Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සැබෑ නිල් කුරුමිට්ටන් හඳුනා ගනිමු

අප කුමන රටකට අයත් වුවත් අපගේ සමෙහි කිසියම් නිශ්චිත සෛල සංයෝගයක් තිබේ. යමෙකු කෙතරම් කාල වර්ණ වුවත් එය සාමාන්‍ය සමක් බව ඕනෑ ම කෙනෙකුට කිව හැකි ය. එනමුත් රිදී හෝ තද අළු පැහැයට හුරු නිල් පැහැයක් ගත් මිනිසුන් ඔබ දැක තිබේ ද? මෙය “ආර්ජීරියාව” යි. “ආර්ජීරියාව” යනු දුර්ලභ සමේ රෝගයක් වන අතර දිගු කාලයක් පුරා යමෙකුගේ ශරීරය රිදීවලට නිරාවරණය වීමෙන් වැළඳිය හැකි ය. එමඟින් ඔබේ සම, ඇස්, අභ්‍යන්තර අවයව, නියපොතු සහ වීදුරුමස් ආදී ස්ථාන නිල් – අළු පැහැයක් බවට පත් වේ. විශේෂයෙන් ඔබේ ශරීරයේ හිරු එළියට නිරාවරණය වන ප්‍රදේශවල මෙම වෙනස්වීම හොඳින් දක්නට ලැබෙනු ඇත.

රෝග ලක්ෂණ

ආර්ජීරියා රෝගය වැළඳී ඇත්නම්, ප්‍රථමයෙන් ඔබේ විදුරුමස් අළු – දුඹුරු පැහැයට හැරෙනු ඇත. එය පළමු රෝග ලක්ෂණය යි. දෙවනුව ඔබේ සම ලා අලු, රිදී හෝ නිල් – අළු පැහැයට හැරේ. ඔබේ සම රිදීවලට නිරාවරණය වන ප්‍රමාණය අනුව මාස කිහිපයක් හෝ අවුරුදු ගණනාවකට පසු මෙය සිදුවිය හැකි ය. එය සමේ එක් ප්‍රදේශයකට පමණක් බලපානු ඇත. නැතහොත් සම්පූර්ණ ශරීරයේ ම පෙනුම වෙනස් විය හැකි ය. එසේ ම නළල, නාසය, අත් සහ සූර්යයාට නිරාවරණය වන වෙනත් ප්‍රදේශවල මෙම පැහැයේ වෙනස්කම වඩාත් කැපී පෙනීමට පටන් ගනී. මද කලක් ගත වන විට ඇස්වල සුදු පැහැය වෙනස් වන අතර නියපොතු ද නිල් – අළු පැහැයට හැරේ.

ඇතැම් පුද්ගලයින්ගේ උදරයේ අභ්‍යන්තර අවයව එනම් ප්ලීහාව, අක්මාව සහ බඩවැල් ආදිය පවා නිල් පැහැයක් ගනී. එනමුත් ශල්‍යකර්මයක් නොකොට මේ බව දැන ගත නොහැකි ය.

හේතු

අප සියලු දෙනාට ම සාමාන්‍යයෙන් දිනපතාම ඉතා සුළු රිදී ප්‍රමාණයක් සිරුරට ඇතුළු කර ගැනීමට සිදු වේ. අප ගන්නා ආහාර, පානීය ජලය සහ හුස්ම ගන්නා වාතය තුළ පවා රිදී ලෝහය ස්වල්ප වශයෙන් පවතී. එහෙත් එම ප්‍රමාණය ඉතා කුඩා බැවින් ශරීරයට කිසිදු අහිතකර ප්‍රතිඵලයක් අත්විඳීමට සිදු වන්නේ නැත. ඒවා පැමිණි ආකාරයෙන් ම පහසුවෙන් බැහැර කළ හැකිය. එනමුත් රිදී කුඩා ප්‍රමාණයක් වෙත දීර්ඝ කාලයක් තිස්සේ නිරාවරණය වීමෙන් හෝ විශාල මාත්‍රාවකට එක් වරක් නිරාවරණය වීම මඟින් ආර්ජීරියා අවදානම වැඩි විය හැකිය.

සාමාන්‍යයෙන් රිදී අඩංගු ආහාර හෝ අතිරේක ආහාර ගන්නා ඕනෑම කෙනෙකු හටත්, රිදී අඩංගු අක්ෂි කාච හෝ නාසය ඉසින දියර වැනි ඖෂධ භාවිතා කරන්නන් හටත් එමෙන් ම හුස්ම ගන්නා වායුවේ රිදී අංශු බහුල ව රැඳී පවතින ස්ථානයක සේවය කරන්නන් හටත් ආර්ජීරියාව වැළඳිය හැකි ය.

රිදී ගිල දැමූ විට, ඒවා මඟින් ඔබේ ආමාශයේ අම්ලය විඛාදනය වී, රිදී ලුණු බවට හැරෙන අතර ඒවා රුධිර ප්‍රවාහය හරහා ගමන් කර සමට ඇතුළු වේ. ඔබ හිරු එළියට නිරාවරණය වන විට, රිදී ලුණු නැවත රිදී බවට හැරී, සම නිල් පැහැයට හරවයි. මෙය කළු – සුදු ඡායාරූපකරණයේ දී භාවිත කරන රිදී හරහා සිදුවන ක්‍රියාවලියට සමාන ය.

කොලොයිඩල් රිදී නම් වූ ආහාරමය අතිරේකය මඟින් ආර්ජීරියාව ඇති විය හැකි ය. මෙම නිෂ්පාදන නිපදවන්නන් විසින්, එම නිෂ්පාදනය මඟින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවන බවත් පිළිකා, එච්.අයි.වී සහ ඒඩ්ස්, ෂින්ගල්, හර්පීස් සහ අක්ෂි ආබාධ ආදිය සඳහා ප්‍රතිකාර ලබා දෙන බවත් කියා සිටිය ද විද්‍යාත්මක පර්යේෂණ තුළින් එවැන්නක් ඔප්පු වී නොමැත.

ආහාර හා ඖෂධ පාලන ආයතනය පවසන්නේ කොලොයිඩල් රිදී හෝ රිදී ලවණ අඩංගු අතිරික්ත ඖෂධ සහ ආහාර කිසිසේත් ඵලදායී නොවන බව යි.  සැබැවින් ම ඒවා මිනිස් සිරුරට අත්‍යවශ්‍ය නොවේ.

දිගු කාලයක් මුළුල්ලේ රිදී අඩංගු ඖෂධ ලබා ගන්නා පුද්ගලයින් හට ආර්ජීරියාව වැළඳි හැකි ය. වාසනාවකට මෙන්, මේ වන විට එම ඖෂධ පෙර තිබූ තරම් ලොව පුරා භාවිත නොවේ. ආර්ජීරියා රෝගයට හේතු වන බව පෙන්වා දී ඇති ඖෂධ මෙසේ ය.

  • විදුරුමස් ලේ ගැලීම සහ වේරිකෝස් නහර වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන රිදී නයිට්රේට්.
  • තුවාල හා පිළිස්සුම් තුවාල ඇතිවීම වැළැක්වීම සඳහා භාවිතා කරන රිදී සල්ෆැඩියාසීන් ක්‍රීම්.
  • දුම්පානය නතර කිරීමට උපකාරී වන රිදී ඇසිටේට්.
  • ඇහි බැම සඳහා භාවිත කරන කොලොයිඩල් රිදී ප්‍රෝටීන්.

දීර්ඝ කාලයක් තිස්සේ රිදී සමඟ වැඩ කරන පුද්ගලයින් හට ආර්ජීරියාව ඇති විය හැකිය. ඔබ රිදී කැණීම්, සැකසුම් හා නිෂ්පාදන සමඟ හෝ රිදී සමඟ නිරන්තර සම්බන්ධතා ඇති කරවන වෙනත් ක්ෂේත්‍රයක වැඩ කරන්නේ නම්, ඔබට රිදී අංශු ආශ්වාස වේ. නැතහොත් ඒවා ඔබේ සමේ තැන්පත් වී ආර්ජීරියාව ඇති කරයි.

මේ කිසිවක් නොමැති ව වුව ද සමහර පුද්ගලයින්ගේ ජාන මඟින් ආර්ජීරියා රෝගයට ගොදුරු වීමේ ඉඩකඩක් ඇත.

රිදී ආලේපිත කටු චිකිත්සක ඉඳිකටු, රිදී කරාබු සහ දන්ත කැබලි නිසා ආර්ජීරියාව ඇතිවීමේ දුර්ලභ අවස්ථා තිබේ. එනමුත් එය තවමත් ඔප්පු වී නොමැත.

රෝග විනිශ්චය

ඔබට ආර්ජීරියා රෝගය ඇති බව වෛද්‍යවරයා සිතන්නේ නම්, ශාරීරික පරීක්‍ෂණයක් සිදු කර ඔබගේ ඉතිහාසය සහ ලබා ගෙන ඇති ඖෂධ ආදිය පිළිබඳ ප්‍රශ්න අසනු ඇත. පෙර කී පරිදි රිදී අඩංගු ඖෂධ, ආහාරමය අතිරේක හෝ ඔබ භාවිත කළ ප්‍රතිකාර, රිදීවලට නිරාවරණය වීම ආදිය සිදු වී ඇත්නම් ඒ පිළිබඳ නොසඟවා ප්‍රකාශ කිරීමෙන් රෝගය සඳහා ප්‍රතිකාර කිරීම ඉක්මන් වනු ඇත.

වෛද්‍යවරයා විසින් සමේ බයොප්සි පරීක්‍ෂණයක් සිදු කරනු ඇත. එහි දී කෙරෙනුයේ සමෙන් සුළු ප්‍රමාණයක් කපා ගෙන පරීක්ෂා කිරීම ය. මෙමඟින් ඔබට ආර්ජීරියා තිබේද යන්න තහවුරු කෙරෙනු ඇත.

ප්‍රතිකාර

ආර්ජීරියාව නිසා ඇති වන සමේ පැහැය කෙදිනකවත් පහ ව යන්නේ නැත. එනමුත් සන්ස්ක්‍රීන් ආදිය මඟින් සම තව තවත් අඳුරු වීම වළක්වා ගත හැකි ය. මේක්අප් භාවිතයෙන් සමට සිදු වී ඇති ආර්ජීරියාවල බලපෑම සැඟවීමට හැකි වනු ඇත. 5%ක හයිඩ්‍රොක්වීනෝන් ප්‍රතිකාරයක් භාවිත කිරීමෙන් සමේ රිදී ප්‍රමාණය සීමා කොට, එයින් වඩා හොඳ පෙනුමක් ලබා ගත හැකිය. ලේසර් චිකිත්සාව ද ආර්ජීරියා රෝගයට ප්‍රතිකාර කිරීමට උපකාරී වේ.

වැළැක්වීම

රිදී අඩංගු ඖෂධ භාවිතය සීමා කිරීමෙන් සහ රිදී අඩංගු ආහාර අතිරේක ආහාර නවතා දැමීමෙන් ආර්ජීරියාව වළක්වා ගත හැකි ය.

සේවයෙහි යෙදෙන ස්ථානයේ රිදී හෝ රිදී දූවිලිවලට නිරාවරණය වී ඇත්නම්, ඔබගේ සේවා ස්ථානය රජය විසින් නියම කර ඇති නිරාවරණ සීමාවන් අනුගමනය කරනවාදැයි පරීක්ෂා කර බලන්න. මේ වන විට වෘත්තීය සුරක්‍ෂිතතා සහ සෞඛ්‍ය පරිපාලනය (ඕ.එස්.එච්.ඒ) සහ පතල් ආරක්ෂාව සහ සෞඛ්‍ය පරිපාලනය (එම්.එස්.එච්.ඒ.) යනාදී ආයතන මඟින් ලෝහමය හා ද්‍රාව්‍ය රිදී සංයෝග සඳහා 0.01 mg / m3ක සීමාවක් පනවා තිබේ. එහෙයින් තමාගේ ම ආරක්ෂාව සඳහා මෙවැනි නීති පිළිබඳ දැනුවත් ව සිටීම වැදගත් වනු ඇත.

ශ්‍රීනි ලංකා ජයකොඩි