Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ස්පාඤ්ඤයේ හිටපු රජු රට හැර යයි.

ස්පාඤ්ඤයේ රජතුමා වූ “ජුවාන් කාලෝස්” වසර 40 කට ආසන්න කාලයක් සිය බලය පවත්වා ගැනීමෙන් පසු 2014 වසරේ දී ධූරයෙන් ඉවත් වී තම පුත් “හය වන ෆෙලිපේ” හට බලය භාර දුන්නේය. කෙසේ වුවත් තමා හට එල්ල වී ඇති චෝදනා කිහිපයක් නිසා කලකිරීමට පත්ව සිටින හිටපු රජතුමා සදහට ම ස්පාඤ්ඤය අත්හැර දමා ගොස් ඇති බව පෙනේ. පසුගිය අගොස්තු මස තුන් වන දින සිය පුත්‍රයා වන වත්මන් රජු, “හය වන ෆෙලිපේ” වෙත ලිපියක් යවමින් ඔහු කියා සිටියේ,

“ස්පාඤ්ඤයේ ජනතාවට, එහි ආයතනවලට ඔබ රජෙකු ලෙස සේවය කරනු ඇති බවට තිබෙන විශ්වාසය නිසා, ස්පාඤ්ඤයෙන් ඉවත්වීමට මා ගත් තීරණය ගැන ඔබට දන්වා සිටිමි. මාගේ පෞද්ගලික ජීවිතයේ අතීත සිදුවීම් නැවත මතු වෙමින් පවතින හෙයින් ඒවායින් මහජනයා වෙත ළඟා විය හැකි විපාක හමුවේ මම මෙම තීරණය ගත්තෙමි. ඔබට රජෙකු ලෙස තම කටයුතු සන්සුන් භාවයෙන් ඉටු කිරීමට ඉඩ දීමේ බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමුගනිමි.” යනුවෙනි.

ඔහු රට හැර යාමට ගත් තීරණයට හේතු වූයේ ඔහුගේ දියණියගේ ස්වාමිපුරුෂයා සම්බන්ධයෙන් දූෂණ හා වංචා පරීක්ෂණයක් සිදු කිරීමත් ස්පාඤ්ඤයේ මූල්‍ය අර්බුදය අතරතුර රජතුමා සහභාගී වූ අලි දඩයම් චාරිකාවක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමත් ය. තව ද, මෙම වසරේ ජුනි මාසයේදී ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සෞදි අරාබියේ අධිවේගී දුම්රිය කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් “ජුවාන් කාලෝස්” වංචාකාරී ලෙස ක්‍රියා කළ බවට චෝදනා එල්ල විය. එහෙත් ඔහු ඉල්ලා අස්වීමෙන් පසු ඔහුට එරෙහි ව නඩු පැවරීමක් සිදු නොවුණි.  

කෙසේ වුවත් රට හැර ගිය හිටපු රජතුමා මේ වන විට රැඳී සිටිනුයේ කොහේද යන්න පිළිබඳ සාක්ෂි කිහිපයක් හමු වී තිබේ. ප්‍රාදේශීය වාර්තා පවසන්නේ ඔහු කැරිබියානු ඩොමිනිකන් ජනරජයට හෝ ස්පාඤ්ඤයේ අසල්වැසි පෘතුගාලයට හෝ ගොස් ඇති බව යි. එහෙත් මේ වන විට වාර්තා වන්නේ “ජුවාන් කාලෝස්” අබුඩාබියේ තරු පහේ හෝටලයක් වූ “එමිරේට්ස් පැලස්” හෝටලයේ මුළු මහල ම කුලියට ගෙන වාසය කරන බවයි. හිටපු රජු අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු වන “මොහොමඩ් බින් සයීඩ් අල් නහියන්” සමඟ සමීප ව කටයුතු කළ බවට ද වාර්තා වේ.

About The Author