Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සත් වරක් පළි ගත් කොලරාව.

1817 වසරේ එක් දිනක ඉන්දියාවේ කල්කටාවට ආසන්න ව පිහිටි ග්‍රාමයක දී අමුතු ආකාරයේ රෝගීන් පිරිසක් දක්නට ලැබිණි. සියලුදෙනා බඩ අල්ලාගෙන, වමනය දමමින් සිටි අතර සම වියළී ගොස් තිබිණි. රෝගීහු පාචනයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළහ. පැයකින් පමණ ඔවුන්ගේ රුධිර පීඩනය අඩු වන බවත්, පැය හතක පමණ ගත වන විට මදින් මද කම්පන තත්ත්වයට පත් වන බවත් දක්නට ලැබිණි. පැය දහ අටක් ගෙවෙන විට ඔවුහු කම්පනයෙන් සිහි මඳ වී සිටියහ. දින කිහිපයක් ගත වද්දී සම්පූර්ණ ශරීරය ම වියළී ගිය පරඬැල් පතක් මෙන් දිස් විය. මුහුණ, අතපය ආදිය විකෘති වී තිබූ ඒ සියලු දෙනා, කිසිදු ප්‍රතිකාරයක් නොලබා ම මිය ගියහ. ඔවුන්ගේ මරණයෙන් පසු දිනෙන් දින එම ගම්මානය තුළ ජීවත් වූ එක් එක් පුද්ගලයා පෙර පරිදි ම රෝගී වූ අතර ටික දිනකින් මුළු ගම්මානය ම එක ම මිනී වළක් බවට පත් විය. මේ, කොලරාවේ ප්‍රථම දැක්ම යි.

එයින් පසු රෝගය ඉන්දියාවේ දකුණුදිග හා ගිනිකොණ ප්‍රදේශ දක්වා ද, එයින් අනතුරු ව අරාබිය, යුරෝපය හා නැඟෙනහිර අප්‍රිකාව දක්වා ද ශීඝ්‍රයෙන් පැතිර ගියේ ය. මෙම වසංගත තත්ත්වය 1824 වර්ෂය දක්වා පැවතුණි. 

1826 සිට 1837 දක්වා බල පැවැත්වුණු කොලරාවේ දෙ වන රැල්ල ආක්‍රමණය කළේ උතුරු ඇමරිකාව හා යුරෝපයයි. මෙම පැතිරීමට හේතුව වූයේ ගමනාගමනයේ දියුණුව, ජාත්‍යන්තර වෙළෙඳාම හා සොල්දාදුවන් ඇතුළු පිරිසගේ සංක්‍රමණය යි. 1846 දී පැමිණි තෙ වන රැල්ල 1860 දක්වා උතුරු අප්‍රිකාව, දකුණු ඇමරිකාව හා ප්‍රථම වරට බ්‍රසීලය ද ගිල ගත්තේ ය. ඉහත කී මුල් රැලි තුන අතරේ ලොව පුරා මිනිස් ජීවිත මිලියන පහළොවක් පමණ විනාශ විය.

එයින් වසර තුනකට පසු ඉන්දියාවේ දී හට ගත් සිව් වන රැල්ල නේපාලය හා ස්පාඤ්ඤය පුරා පැතිරිණි. 1881 දී නැවතත් ඉන්දියාවෙන් පස් වන වතාවට රෝගය පැතිරීමට පටන් ගත් අතර එය යුරෝපය, ආසියාව මෙන් ම දකුණු ඇමරිකාව දක්වා ද ව්‍යාප්ත විය. හය වන රැල්ලට ද හේතු වුයේ ඉන්දියාව යි. එය 1899 සිට 1923 දක්වා පැවතිණි. මෙම දෙවන අවස්ථා තුන ඇතුළත දී පමණක් ආසාදිතයෝ මිලියන විසිතුනක් මිය ගියහ. 

මුල් අවධියේ දී වෛද්‍යවරුන් සිතා සිටියේ මෙය “මියැස්මා” නම් වූ අපිරිසිඳු වායු දහරාවක් හරහා පැතිරෙන බව යි. ඔවුන් ප්‍රතිකාර සිදු කළේ ද ඒ අදහස සිතේ දරාගෙන යි. එහෙත්, රෝගය එංගලන්තය හරහා යාමට පටන් ගත් විට තත්ත්වය වෙනස් විය. බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු වූ ජෝන් ස්නෝ නමැත්තා වාතයත් සමඟ රෝගයේ ඇති සම්බන්ධතාව පිළිබඳ සැක පහළ කළේ ය. එහෙයින් ඔහු බොහෝ වෙහෙස වී රෝගීන්ගේ ව්‍යාප්තිය ගැන ලැබී ඇති දත්ත ඇසුරින් සිතියමක් නිර්මාණය කළේ ය.

ඒ අනුව ස්නෝ හට දැක ගැන්මට ලැබුණේ මූලික වශයෙන් ලන්ඩන් නගරයට ජලය ගෙන යාම සඳහා තනා ඇති භූගත ජල මාර්ගය දෙපස ඇති නිවෙස් මෙම අද්භූත වසංගතයට අනිවාර්යයෙන් ගොදුරු වී ඇති බව යි. එම ප්‍රධාන ජලනලය භාවිතයට නොගන්නා නිවෙස් බේරී තිබිණි. වහාම ක්‍රියාත්මක වූ ස්නෝ, බලධාරීන් හරහා ප්‍රධාන ජල සැපයුම වසා දැමූ අතර, රෝගය පැතිරීම ද සාපේක්ෂ ව අඩු විය. එසේ නම් මෙම රෝගය නියත වශයෙන් ම වායුව හරහා නොව ජලය හරහා පැතිරෙන්නක් බවට ඔහු නිගමනය කළේ ය. 

ඒ අනුව සියලු ප්‍රතිකාර ක්‍රම වෙනස් කෙරිණි. රෝගය පිළිබඳ තව තවත් පර්යේෂණ කිරීමට ලොව පුරා වෛද්‍යවරු පෙළඹුණාහ. එම සියලු උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස මෙය “විබ්‍රියෝ කොලරා” නමැති බැක්ටීරියාවක් මඟින් පැතිරෙන බව සොයා ගන්නා ලදී. සැබවින් ම කියතොත් අදාළ බැක්ටීරියාව රඳවා තබා ගත හැකි ප්‍රධානත ම මාධ්‍යය වන්නේ මිනිස් සිරුර යි. එහෙත් ජලය ද ඊට අනුගත වන බැවින්, අපිරිසිඳු පානීය ජල ප්‍රභව හරහා රෝගය ව්‍යාප්ත විය හැකි ය. 

රෝගකාරක විෂබීජය පිළිබඳ තතු සොයාගත් පසුව ද කොලරාව වසංගතය වරින් වර තැනින් තැන නැවත නැවතත් මතු විය. අවසන් එනම්, හත් වන රැල්ල මතු වූයේ 1961 වසරේ දී ය. එයිනුත් මිලියන දෙකකට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් මිය ගිය බව පෙනේ. සංවර්ධිත රටවලින් මෙම භයානක රෝගය අතු ගා දැමිය හැකි වුව ද, කුණු කසළ නිවැරදි ව බැහැර කිරීමේ ක්‍රමවේදයක් නොමැති වීමෙන් බිහි වන අපිරිසිඳු පානීය ජල ගැටලුව විසඳා ගත නොහැකි වීම නිසා දියුණු වෙමින් පවතින රටවල් තවමත් වරින් වර මෙම වසංගත තත්ත්වයට මුහුණ දෙන බව පෙනේ. 

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author