Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සිවිල් යුද්ධයෙන් වෙනස් කෙරුණු නත්තල.

සිවිල් යුද්ධයට පෙර නත්තල් දිනය ඇමරිකා එක්සත් ජනපදයේ නිළ නිවාඩු දිනයක් නො වීය. එසේ ම එය රට පුරා එක ම ආකාරයෙන් සමරනු ලැබූයේ ද නැත. නව එංගලන්තයට, එනම් එංගලන්ත වාසීන් සිය රට අත්හැර කොලොම්බස් විසින් සොයා ගනු ලැබූ නව දේශයට සංක්‍රමණය වූ මුල් භාගයේ දී, නත්තල් උත්සවය පියුරිටන්වරුන්, මැසචුසෙට්ස්වරුන් සහ කැල්වින්වාදීන් විසින් පහත් කොට සලකනු ලැබිණි. එදින දැඩි ලෙස නිරාහාර ශීලය රැකිය යුතු බවත් චාරිත්‍ර වාරිත්‍ර අනුව පමණක් දිනය සැමරිය යුතු බවත් නියම කොට තිබිණි. පියුරිටන්වරුන්ගේ ගති ස්වභාවය එසේ විය. මන්දයත් එම කණ්ඩායම රෙපෙරමාදු ක්‍රිස්තියානීන් වූ අතර ඔවුහු සිතූයේ අප සමරන නත්තල ඔවුන් විසින් මිත්‍යා දෘෂ්ටිකයින් ලෙස සලකනු ලැබූ රෝමානු කතෝලිකයින්ගේ චාරිත්‍රවලින් අපවිත්‍ර වී තිබූ බව යි. එබැවින් 17 වන ශතවර්ෂය තුළ මැසචුසෙට්ස්වරුන් විසින් නත්තල් නිවාඩු දිනය සැමරූ ජනපදවාසීන් හට දඩයක් නියම කළ අතර, රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු එදින කඩ වසා දැමීම හෝ පාසල් නිවාඩු දීම කිසිසේත් සිදු කෙරුණේ නැත.

වෙනත් තැන්වල නත්තල් උත්සවය විවිධාකාරයෙන් සමරනු ලැබූ අතර, බොහෝ විට එය සැමරූයේ සංක්‍රමණිකයන්ගේ උපන් රට අනුව ය. නමුත් 19 වන සියවසේ මැද භාගය වන විට, නිවාඩුවේ වැදගත්කම සහ ආගමික සම්ප්‍රදාය ඈත් වීමට පටන් ගෙන තිබුණි. “ජින්ගල් බෙල්ස්” (1857) වැනි කැරොල් ගීත සහ “ශාන්ත නිකලස් වෙතින් පැමිණි සංචාරයක්” (1823) වැනි කවි විනෝදජනක, ලෞකික නිවාඩුවක් සඳහා වේදිකාව සකසා දුන් අතර නත්තල ද, තෑගි දීම, සැමරීම, ආහාරපාන නාස්ති කිරීම යනාදී නිශ්ඵල ක්‍රියාවන් සමඟ පමණක් එකතු වී තිබුණි.

දකුණේ ඇන්ටෙබෙලම්හි වතු හිමියන් මෙම නිවාඩු දිනය භාවිත කළේ තමන් වහල්භාවයට පත් වූ ජනතාව කෙරෙහි ඔවුන්ගේ පීතෘත්වය පෙන්වීමට ක්‍රමයක් ලෙස ය. ඉතිහාසඥයින් වන ෂෝනා බිග්හැම් සහ රොබට් ඊ. පවසන පරිදි දීර්ඝ නත්තල් සැමරුම්වල දී, ඔවුන් වහලුන්ට විවාහ වීමට අවසර ලබා දී, ආහාර සහ මත්පැන් ලබා දුන් අතර, තෑගි ද ලබා දුන්හ.

වහල්භාවයේ සිටි අය තමන්ගේ ම නත්තල් සම්ප්‍රදායන් කිහිපයක් නිර්මාණය කිරීමට සමත් වූ අතර, ඒවායින් බොහොමයක් තුළට අප්‍රිකාවේ සම්ප්‍රදායන් ඇතුළත් කෙරිණි. නත්තල් නිවාඩුවේ දී වහල් හිමියන් විසින් වහලුන් වෙත ලබා දෙනු ලබන ඉතා සුළු තෑගි විවෘත කර, ඒවා දැක සතුටු වෙමින්, සිය කෘතඥතාව වහල් හිමියා වෙත පෙන්වනු ඇතැයි අපේක්ෂා කරන ලදී. බිග්හැම් සහ මැයිට අනුව එම ත්‍යාග ප්‍රදානය කෙසේ වුවත්, බොහෝ වහල්ලු නිවාඩු කාලය පුරා ම ඔවුන්ගේ නියමිත කාර්යයභාරය ඉටු කළහ.

එහෙත් සිවිල් යුද්ධය විසින් වතු හිමියන් සහ ඔවුන් වහල්භාවයට පත් කළ ජනතාව අතර සබඳතා පමණක් නොව පවුල් හා ප්‍රජාවන් අතර සබඳතා පවා කඩාකප්පල් කරන ලදී. දෙපාර්ශ්වය ම තම සියලු සම්පත් යුද්ධයකට යට කරද්දී තෑගි දීමට හා සැමරීමට ඇති හැකියාව සීමා විය. දේශප්‍රේමී උත්සවයක් ලෙස වඩාත් නිහතමානී නත්තල් සැමරුම් පැවැත්වීමට මිනිසුන් තීරණය කළ අතර ළමයි ද මෙම ක්‍රියාව සඳහා සම්බන්ධ වූහ. ගබඩාවෙන් මිල දී ගත් තෑගි දීම සහ ලැබීම වෙනුවට ඔවුහු පොප්කෝන් බෝල හෝ නිවසේ දී සාදන ලද ගොරහැඩි සෙල්ලම් බඩු වැනි සරල ත්‍යාග ලබා දුන්හ. එලෙස ම එම දරුවෝ නත්තල් සීයා පිළිබඳ බලාපොරොත්තු සුන් කරගැනීමට ද ඉගෙනගත්හ.

ඉතිහාසඥයෙකු වන ජේම්ස් ඇලන් මාටන් මෙසේ ලියයි. 

“වහලෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු සිය දරුවන්ට පැවසූයේ යැන්කිවරුන් විසින් ශාන්ත නිකලස් හෙවත් නත්තල් සීයා හට වෙඩි තබා ඇති හෙයින්, මෙම වසරේ දී ඔහු නොපැමිණෙන බව යි. එනමුත් සුදු හම සහිත මව්පියෝ දරුවන්ට වඩාත් දීර්ඝ පැහැදිලි කිරීම් ඉදිරිපත් කළහ. ‘යැන්කි කෙනෙකු වන සැන්ටා මුරකරුවන් විසින් අල්ලා ගනු ලබන්නට ඇත. නැතහොත් මුර සංචාරයේ යෙදෙන මුහුදු යාත්‍රා ඔහුගේ ගමනට බාධා කරන්නට ඇත.’ යනුවෙන් එම මව්පියෝ පැවසූහ.” හේතුව කුමක් වුවත් දරුවන්ට තෑගි ලැබුණේ නැත.

මේ අතර, එම දරුවන්ගේ මව්වරුන්, සහෝදරියන් හා ඥාති කාන්තාවන් නත්තලට මුහුණ දුන්නේ යුද්ධයට ගිය පිරිමින් මුහුණ දී ඇති අන්තරාය පිළිබඳ වේදනාකාරී මතක් කිරීමක් වශයෙනි. නත්තල් සමයේ දී කාන්තාවන්ට කාංසාව, ශෝකය සහ මානසික අවපීඩනය දැනුණු බව “සිවිල් යුද්ධ යුගයේ දිනපොත සහ ලිපි” ග්‍රන්ථයේ ලේඛනගත වී ඇත. 1861 දී මාග්‍රට් කාහිල් විසින් යූනියන් නිලධාරියෙකු වන සිය සැමියා, තෝමස්ට ලිපියක් යවමින් ඇයට නත්තලේ දී ඔහුට ලිවීමට නොහැකි තරමට “නොසන්සුන් හා තනිකමක්” දැනෙන බව කියා තිබිණි. 1861 නත්තල් සමයේ රිච්මන්ඩ්හි විසූ ඒකාබද්ධ කණ්ඩායමට සහය දෙන කාන්තාවක වූ සැලි ඒ. බක් මෙසේ ලීවා ය. “මීට පෙර කවදාවත් නත්තල් දවසක් උදාවී නැති බවක් මට හැඟේ. “

කෙසේ හෝ 1861 දී පමණ එක්සත් ජනපද සිවිල් යුද්ධයේ දී ඒකාබද්ධ හමුදාවේ සොල්දාදුවන් විසින් සිය කඳවුර තුළ දී නත්තල් පෙට්ටි විවෘත කර තිබේ. යුධ පිටියේ දී දෙපාර්ශ්වයේ ම සොල්දාදුවන් නත්තල් උත්සවය සැමරීමට උත්සාහ කළේ තෑගි දීමෙන්, කෑම බීම ගැනීමෙන් සහ කාලය ගත කිරීමෙනි. පළමු මිනසෝටා ස්වේච්ඡා පාබල රෙජිමේන්තුවේ සැරයන්වරයෙකු වන ජේම්ස් ඒ. රයිට් සිය මතක සටහන් තුළ හරක් මස් සුප් අනුභව කළ බව සහ කඳවුරේ නත්තල් දිනයේ දී සෙසු සෙබළුන්ට ආචාර කළ බව සිහිපත් කරයි.  

“පිරිමින්ට විනයට අනුකූල ව උත්සවය සැමරීමට තරම් නිදහස ලබා දී තිබූ අතර ඔවුන් වෙනත් රෙජිමේන්තුවල සිටින අය අතර සංසරණය වෙමින් සිටියහ. ඔවුන් මට ද නිතරම ආරාධනා කළේ සිනාසෙන්නට විහිළු කතාවක් කීමට හෝ කෑම බීම ගැනීමට යි.” 

1863 දී උතුරු කැරොලිනාවේ සොල්දාදුවෙක් තම මවගෙන් බ්‍රැන්ඩි බෝතලයක් සහ සීනි ටිකක් ඉල්ලා තිබුණේ සෙසු සොල්දාදුවන් වෙනුවෙන් “එග්නොග්” බීම සෑදීමට ය.

නත්තල් සමයේ දී නිවසේ සිටින සොල්දාදුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල චිත්ත ධෛර්යය වැඩි කිරීමට ජනප්‍රිය මාධ්‍ය උපරිම උත්සාහයක් ගත්තේය. එවකට වඩාත් ජනප්‍රිය වාර සඟරාව වූ “හාපර්ස් වීක්ලි”හි කතුවරු යුද්ධය අතරතුර විවිධ නත්තල් කථා සහ නිදර්ශන ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කළහ. එ් අතරින් වඩාත් ප්‍රචලිත වූයේ චිත්‍ර ශිල්පී තෝමස් නාස්ට් ය. ඔහු සිය කාර්ටූන තුළ දුක්ඛිත භාර්යාවන් හා ස්වාමිපුරුෂයන් පමණක් නොව නත්තල් දින සම්ප්‍රදායන් ද නිරූපණය කළේය. සොල්දාදුවන්ට සහ පවුල්වලට එක සේ සුබ පැතුම් පිරිනැමූ විහිළු, රැවුල සහිත ශාන්ත නික්ගේ හෙවත් නත්තල් සීයාගේ නිදර්ශන සමඟ ඇමරිකානු ජාතිය “සැන්ටා ක්ලවුස්” චරිතය පරිකල්පනය කළ ආකාරය ශක්තිමත් කිරීමේ ගෞරවය ඔහුට හිමි වේ.

තනි සම්ප්‍රදායන් ඒ වන විටත් වෙනස් ව තිබුණ ද, සිවිල් යුද්ධයේ නැගිටීම නිසා වෙන්වූ පවුල්වලට මෙම නිවාඩු දිනය වැඩි වැඩියෙන් වැදගත් විය. ඉතිහාසඥ, ඩේවිඩ් ඇන්ඩර්සන් මෙසේ ලියයි. “නත්තල් සමය 19 වන සියවසේ මැද භාගයේ ඇමරිකානුවන්ට නිවෙස්වල සහ එහි ආශ්‍රිතයන්ගේ වැදගත්කම ගැන මතක් කර දුන්නේය.”

යුද්ධය අවසන් වූ විට, නිවාඩුවේ වැදගත්කම අවධාරණය කළ සඟරා සහ පුවත්පත් එය දිගට ම ප්‍රවර්ධනය කළ අතර, යුද්ධයෙන් සිදු වූ පාඩු සහ විනාශයට පත් වූ පවුල් නැවත එක් කිරීම සඳහා වැඩි කාර්යයභාරයක් ඉටු කළේ ය. යුද්ධයෙන් ඉක්බිති ව 1870 වසරේ දී කොන්ග්‍රසය විසින් පළමු ෆෙඩරල් නිවාඩු නීතිය සම්මත කරමින් නත්තල නිළ නිවාඩු දිනයක් බවට පත් කළේය. අවුරුදු හතරක යුද්ධය තුළ දී නත්තල් නිවාඩු දිනය ලිහිල් සැමරුමක සිට අත්‍යවශ්‍ය එකක් දක්වා වෙනස් කර තිබුණි.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author