Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සමාජ මාධ්‍ය ලියාපදිංචිය ජනතාවගේ පුද්ගලිකත්වය සමග කරන මර්ධනකාරී භයානක සෙල්ලමක් – සමාජ කතිකාව ඇරඹෙයි

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමට රජය ගෙන ඇති තීරණය රටේ ජනතාවගේ පුද්ගලිකත්වය සමග සිදු කරන භයානක සූදුවක් බව සමගි ජන බලවේගයේ තරුණ ව්‍යාපාරයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි ප්‍රකාශ කළේ ය.

සමාජ මාධ්‍ය හරහා කෙරෙන නොයෙක් අකටයුතුකම් වැළක්වීමේ පියවරක් වශයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීමට රජය කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කොට තිබුණි.

රසික ජයකොඩි මහතා පෙන්වා දෙන්නේ “සමාජ මාධ්‍ය පරිහරණය කරන ඕනැම කෙනෙක් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම ආරම්භ කරන විට දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ සමාජ මාධ්‍ය සමාගම සමග ගිවිසුමකට එළඹෙන බවයි.

ඒ අනුව නීති විරෝධී කටයුත්තක් සම්බන්ධ විමර්ශනයක දී හැරෙන්නට අනෙක් සියලු අවස්ථාවන්හි දී සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන්ගේ දත්ත සහ තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට එම සමාගම් බැඳී සිටින බවද පෙන්වා දෙන ජයකොඩි මහතා යම් පුද්ගලයෙකු සමාජ මාධ්‍ය භාවිතා කොට වැරදි සිදු කරන අවස්ථාවල දී එම සමාගම් සමග සම්බන්ධ වී අවශ්‍ය පියවර ගැනීමට රජයට හැකියාව පවතින බවද අවධාරණය කළා.

ඒ නිසා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ලියාපදිංචි කිරීම පිටුපස යම් කපටි සහ මර්ධනකාරී යටි අරමුණක් මෙන්ම භයානක සූදුවක් ක්‍රියාත්මක බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“මෙම ලියාපදිංචිය හරහා එකතු කරන තොරතුරු අවශ්‍ය නම් ආණ්ඩුව අකැමැති මත සමාජ මාධ්‍යවල පළ කරන පුද්ගලයන් දඩයම් කිරීමට යොදාගන්න පුළුවන්. දැනටමත් ඒ වැඩේ පටන් අරගෙන තියනවා. ඒ විතරක් නෙවෙයි, මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර සඳහා වුණත් මේ දත්ත භාවිතා කිරීමේ අවදානමක් තියෙනවා. මේ දත්ත කොහෙද ගබඩා වෙන්නේ? කවුද මේවා පාවිච්චි කරන්නේ? මොන අරමුණකින් ද පාවිච්චි කරන්නේ? මේ වගේ බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු වෙනවා,” යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“මේක ජනතාවගේ පුද්ගලිකත්වය සමග කරන ඉතාම භයානක සෙල්ලමක්. මෙහි අවසන් අරමුණ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල මුළුමනින් ම අවහිර කොට චීනයේ භාවිතා වන සමාජ මාධ්‍ය ජාල ලංකාවට හඳුන්වා දීමදැයි කියන සැකය අපට තියනවා.

චීනය වැනි රටක ජීවත් වන මිනිසුන්ට පුද්ගලිකත්වය හෝ රහස්‍යභාවය ගැන අයිතියක් නෑ. ඔවුන් කරන කියන හැම දෙයක් ම ආණ්ඩුවේ ඒජන්තයන් බලාගෙන ඉන්නවා. මෙවැනි මර්දනකාරී නීති පැමිණියොත් ලංකාවත් ඒ මර්ගයේ ම ගමන් කරයි” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author