Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සුදර්ශනී පැණිය , ඒලියන්ත වයිට් හා රජයේ කොරෝනා මර්ධනය – නීතීඥ සංජීව සෙනෙවිරත්න

පළමු කොරෝනා රැල්ල අවසන් වූ අවස්ථාවේ සිට සැමරුම් උත්සවද, රජයේ කෙරුවාව සම්බන්ධ උද්ධච්ච ප්‍රකාශයන්ද, ලෝකෙන්ම කොරෝනා මර්ධනයෙන් දෙවන ස්ථානය ලැබූ බවටද, (එම ශ්‍රේණිගත කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය කළ බවක් හෝ එවන් ස්ථාන නම්කිරීමක් ජාත්‍යන්තර වශයෙන් සිදු වූ බවක් මෙතෙක් අසා නැත්තෙමි.) පාරම්බාමින් සිටි ආණ්ඩුව මේ වනවිට රටේ සමස්ථ ජනතාවම මහත් වූ ව්‍යසනයකට ඇද දමා හමාරය.

කොරෝනා වසංගතය සමාජ ව්‍යාප්ති තත්ත්වයක නැතැයි මහා බේගල් වපුරන මිථ්‍යාදෘෂ්ටික ආණ්ඩුව මිනුවන්ගොඩ පොකුරේ තත්ත්වය බරපතල වෙත්දී එය මර්ධනයට රාජකීය වෛද්‍ය දේවාරූඩයෙන් ගොඩ වෙදකම් කරන ඒලියන්ත වයිටයන් එහි යවන බවට පුවත් පල වී තිබින. මේ මහා විශ්වකර්‍මයාගේ උපදෙස් ඉන්දියාවට ද ලබා දිය යුතු බවටත් වහසි බස් දෙඩූහ. ලෝක බලවතුන් කොරෝනා මර්ධනය අපේ “කයිවාරු පප්පා” ගෙන් උගත යුතු යැයි උදම් ඇනූහ. දැන් සියල්ල පාලනයෙන් බැහැරව ව්‍යසනයක්ව ඇති බව පෙනේ. පෙරේදා වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කයේ “අහඹු” PCR පරීක්ෂණයට ලක් කළ 5000 ක පිරිසෙන් 937ක්, ආසන්න වශයෙන් සියයට විස්සක ප්‍රතිශතයක් කොරෝනා ආසාධිතයන්‍ ය. රටේ ආර්ථික හා පාලන මර්මස්ථානයේ සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකුටම පාහේ කොරෝනා වැළදී ඇතැයි යන තාර්කික අනුමිතියට එළැඹෙනවා වෙනුවට ආණ්ඩුව ඊයේ සිට දේවාරූඩයෙන් ඖෂධ නියම කරන්නට පටන් ගත්තේ “සුදර්ශනී පැණිය” නිර්දේශ කරමිනි.
කොරෝනා වෛරසය ලෝකයම ගිලගනිමින් ඇති අවස්ථාවක ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මෙම වසංගතයට යම් ඖෂධයක් නිපදවා බෙදාහැරීමට ලබන වසරේ පෙබරවාරි මාසයත් පසු වනු ඇතැ’යි ප්‍රකාශ කරත්දි ලක් රජය හිටි පැයට ඒලියන්ත වයිට් මාදිලියේ ඖෂධ නියම කොට හමාරය.

ඡන්දයක් ආසන්නයේ නොමැති අවස්ථාවක රටේ ජනතාව දෙස මීට වඩා අවධානයකින් බලනවා වෙනුවට 20 වන සංශෝධනයේ එල්ලී සිටිමින්, අප කිසිවෙකුත් නොදන්නා ” සමාජයට ” මෙය පැතිරී නැති බවට මුසා බස් පවසන ආණ්ඩුවකින් හා උම්මා දේවියකගෙන් මීට එහා ගුණාත්මක සෞඛ්‍ය ආරක්ෂාවක් රටකට ලැබේ යැයි විශ්වාස කළ නොහැකිය. එනිසා තම තමන් දන්නා ආගමක්, දෙවියෙක් ඇදහීමට අමතරව දිනපතා 06 වරක් හුමාලය ඇල්ලීමටත්, හොදින් වතුර පානය කිරීමටත්, උණුසුම් වතුර පානය වැඩි කිරීමටත්, දිවා කාලයේ අවම වශයෙන් මිනිත්තු 10 ක් හිරු එළියට නිරාවරණය වී සිටින ලෙසත් සියළුදෙනාගෙන් ඉල්ලා සිටිමි.
හැකි සෑම කෙනෙකුටම මෙම පණිවිඩය ලබා දෙන මෙන්ද ඉල්ලමි.

ලක් වැසි සැමට නිදුක් නීරෝගී සුව පතමි!

© නීතීඥ සංජීව සෙනෙවිරත්න

About The Author