Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සමලිංගිකත්වය එපාමයි ද?

පසුගිය 25 වන දින මේ වන විට පාප් ධූරය දරන පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අළලා නිර්මාණය කෙරුණු වාර්තාමය චිත්‍රපටයක් නිකුත් කෙරිණි. චිත්‍රපටය තුළ දී පාප් වහන්සේ ඉදිරිපත් කරන අදහස් කිහිපයක් හේතුවෙන් මේ වන විට කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබේ. ඒ, සමලිංගිකත්වය සම්බන්ධ ව ය.

සමලිංගික සිවිල් සංගම්වලට සහයෝගය දක්වමින් ෆ්‍රැන්සිස් පාප්තුමා චිත්‍රපටය තුළ සිදු කරන ප්‍රකාශයන් පැහැදිලි කිරීමට වතිකානුව උත්සාහ කර ඇති අතර, ඒවා එතුමාගේ සැබෑ අදහස් නොවන බවත් සමලිංගිකත්වය පිළිබඳ පාප් වහන්සේගේ විරෝධතාවයේ කිසිදු වෙනසක් නොමැති බවත් වතිකානුව පවසයි. 

ලොව පුරා විසිරී සිටින පාප්තුමාගේ නියෝජිතයින් හට ඔක්තෝබර් 30 වන දින වතිකානු රාජ්‍ය ලේකම් කාර්යාලයෙන් යවන ලද ලිපියක වතිකානුව සඳහන් කළේ රුසියානු සම්භවයක් ඇති අධ්‍යක්ෂ එව්ගනි අෆිනෙව්ස්කි විසින් රචිත “ෆ්‍රැන්චෙස්කෝ” චිත්‍රපටයේ ෆ්‍රැන්සිස් පාප්තුමා පළ කළ අදහස් හා සැබෑව යනු දෙකක් බවයි. 

වතිකානුවේ ලිපිය පළමුවෙන් ම පළ කරනු ලැබුවේ වතිකානු නන්සියෝ, මෙක්සිකෝවේ අගරදගුරු, ෆ්‍රැන්කෝ කොප්පෝලාගේ ෆේස්බුක් පිටුවේ ය.

“මීට වසරකට පෙර, සම්මුඛ සාකච්ඡාවක දී, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විවිධ අවස්ථා දෙකක දී විවිධ ප්‍රශ්න දෙකකට පිළිතුරු දුන් අතර, ඉහත සඳහන් වාර්තා චිත්‍රපටයේ, එම පිළිතුරු නිසි සන්දර්භගත කිරීමකින් තොර ව තනි පිළිතුරක් ලෙස සංස්කරණය කොට ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ව්‍යාකූලත්වයට හේතු වී ඇත්තේ එයයි.”  වතිකානුව පවසයි.

 “අපට අවශ්‍ය වන්නේ සිවිල් සංගම් නීතියක්” යන චිත්‍රපටයේ පාප්තුමා කළ ප්‍රකාශය පිළිබඳව වතිකානුවේ පැහැදිලි කිරීම අනුව පාප්තුමා මීට වසර දහයකට පෙර ආර්ජන්ටිනාවේ සමලිංගික විවාහ නීතියට එරෙහි වීම ගැන ප්‍රකාශයක් සිදු කර තිබේ.

එම සන්දර්භය තුළ, වතිකානුවේ ලිපියේ සඳහන් වන්නේ, පාප්තුමා “මෙම පුද්ගලයන්ට යම් නීතිමය රැකවරණයක් ලබා ගැනීමට ඇති අයිතිවාසිකම් ගැන කතා කර ඇති” නමුත්, සමලිංගික විවාහ අනුමත කිරීම පිළිබඳ කිසිවක් පවසා නොමැති බව යි.