Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සියලු පාර්ශව වල දැනුම සහ අත්දැකීම් භාවිත කරමින් කොරෝනා ව්‍යසනය පැරදවිය යුතුයි – රුවන් විජයවර්ධන

කොරෝනා වසංගතයෙන් රටත් ජනතාවත් ආරක්ෂා කිරීම සඳහා සියලු පාර්ශ්ව දේශපාලන භේද පසෙකලා එකට එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සියලු පාර්ශව වල ඇති අත්දැකීම් යොදා ගනිමින් රටත් ජනතාවත් ආරක්ෂා කිරීම වෙනුවෙන්, මෙම අභියෝගයට මුහුණ දිය යුතු බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා (15) වාද්දුව දම්පියගම ,ශ්‍රී සමුද්‍රාරාම විහාරස්ථානයේ කඨින පූජෝත්සවයට සමගාමීව විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා අභිනවයෙන් ඉදිකරන ලද රන් වැට නිරාවරණය කිරීමේ උත්සවයට එක්වෙමින්.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය මාර්තු මාසයේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී මතු කළ කරුණු බැහැර කරමින් කටයුතු කිරීමේ ප්‍රතිඵලවලට අද අප මුහුණ දී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම මොහොතේදී සිදු කළ යුතුව ඇත්තේ දේශපාලන පක්ෂ, පාට භේද පසෙකලා සියලු දෙනා එකමුතුව කටයුතු කරමින් රටත්, ජනතාවත් ආරක්ෂා කිරීම සඳහා කැපවීම බව ද ඔහු අවධාරණය කළා.

මහා සංඝරත්නය ලබාදෙන ආධ්‍යාත්මික නායකත්වය ද ඉතා වැදගත්

එම කටයුත්තේ දී මහා සංඝරත්නය විසින් ලබාදෙන ආධ්‍යාත්මික නායකත්වය ඉතා වැදගත් වනු ඇති බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙහිදී පෙන්වා දුන්නා.

කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක ,වාද්දුව සමුද්‍රාරාම විහාරාධිපති බෝපිටියේ ධම්මිස්සර නාහිමියන්ගේ ආශීර්වාදයෙන් සංවිධානය කෙරුණු මෙම පුණ්‍යකර්මයට කළුතර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ගෝණදූවේ ගුණානන්ද මහනාහිමියන් ප්‍රමුඛ මහාසංඝරත්නය මෙන්ම හිටපු කථානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග, මර්වින් සිල්වා, ලක්ෂ්මන් විජේමාන්න , උපුල් මාලේවන ඇතුළු ගිහි පැවිදි පිරිසක් එක් වුණා.

© මාධ්‍ය ඒකකය , එක්සත් ජාතික පක්ෂය.

About The Author