Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සමාජය තුළ සැඟ වී ගිය කොරෝනා ආසාදිතයන් සිටිය හැකියි

වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී, වෛද්‍ය සුදත් සමරවීර මහතා මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබේ. මේ වන විට 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කර ඇති අතර ළමුන් මෙන් ම ගුරුවරුන් ද විදුහල්පතිවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලය ද සේවයට වාර්තා කර තිබෙනුයේ සමාජය තුළ කිසිදු කොවිඩ් 19 ආසාදිතයෙකු නොමැති බව සිතමිනි. එසේ ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බොහෝ සේවකයින් ද කිසිදු බාධාවකින් තොර ව බස් රිය, දුම්රිය වැනි පොදු පුවාහන සේවා භාවිත කරමින් සිය රාජකාරී සඳහා පිටත් ව යනු පෙනේ. 

එනමුත් වසංගත රෝග අංශය පවසන පරිදි තවදුරටත් හඳුනා නොගත් කොවිඩ් 19 ආසාදිතයින් කිහිපදෙනෙකු හෝ සමාජය තුළ සිටිය හැකි ය. මන්දයත්, මේ වන විට රාජාංගණයේ පමණක් නොව කොළඹ ප්‍රසිද්ධ පාසලකින් ද ආසාදිත දරුවෙකු සොයාගෙන තිබෙන බැවිනි. එසේ ම පසුගිය 24 වන දින මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලින් පැන ගොස්, පසුව කොළඹ මහ රෝහලේ බාහිර රෝගී අංශය අසල දී අත්අඩංගුවට ගැනුණු කොවිඩ් රෝගියා හරහා ද කොපමණ දෙ⁣නෙකුට රෝගය සම්ප්‍රේෂණය වී ඇත් ද යන්න සැක සහිත ය. මේ සියලු කරුණු කාරණා සැලකිල්ලට ගත් විට සමාජයෙන් වසංගතය ආසාදිතයින් සම්පූර්ණයෙන් ම ඉවත් කොට ඇතැයි නිගමනය කළ නොහැකි ය.

වෛද්‍ය සුදත් සමරවීර මහතා තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ වන විට හඳුනා ගනිමින් පවතින සියලු රෝගීන් නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් හසු වෙමින් පවතින බව තමාට නිළ වශයෙන් කිව හැකි බව ය. එහෙත් ඉහතින් සඳහන් කළ සැකය හේතුවෙන් ඔවුන් ඇතුළු නිළධාරී මණ්ඩලය විශාල වැඩපිළිවෙළක් සකස් කරමින් යන බවත්, ඒ අනුව නුදුරු දිනෙක ම සෑම වෛද්‍ය නිළධාරී කොට්ඨාසයක් ම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළේ ය. මෙම පරීක්ෂණය එක් එක් ප්‍රදේශවල ජන අනුපාතයට අනුව තෝරා ගන්නා කණ්ඩායමක් හරහා සිදු කිරීමට බලාපොරොත්තු වන බැවින්, එය අවසන් වීමෙන් පසු සැඟවී සිටින ආසාදිතයින්ගෙන් බහුතරයක් සාර්ථක ව හා ඉක්මනින් හඳුනා ගැනීමට හැකි වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. 

සමරවීර මහතා විසින් මෙම අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ පසුගිය දිනෙක පැවැති මාධ්‍ය හමුවක දී ය.