය.