2022 අගෝස්තු 11

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“ශිෂ්‍යත්වෙන් ෆේල් වුණු ලංකාවේ ජනමාධ්‍ය” අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු මාධ්‍ය ලේකම් – කල්ප ගුණරත්න

ශිෂ්‍යත්ව විභාගය යනු අම්මා වරුන්ගෙ විභාගයක යැයි සමාජය හඳුන්වා දෙන්නේ ඒ තුළ ඇති තරගකාරී බව නිසාමය.

විභාගය පාස් කරවීමේ වැඩිම උනන්දුව තිබෙන්නේ අම්මාලාටය.

ශිෂ්‍යත්ව විභාගයට තම දරුවා වාඩි කරවා කෙසේ හෝ ඉහළ ප්‍රතිඵල ලබා ගැනීම ඔවුන්ගේ එකම බලාපොරොත්තුවයි.

නමුත් ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් කුඩා දරුවන් බොහොමයක් තුළ අගතිගාමි පෞරුෂ නිර්මාණය වන බව සහ අනෙක් අතට ශාරීරිකව සහ මානසිකව විශාල හානිදායක තත්වයන් ඔවුන් තුළ ඇති වීමේ වැඩි සම්භාවිතාවයක් තිබෙන බව පැහැදිලිව අනාවරණය වී තිබේ.

මේ නිසා ම ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ අවශ්‍යතාව සමාජයේ විටින් විට කතිකාවන් නිර්මාණය කිරීමට සමත් මාතෘකාවක් වුණා.

ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ ඇයි?

ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරු සොයා බැලීම වැදගත්.

ප්‍රධාන වශයෙන්ම ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේ දරුවන් වෙත ශිෂ්‍යාධාර ලබාදීම සඳහායි.

දෙවැන්න දරුවන්ට සමාජ චල්‍යතාවය ( Social Mobility) සඳහා අවස්ථා උදා කර දෙමින් ඔවුන්ට ප්‍රාථමික පාසල් වල සිට ඉහල පාසල් වෙත පියනැගීමට අවකාශ සැලසීම සඳහායි.

ප්‍රධාන වශයෙන්ම ශිෂ්‍යාධාර ලබාදීම මුල් කරගෙන පවත්වන ශිෂ්‍යත්ව විභාගය මගින් බලාපොරොත්තු වන්නේ අඩු අදායම් ලාභී පවුල්වල දුවා දරුවන්ගේ අධ්‍යාපනය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා අවකාශ සලසමින් දක්ෂතා ඇති දරුවන්ට ශිෂ්‍යාධාර මුදල් පිරිනැමීමයි.

මේ වන විට දරුවන් විසි දහසක පිරිසක්, මාසිකව රුපියල් 750 බැගින් ශිෂ්‍යාධාර මුදලකට හිමිකම් කියනවා.

එය මාසික වියදමක් ලෙස කෙතරම් ප්‍රයොගිකද යන්න සිතා බැලිය යුතු වුවද දුප්පත් කමින් මිදී පත පොත මිලදී ගනිමින්  යම් හෝ අස්වැසිල්ලක් ලබාගෙන ජීවිතය ජය ගැනීම සඳහා එය හේතුවක්.

අනෙක් කරුණ වන්නේ දරුවන්ට නග⁣රයේ ප්‍රධාන පාසල් වෙත ප්‍රවේශ වීම සඳහා, ප්‍රවේශ විභාගයක් ලෙස ශිෂ්‍යත්වය යොදා ගැනීමයි.

මේ හරහා ද ග්‍රාමීය දරුවන්ට සමාජයේ ඉහළ ස්ථරයන්ට සංක්‍රමණය වෙමින් අධ්‍යාපනය හරහා ජීවිතය ජය ගැනීමේ මාර්ගය සකස් කර තිබෙනවා.

කූලියක් මලියක් කරගෙන ජීවත් වෙන ගම්බද පවුලක ඉගෙනීමට හපන් කම් ඇති දරුවෙකු නගරයේ පාසලකට පැමිණ අධ්‍යාපනය ලබා ගනිමින් සමාජයේ තමා නියෝජනය කරන සමාජ මට්ටමෙන් ඔබ්බට පියමං කොට වෛද්‍යවරයකු ,ඉන්ජිනේරුවෙකු , කලාකරුවෙකු , සංගීතඥයකු, අමාත්‍යංශ ලේකම් වරයෙකු, අධිකරණ විනිශ්චකකාරයෙකු ,මාධ්‍යවේදියකු හෝ කවර හෝ වෘත්තියකට පිය නගන්නට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කර ගන්නේ මෙම සමාජ චල්‍යතාව උපයෝගී කරගනිමිනි.

මධ්‍ය මහා විද්‍යාල සංකල්පය ඇති කරමින් සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමන් කුඩා පාසල්වල දරුවන්ට ද්වීතියික සහ තෘතීක අධ්‍යාපනය සඳහා මධ්‍ය මහා විද්‍යාලය නිර්මාණය කරන ලදී.

එදා සිට අද දක්වා ශිෂ්‍යත්ව විභාගය කාලානුරූපීව අපේක්ෂිත අරමුණු සඟවාගත් දරුවන්ගේ ළමා කාලය උදුරා ගන්නා සාප ලත් විභාගයක් බවට පත්ව තිබේ.

පත්ව තිබෙනවා යැයි කීමට වඩා , පත්කරගෙන තිබේ යැයි කීම වඩාත් සාධාරණ බව මගේ අදහසයි.

දරුවන්ගේ මොළයට හානී

ශිෂ්‍යත්ව විභාගය තුළ වර්තමානයේ නිර්මාණය වී ඇති අනවශ්‍ය, අතිධාවනකාරී සහ තරගකාරී බව දරුවන්ගේ ජීවිත වලට සිදු කර ඇති හානිය සුළු පටු නැත.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් එවක පැවති රැස්වීමට පැමිණ සිටි ළමා මනෝ වෛද්‍යවරියක් ඇඟ කිලිපොලා යන අනාවරණයක් සිදු කළා.

ඇය සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් මව්පියන් හා ගුරුවරුන් දරුවන් තුළට මුදා හරින පීඩනය තුළ ඇතැම් දරුවන්ගේ මොළයට හානි සිදුවන බව පරීක්ෂණාත්මකව ම තහවුරු වී ඇති බවයි. 

ශිෂ්‍යත්ව විභාගය යනු එක්තරා ප්‍රමාණයක, එක්තරා සීමාවක පමණ ඇති දැනුම් පරාසයක් පරික්ෂා කරන විභාගයක් වන බවත් එය පුද්ගලයකු පුද්ගලයකු ගේ දක්ෂතාවය හෝ හැකියාවන් පිළිබඳ ඇගයීමක් කළ හැකි මිනුම් දණ්ඩක් නොවන බවත් පැහැදිලි වන බව ද එම සාකච්ඡා වලදී අනාවරණය වුණා.

විවිධ හැකියාවන් ඇති දරුවන් ඇගයීමට එකම විභාග ක්‍රමවේදයක්
විවිධ හැකියාවන් ඇති දරුවන් ඇගයීමට එකම විභාග ක්‍රමවේදයක්

විවිධ හැකියාවන් සහ දක්ෂතාවයන් ඇති දරුවන් ලවා යම් තෝරාගත් කාර්යයක් ඉටු කිරීමට යාමේදී  එය සාර්ථක කර ගැනීමට හැකි වන්නේ අදාළ කාර්යය පමණක් ඉටු කිරීමට වැඩි හැකියාවක් තිබෙන දරුවන්ට පමණයි.

නමුත් ඇතැම් විටෙක එම දරුවන්ට වඩා සුවිශේෂී හැකියාවන් ඇති තවත් දරුවන් අදාළ කාර්යය ඉටු කර ගැනීමට නොහැකිව සිටින්නට පුළුවන්.

එය විභාග ක්‍රමයේ ඇති බරපතළම වරදයි.

තවත් දරුවෙකුට ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීම කළ නොහැකි වන්නට පුළුවන්.

නමුත් ඔහුගේ ප්‍රශ්න විමසන විට අපූර්ව ලෙස පැහැදිලි කරමින් කතා කිරීමට ඔහුට හැකි වන්නට පුළුවන්.

නමුත් ඔහුට සිදුවන්නෙත් විභාග ක්‍රමය තුළ ඔහුට නොහැකි පිළිතුරු ලිවීමේ ක්‍රමවේදය යොදා ගනිමින් ඔහුගේ දක්ෂතාවය මැන ගැනීමටයි.

මෙය කෙතරම් අසාධාරණ ක්‍රමවේදයක් වුවද විභාග පැවැත්වීම තුළ මෙම කටුක යථාර්ථය ට මුහුණ දීමට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපට සිදුවනවා.

එවැනි වටපිටාවක් තුළ වයස අවුරුදු 11 ක් පමණ දරුවන්ගේ මනසට ශිෂ්‍යත්ව විභාගය නිසා මුදාහැරෙන පීඩනය පිළිබඳ වැඩිහිටි සමාජයට අවබෝධ කර ගැනීම කරගැනීම අපහසු නැහැ.

ටියුෂන් මාෆියාව

මේ පුංචි දරුවන් ටියුෂන් මාෆියාවේ ගොදුරු බවට පත්වීම බරපතල තත්වයක්. විශේෂයෙන්ම දරුවන්ට වඩා ඔවුන්ගේ මව්වරුන් ටියුෂන් කර්මාන්තය තුළ මුදාහැරෙන ප්‍රවර්ධන ක්‍රමවේදයන් හේතුවෙන් බරපතළ මානසික පීඩාවන්ට මුහුණ දෙන අතර ටියුෂන් හරහා ඔවුන් නිර්මාණය කරගන්නා  මනෝභාවයන් මගින් මුදාහරින පීඩනය ද සම්පූර්ණයෙන්ම කේන්ද්‍ර වන්නේ දරුවන් වෙතයි.

එමෙන්ම ශිෂත්ව විභාගය සම්බන්ධයෙන් නිර්මාණය කර ඇති කෘතීම තරග කාරීත්වය පිටුපස සිටින්නේද මෙම ටියුෂන් මාෆියාවයි.

පාසල් වල ප්‍රාථමික අංශ ගුරුවරුන් බොහොමයක් ද ටියුෂන් කර්මාන්තයේ නියැලෙන්නන් වන බැවින් යතාර්ථය සමාජ ගත කිරීම සිහිනයක් වී තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගය තහනම් නොකරන්නේ ඇයි ?

ශිෂත්ව විභාගය තහනම් කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වුවත් එය ක්‍රියාත්මක කළ නොහැකි වී තිබෙන්නේ විභාගය පැවැත්වීමේ ප්‍රධාන අරමුණු හරහා මෙරට විශාල දරුවන් පිරිසකට සෙත සැලසීම අත්‍යවශ්‍ය වන නිසයි.

එමෙන්ම පාසල්වල ඉඩ කඩ පිළිබඳ ප්‍රායෝගික ගැටළු රැසක් ද ඒ සමග ගැට ගැසී තිබෙනවා.

ඉදිරිපත් වූ විසඳුම් 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සමයෙහි  මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් , අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රධානීන් ,අධ්‍යාපනඥයින් ,ළමා මනෝ විද්‍යාඥයින්, වෛද්‍යවරුන් ඇතුළු අංශ රැසක නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වා දරුවන් මුහුණ දෙන බරපතල මානසික පීඩාවෙන් ගලවා ගැනීම සඳහාත්, ශිෂ්‍යත්ව විභාගයේ අනවශ්‍ය තරගකාරීත්වය නිසා දරුවන්ට අහිමි වන අහිමිවන ළමා කාලය ඔවුන්ට ලබාදීම සඳහාත් වන යෝජනා කිහිපයක් ඉදිරිපත් වුණා.

ශිෂ්‍යත්ව විභාගය සඳහා නිර්මාණය කර ඇති අනවශ්‍ය තරගකාරීත්වය තුළ උසස් පෙළ දක්වාම පන්ති පැවැත්වෙන පාසල් වල දරුවන් පවා ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට ඉදිරිපත් වීම තුළ පීඩාවට ලක්වන බව නිරීක්ෂණය වුණා.

ශිෂ්‍යාධාර ලබා දීම මුලික කරගත් විභාගයට ආර්ථික අපහසුතාවයන් නොමැති දරුවන් පවා පෙනී සිටිනවා.

මෙම කාරණා දෙකම සැලකිල්ලට ගනිමින් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම අනිවාර්ය නොවන බවට වන තීරණය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගනු ලැබුවා.

අනෙක් කාරණාව ශිෂ්‍යත්ව විභාගය  සඳහා ලබාදෙන අනවශ්‍ය ජනප්‍රියත්වය සහ තරගකාරී  තත්ත්වයන් අහිමි කිරීමයි.

ශිෂත්ව විභාගය සාමාන්‍ය විභාගයක් ලෙස පැවැත්විය යුතු බවත්, ප්‍රතිඵල නිකුත් වූ පසු පලවන දෙවන තුන්වන ස්ථාන ලෙස ස්ථාන නම් කරමින් දරුවන් පිරිසක් උත්කර්ෂයට නංවමින් කටයුතු කිරීමට යාම ද, පාසල් ඉදිරිපිට ශිෂ්‍යත්වය සමත් දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය හේතුවෙන් තවත් දරුවන් පිරිසකගේ මානසික තත්වයට අහිතකර බලපෑම් ඇති විය හැකි බැවින් වැඩිහිටියන් ලෙස තවදුරටත් මෙම තත්ත්වයන් අවබෝධ කරගනිමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයත් අදාළ විද්වත් කමිටුව විසින් මතුකර ලැබු  එහි ප්‍රතිඵලය ලෙස  ශිෂ්‍යත්ව විභාගය විභාගයට අදාළව පළවෙනි දෙවෙනි තුන්වන ලෙස Rank නම් නොකිරීමට තීරණය වුණා.

එමෙන්ම මෙම තීරණ පිළිබඳව මාධ්‍යයට ද දැනුම් දුන් අතර, මින් ඉදිරියට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වීම සහ කඩයිම් පමණක් නිවේදනය කරන බවත් සඳහන් කෙරුණා.

දරුවන් මානසිකව මුහුණ දෙන ගැටලුව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලේ මාධ්‍ය නිවේදනයක් පවා නිකුත් කරමින්.

ශිෂ්‍යත්වෙන් මාධ්‍ය ෆේල් වුණ හැටි  

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල නිකුත් වුණා.

නමුත් බොහෝ මෙරට මාධ්‍ය ආයතන බොහෝමයක් ශිෂ්‍යත්ව විභාගයවත් සමත්ව නොසිටි බව ඔවුන්ගේ හැසිරීම තුළින් පැහැදිලි වුණා.

ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ බව පවසමින් දරුවන් කිහිප දෙනෙකු පිළිබඳ පුවත් බොහෝ නාලිකාවල විකාශය වුණා.පුවත්පත්වල පළවුණා.

ලංකාවේ ජනමාධ්‍යකරණය තුළ ඇති අවිචාරමත් බව සහ සදාචාර විරෝධී බව නැවත නැවත තහවුරු කරමින් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලැබූ දරුවන් අතුරෙන් එක දෙකක තුන Rank සොයා යාමට මාධ්‍ය පොර කන්නට වුණා.

ළමා මනෝවිද්‍යාව, විභාග මානසිකත්වය තුළ පීඩා විඳින දරුවන්ගේ අනාගතය, සමාජය තුළ දරුවන් මුහුණ දෙන මානසික පීඩාවන් පිළිබඳ කිසිදු තැකීමක් නොකොට මාධ්‍ය තරගකාරී වුයේ කෙසේ හෝ ඉහළ ප්‍රතිඵල ලැබූ දරුවන් තම මාධ්‍ය මගින් පෙන්වා ගැනීමටයි.

ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට, දක්ෂතා දැක්වූ දරුවන්ට ඉදිරියේදී එම ප්‍රතිඵල වලට අදාළව  හොඳ පාසැල් සහ  ශිෂ්‍යාධාර හිමිවනු ඇත.

අසමත් වූ දරුවන් ඉතා ශක්තිමත්ව නැගී සිටිමින් ජීවිතයට මුහුණ දිය යුතුව ඇත.

වයස අවුරුදු 11 තරම් කුඩා වයසක දරුවන් පිරිසක් අතුරින් කණ්ඩායමක් වෙන් කොට, වෙනස් කොට මතු කරමින් කටයුතු කරන විට ළමා මනස තුළ නිර්මාණය වන අර්බුදය පිළිබඳ පැහැදිලි කර තිබියදී පවා මාධ්‍යයේ මෙම හැසිරීම යුක්ති සහගතද?

එමෙන්ම එකෙකු ළිදේ පනිනා විට ඒකා පසු පසම ගොස් ළිං වලට පනිමින් රැල්ලේ යන මාධ්‍ය වාර්තාකරණයක් වගකීම් සහගත වාර්තාකරණයක් වන්නේ කෙසේද?

ශිෂ්‍යත්ව විභාගය අති විශේෂ විභාගයක් නොකර එයට සාමාන්‍ය විභාගයක් කිරීමට ඉඩ නොතබන්නේ ඇයි ?

බුද්ධිමත්ව ,ජාතික වගකීමක් සහිතව මාධ්‍ය මේ පිළිබඳ සිතිය යුතුය. අප නිකුත් කරන සංදේශ මුළු මහත් සමාජයටම බලපෑම් එල්ල කරන ආකාරයත්,එහි බලපෑමත් සියුම් ලෙස අවබෝධ කරගන්නට මාධ්‍යට පුළුවන් විය යුතුය.

⁣Raiting හොද වූවාට පමණක් මාධ්‍ය කෙරුවාව හොඳ වන්නේ ද, ගුණාත්මකවන්නේද නැති බව පුංචි දරුවන් සම්බන්ධ කරණා වලදී හෝ මාධ්‍ය සංදේශ හැසිරවීමේදී අවබෝධ කර ගත යුතුය.

මේ තුළ මාධ්‍ය තම මාධ්‍ය වෘත්තියේ ඇති වගකීමත්,සදාචාරාත්මක සහ ආචාර ධර්මීය අගනාකම්ද සිහි බුද්ධියෙන් යුතුව ක්‍රියාවට නැංවිය යුතු නොවන්නේද?

ආචාර ධර්ම අහිමි ලංකාවේ මාධ්‍ය කලාව.

ඉන්දියාවේ වෛද්‍ය සිසුවියක් සමූහ දූෂණයට ලක් විය.බරපතල තුවාල ලැබූ ඇය රෝහල්ගතව ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූවාය.

ඉන්දියානු මාධ්‍ය සියල්ල එක් ප්‍රතිපත්තියකට  පැමිණ එම සිද්ධිය පිළිබඳ  මාධ්‍ය වාර්තාකරණයේ නිරත විය.

කිසිදු විටෙක ඉන්දියානු මාධ්‍ය මාධ්‍යයි ගේ සම්පූර්ණ නම හෙළි කළේ නැත 

‘අභීතා’ ලෙස අන්වර්ථ නාමයකින් ඇය හැඳින්වීමට සියලු මාධ්‍ය කටයුතු කර ලදී.

අවාසනාවන්ත ලෙස ඇය මිය ගිය අතර ඇය මිය යන මොහොත දක්වා ඇගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් ආචාරශීලී ලෙස ඉන්දියානු මාධ්‍ය හැසිරී තිබුණි.

සිද්ධිය ලංකාවෙ වූවා නම් සිදුවන්නේ කුමක්දැයි ඔබත් මමත් හොඳින් දනී.

ලංකාවේ මාධ්‍ය පමණක් තිබේ.බොහෝ තැන් වල මාධ්‍යකරුවන් පමණක් රාජකාරිය කරයි. 

එසේත් නැත්නම් ඉහළින් සිටින මාධ්‍ය හිමිකරුවන්ගේ මැදිහත්වීම තුළ මධ්‍ය වගකීම සහ ආචාර ධර්මය තත්වයන් සියල්ල වල පල්ලට දමා රැකියා සුරක්ෂිත භාවය වෙනුවෙන්මෙ නිහඩව සිටීමට සැබෑ ජනමාධ්‍යවේදීන්ට සිදුව තිබේ.

නමුත් නිවැරදි දේ දැන දැනත් නිහඩව සිටින්නේ නම් ඔහු සැබැ මාධ්‍යවේදියෙකුද යන්න ගැටලුවකි.

එබැවින් කීමට ඇත්තේ තම පුරවැසි වගකීම පවා නොදන්නා ලංකාවේ මාධ්‍ය බොහොමයක් මෙවර පහේ ශිෂ්‍යත්වයෙන් පවා අසමත් වූ බවයි.

© කල්ප ගුණරත්න – හිටපු මාධ්‍ය ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශය