Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සාර්ස් වසංගතය.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 වසංගතයේ ආසාදිතයින් ගණන නැවතත් ඉහළ යාමට පටන් ගෙන ඇත. මුළු ලොව ම පිළිබඳ සලකා බැලීමේ දී ආසාදිතයින් ගණන 109,168,231කට වැඩි ය. මරණ 2,406,700කට ආසන්න ය. මෙයට වසර හතකට පමණ පෙර එනම්, 2003 වසරේ දී ලොව පුරා මෙවැනි ම වසංගතයක් පැතිර ගියේ ය. ඒ “සාර්ස්” හෙවත් Severe acute respiratory syndrome (SARS) ය. 

මෙම රෝගය ද කොරෝනා පවුලට ම අයත් එකකි. ඒ1 සඳහා භාවිත වන තවත් නමක් වන්නේ “සාර්ස් කොවිඩ් 1” යන්න යි. 2002 සිට 2004 දක්වා ලොවට පහර දුන් මෙම වෛරසය ප්‍රථමයෙන් හඳුනා ගත්තේ 2002 වසරේ නොවැම්බර් 16 වන දින චීනයේ “ග්වන්ඩොන්” පළාතෙනි. ප්‍රථම ආසාදනය පැතිරීමට හේතු වූයේ වවුල් වර්ගයකි. චීන මිනිසුන් එම වවුලන්ගේ මාංශ අනුභව කර තිබු අතර, ඒ හරහා මිනිස් සිරුරට ඇතුළු වූ වෛරසය පසුව චීනය පුරාත්, දෙවනුව ලොව පුරාත් ව්‍යාප්ත විය. වැඩි ම රෝගීන් ගණනක් මෙන් ම මරණ ගණනක් ද වාර්තා වූයේ චීනයෙනි. දෙවැන්න හොංකොං වූ අතර තෙවනුව තායිවානය, කැනඩාව, වියට්නාමය, සිංගප්පූරුව, ඇමරිකා එක්සත් ජනපදය යනාදී වශයෙන් රටවල් ගණනාවකට වෛරසය ව්‍යාප්ත විය. ඉන්දියාවෙන් පවා රෝගීන් තිදෙනෙකු පමණ වාර්තා වුවත් වාසනාවකට එය ශ්‍රී ලංකාවට පැමිණියේ නැත. එකිනෙකට වෙනස් රටවල් 29කින් වාර්තා වූ සාර්ස් රෝගීන් ගණන 8,200ක් පමණ විය. මෙම රෝගය හේතුවෙන් අවම වශයෙන් ආසාදිතයින් 1,000කට ආසන්න සංඛ්‍යාවක් මිය යන්නට ඇතැයි සැලකේ. 

වසංගතයේ වඩාත් බරපතල අවස්ථාව මාස අටක් පමණ තිස්සේ දෝලනය වෙමින් තිබිණි. එය කුමන ආකාර ද? අවසන් වී ද? නැද්ද? යන්න පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා සිතා ගත නොහැකි විය. කෙටියෙන් කියතොත් රෝගය පැතිරුණු රටවල් සියල්ල එක් වී එකාවන් ව ඊට මුහුණ දීමෙන් අනතුරු ව 2003 වසරේ ජුලි මස මුල් භාගය වන විට රෝගය සහමුලින් අවසන් ව ඇති බව එම සංවිධානය සතුටින් ප්‍රකාශ කළ ද, 2004 වසරේ අග වන තුරුත් ලොව පුරා තැනින් තැන සාර්ස් රෝගීන් වාර්තා වීම නැවතුණේ නැත.

මෙය ද කොවිඩ් 19 වෛරසය මෙන් ශ්වසනය සම්බන්ධ රෝගයක් විය. මූලික රෝග ලක්ෂණ වූයේ ද කැස්ස, කිවිසුම් යාම, උණ යනාදිය යි. එකල ද රෝගයෙන් ගැලවීම පිණිස මුඛ ආවරණ පැලඳීම අනිවාර්යය වූ අතර, ජනතාව අතර පරතරය ද පවත්වා ගැනිණි. මෙහි පළමු රැල්ල ගොවීන්, සාමාන්‍ය වෙළෙන්දන් සහ සූපවේදීන් වැනි ආහාර කර්මාන්තයේ නියුතු පුද්ගලයින්ට බලපෑවේ ය. රෝගය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට උත්සාහ කිරීමෙන් පසු මෙම රෝගය සෞඛ්‍ය සේවකයින් වෙතට ව්‍යාප්ත විය. 2003 පෙබරවාරි 10 වන දින මහජන චීන සමූහාණ්ඩුව විසින් අදාළ රෝගයේ හැසිරීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) දැනුම් දී ඇති අතර, ඒ වන විට සෞඛ්‍ය සේවකයින් 105ක් සහ මරණ 5ක් ඇතුළු ව රෝගීන් 305ක් වාර්තා වී තිබිණි. 2003 පෙබරවාරි මැද භාගය වන විට ග්වන්ඩොන් නගරයෙහි පැතිරීම තවදුරටත් ඉහළ ගොස් ඇති බව පසුව වාර්තා විය. කෙසේ වෙතත්, ඒ වන විට නව ආසාදිතයින් 806ක් සහ මරණ 34ක් ද වාර්තා වී තිබිණි.

වසංගතයේ මුල් අවධියේ දී, චීන රජය මේ පිළිබඳ ජනතාවගෙන් වාර්තා ලබා ගැනීම කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදැක්වීම, ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත තොරතුරු වාර්තා කිරීම ප්‍රමාද කිරීම සහ මුල දී රෝගය ඇති වූ බවට විශ්වාස කෙරෙන ග්වන්ඩොන් පළාතෙහි හැර ඉන් පිටත සිටි අනෙකුත් චීන ජාතිකයින් හට තොරතුරු ලබා දීම අත්හිටුවීම ආදී අනුවණ ක්‍රියා පිළිවෙත් හේතුවෙන් වසංගතය මෙතරම් ව්‍යාප්ත වූ බව පෙනී යයි. එසේ ම, ආරංචිය ලැබූ වහා ම බීජිං වෙත ගිය WHO කණ්ඩායමට ද සති කිහිපයක් ගත වන තුරු අදාළ පළාතට යාමට එම රජයෙන් අවසර නොලැබිණි. මෙහි ප්‍රතිඵලය වූයේ චීනයට ජාත්‍යන්තර වශයෙන් විවේචනවලට භාජනය වීමට සිදු වීම යි. එලෙස ම චීනයෙන් පිටත දක්වා රෝග ව්‍යාප්තිය වළකා ගත නොහැකි වීම යි.

2003 වසරේ ජනවාරි 31 වන දින මාළු වෙළෙන්දෙකු වූ “ෂෝ සූෆෙන්” ගුවැන්ෂුහි සන් යාට්-සෙන් අනුස්මරණ රෝහලට ඇතුළත් වූයේ පරීක්ෂණයක් සඳහා ය. එහි දී ඔහුට සාර්ස් රෝගය වැළඳී තිබුණු බව සනාථ වූ අතර රෝහලේ හෙදියන් සහ වෛද්‍යවරුන් ඇතුළු 30 දෙනෙකුට ඒ වන විටත් රෝගය ආසාදනය වී හමාර ව තිබිණි. පසුව අදාළ වෛරසය ඒ අසල පිහිටි රෝහල් වෙත ද ව්‍යාප්ත විය.

2003 පෙබරවාරියේදී හොංකොංහි සාර්ස් දර්ශකයේ ප්‍රථම රෝගියා වූයේ “ලියු ජියැන්ලුන්” ය. ඔහු පවුලේ විවාහ මංගල උත්සවයකට පැමිණ සිටියේය. ලියු, ග්වන්ඩොන්හි “සන් යාට්-සෙන්” රෝහලේ කාර්යය මණ්ඩලයේ සේවය කළ අයෙකි.

පෙබරවාරි 21 වන දින ලියු සහ ඔහුගේ බිරිඳ මෙට්‍රොපොල් හෝටලයේ, නවවන මහලේ, 911 කාමරයට ඇතුළු වූහ. අසනීප තත්ත්වය තිබිය දීත් ඔහු සිය පවුලේ අය සමඟ සංචාරයේ යෙදුණු අතර හොංකොං වටා චාරිකාවක් ද ගියේ ය. පෙබරවාරි 22 වෙනිදා උදේ වන විට, දැඩි ලෙස අසනීපයෙන් සිටින බව වටහා ගත් ඔහු, ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අසල පිහිටි ක්වොන්ග් රෝහල වෙත ගියේය. තමාට අසනීප බවත් තමා හුදෙකලා කරන ලෙසත් ඔහු කාර්ය මණ්ඩලයට අනතුරු ඇඟවීය. එහෙත් ලියු කිසි දිනෙක සුව නොවී ය. මාර්තු 4 වන දින දැඩි සත්කාර ඒකකයේ දී ඔහු මිය ගියේ ය.

ලියු යනු සාර්ස් වසංගතයේ ප්‍රබලතම ව්‍යාප්තිකයා බව විශ්වාස කෙරේ. ඔහු මඟින් මෙට්‍රොපොල් හෝටලයේ සිටි අමුත්තන් 23 දෙනෙකුට රෝගය වැළඳුණු අතර නවවන මහලේ සිටි හත් දෙනෙක් ද ඒ අතර වූහ. පෙබරවාරි මස අග දී ප්‍රතිකාර ලබා ගත් ලියුගේ මස්සිනා මාර්තු 1 වන දින රෝහල් ගත කෙරුණු අතර මාර්තු 19 වන දින මිය ගියේය. හොංකොං රෝගීන්ගෙන් 80% ක් පමණ දෙනා ලියුගේ හැසිරීම හේතුවෙන් ඇති වූ බවට ගණන් බලා ඇත.

එම හෝටලයේ ලැගුම් ගත් කැනඩා ජාතික කාන්තාවක විසින් රෝගය එරට තෙක් ගෙන ගිය අතර ඇය මිය ගොස් තිබුණේ සිට පුත්‍රයා හට රෝගය උරුම කර දීමෙන් අනතුරුව ය. වසංගතය සිංගප්පූරුව තෙක් පැතිරුණේ ද එවැනි ම අමුත්තෙකු හරහා ය. හොංකොං හරහා සංචාරය කළ පුද්ගලයින් හරහා තායිවානය වෙත රෝගය ව්‍යාප්ත විය. මෙලෙස ජනතාවගේ නොසැලකිලිමත්බව හේතුවෙන් ලොව පුරා සාර්ස් වසංගතය පැතිර ගිය බව පෙනේ. 

2004 වසර අවසන් වන තුරු ද සාර්ස් වසංගතය සඳහා එන්නතක් සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ 2017 වසර අවසානයේ දී පමණ චීන විද්‍යාඥයෙකු විසින් Horseshoe bat හෙවත් “කොටිකන් වවුලා” හරහා සාර්ස් වෛරසය ව්‍යාප්ත වූ බවත්, ඒ සඳහා යොදා ගත හැකි ප්‍රතිවෛරස එන්නතකුත් සොයා ගනු ලැබීය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author