2022 අගෝස්තු 10

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නිස්සෝ, සුදුස්සෝ යටකර දමන පොලිසියේ ඛේදවාචකය – විශේෂ ලියුම්කරුවෙකු විසින්

පසුගිය යහපාලන රජයේ දේශපාලන බලපෑම් මත උසස්වීම් ලද ශානි අබේසේකර දේශපාලන වුවමනාවන් මත නීතිය ක‍්‍රියාත්මක කරනු ලැබූ බව මාධ්‍ය කීපයක් මගින් නිරන්තරයෙන් හුවා දක්වයි.

ශානි අබේසේකර සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් සඳහා පෙනී සිටි සම්මුඛ පරීක්ෂණයේ ප‍්‍රතිඵල පහත ඡයාරූපයෙන් දැක්වේ.

ඒ 2008 වසරේදී සහකාර පොලිස් අධිකාරී උසස්වීම් සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණය වන අතර එම සම්මුඛ පරීක්ෂණයේ ප‍්‍රථමයා වත්මන් නියෝජ්‍ය පොලිස්පති කේ.අපොන්සුය.

දෙවැනියා ශානි අබේසේකරය.

ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තුන්සිය තිස් එකක් මෙම සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට ඇති අතර මෙමගින් සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වූ නිලධාරීන් මේ වන විට පොලිස් අධිකාරී තනතුරට ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට ද පත්ව කිහිපදෙනෙක් නියෝජ්‍ය පොලිස්පති තනතුරුවලට ද පත්ව ඇත.

එම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වනුයේ ලැයිස්තුවේ අංක 1 කේ.අපොන්සු , අංක 8 යූ.කේ මාරඹගේ, අංක 9 එල්.ඒ සෙනෙවිරත්න, අංක 11 අනිල් ප‍්‍රියන්ත යන නිලධාරීන්ය.

මේ අතරින් ගිනිගේ හැර අනෙකුත් අතරමැදි නිලධාරීන් මෙි වන විට විශ‍්‍රාම ලබා ඇත.

ඒ අනුව ලැයිස්තුවේ අංක දෙකට සිටි ශානි අබේසේකර මේ වන විට නියෝජ්‍ය පොලිස්පති වී තිබිය යුතුය.

ශානි අබේසේකර දේශපාලන උසස්වීම් ලැබුවේ නම් මෙම උසස්වීම් ලබා ඇති අනෙක් නිලධාරීන්ද එසේ දේශපාලන උසස්වීම් ලැබූ අය විය යුතුය.

පොලිස් අධිකාරි හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරු වලට සම්මුඛ පරීක්ෂණයකින් තොරව ජ්‍යෙෂ්ඨත්වය මත උසස්වීම් ලබන අතර නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වේ.

එමගින්ද  ශානි අබේසේකර ඉහළම තැනක් ලැබීම නිසැක වනුයේ ඔහු රාජකාරියේ දී දක්වා තිබූ දක්ෂතාවය නිසාය.

ශානිගේ කෙරුවාව.

1986දී උප පෙලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිසියට බැඳුණු ශානි අබේසේකර සී.අයි.ඩී යට එක්වනුයේ 1998දී කොච්චිකඬේ ප‍්‍රදේශයේ දී බෝම්බ ප‍්‍රහාරයකින් මියගිය ඒ.එස්.පී ශාන්තිකුමාර් ඝාතනය විමර්ශනයට එවකට ග‍්‍රෑන්ඩිපාස් පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ලෙසය.

එම ඝාතනය සිදු කළ ක‍්‍රිස්ටෝපර් බැරී නමැති පාතාල නායකයා මිය යනුයේද වැටලීමකදී ශානි අබේසේකරගේ වෙඩි පහරකින්ය.

අනතුරුව කොළඹ මහ නගර සභා මන්ත‍්‍රී ඉම්තියාස් ඝාතන විමර්ශන සිදුකරන ශානි විසින් නාවල නිහාල් අත්අඩංගුවට ගනු ලබන්නේ ඔහු පාතාල ලෝකයේ ගෝඞ්ෆාදර් ලෙස නම් දරා සිටින කාලයේදීය.

1999 දී එයිට්කන් ස්පෙන්ස් අධ්‍යක්ෂ වික‍්‍රමසිංහ පැහැරගෙන කෝටි දෙකක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිදුවීම විමර්ශනය කර සැකකරුවන් අධිකරණය මගින් වරදකරුවන් කරනු ලබන්නේ ශානි ඇතුළු කණ්ඩායමය.

කොන්ත‍්‍රාත් මිනී මැරීමේ චෝදනාවට 2016 දි නියෝජ්‍ය පොලිස්පති වාස් ගූණවර්ධන වරදකරුවන්නේ ශානිගේ  විමර්ශන නිසාය.

ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ නිහාල් කරුණාරත්න පොලිස් පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කිරීම මත අත්අඩංගුවට ගන්නේද ශානි අබේසේකර විසිනි.

අගුලාන තරුණයන් දෙදෙනාගේ ඝාතනය, රෝයල් පාක් ඝාතනය 1999 චන්ද‍්‍රිකා කුමාරතුංග වෙත නගර සභා පිටියේදී එල්ල කළ බෝම්බ ප‍්‍රහාරය, 2006 දී සරත් ෆොන්සේකා ඝාතන ප‍්‍රයත්නය, 2006 දි එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන ප‍්‍රයත්නය, 2001 කටුනායක එල්ටීටීඊ ත‍්‍රස්තවාදය ප‍්‍රහාරය ශානි අබේසේකර විමර්ශන සිදුකළ තවත් අපරාධ කිහිපයකි.

මෙම සියලූ අපරාධ විමර්ශනවල සුවිශේෂ කරුණ වනුයේ එම විමර්ශන අවසානයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පමණක් නොව අධිකරණයේ නඩු පවරා සැකකරුවන් වරදකරුවන් කිරීම දක්වා ද ඇපීල් උසාවියේදි එම තීන්දු තහවුරු කිරීම දක්වාද විමර්ශනයන්ගේ හා නඩු මෙහෙයවීමිවල සාර්ථක බවයි.

පසුගිය කාලයේදී ශානි අබේසේකර විසින් සිදු කළ ප‍්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීම, වසීම් තාජුඞීන් ඝාතනය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ද‍්‍රවිඩ තරුණයින් පහළොස් දෙනෙකු අතුරුදහන් වීමේ සිදුවීම, කීත් නොයාර් පැහැරගෙන යාම හා පහරදීම, උපාලි තෙන්නකෝන් පැහැරගැනීම හා පහර දීම ආදී අපරාධ විමර්වශන වල සැකකරුවන්ටද මෙම ඉරණම අත්වීමේ හැකියාව තිබුණේ ද යන්න දැන් කිව නොහැකිය.

කෙසේ වුවත් මේ වන විට අත්අඩංගුවට පත්වීම නිසා ශානි අබේසේකරට නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වීමේ අවස්ථාව අහිමි වී ඇත.

ශානි අත්අඩංගුවට පත් වන්නේ අවසාන තීන්දුව ද ලබාදී තිබූ නඩුවක සාක්ෂිකරුවන් පසු කාලයේදි වෙනස් ප‍්‍රකාශයක් කිරීම නිසාය.

අපරාධ විමර්ශන කරන පොලිස් නිලධාරීන් බියෙන් සලිත වෙයි – රාජකාරිය මග හරින තැනට පත්වෙයි ?

මෙය මෙතෙක් සමාජයේ නිසි අවධානයට ලක් නොවුණ ද එය අපරාධ විමර්ශනයක් සිදු කරන පොලිස් නිලධාරීන් ඉදිරියේදි ද බරපතළ අවදානමකට ගොදුරු කරවන පෙර ලකුණකි.

ඒ සාක්ෂිකරුවන්ගේ ප‍්‍රකාශ මත නඩු කටයුතු මෙහෙයවා චූදිතයින් වරදකරුවන් කර අභියාචනා අධිකරණය මගින්ද එම තීන්දුව තහවුරු කර තිබියදි යම් කාලයකට පසුව සාක්ෂිකරුවන් වෙනස් ප‍්‍රකාශයක් කළහොත් දංගෙඩියට ලක්වන්නේ විමර්ශන සිදුකළ පොලිස් නිලධාරින් වීම නිසාය.

එම සාක්ෂිකරුවන්ට අවම වශයෙන් පෙර අධිකරණවලදී බොරු සාක්ෂි ලබාදුන් බවට චෝදනාවක් හෝ එල්ල නොවීමද මෙහි ඇති විශේෂත්වයයි.

විශේෂයෙන් දේශපාලන බල පෙරළිවලින් පසු සාක්ෂිකරුවන් මේ අයුරින් වෙනස් වීම ඉදිරියේදී ද පොලිස් නිලධාරින් විසින් අපේක්ෂා කළ යුතුව ඇත.

සි.සි.ඩියේ අධ්‍යක්ෂ නන්දන සේනාරත්න වැනි නිලධාරින් සිටින පොලිසිය ගනු ලබන්නේ තම වෘත්තීය සගයන්ගේ පැත්ත හෝ සාධාරණත්වයේ පැත්ත නොව එවකට දේශපාලන බල අධිකාරියේ පැත්ත බව පැහැදිලිය.

තවත් ජුගුප්සාජනක තත්ත්වයක් වනුයේ සියලූ චෝදනා ශානි අබේසේකර මත පැටවීමය.  

අධිකරණයක නඩු කටයුතු මෙහෙයවා චූදිතයින් වැරදිකරුවන් කිරීම දක්වා ක‍්‍රියාවලිය සංකීර්ණ කල්ගතවන මෙන්ම විවිධ ආයතනවල පුද්ගලයින් රැසකගේ මැදිහත් වීමෙන් සිදු කරන ක‍්‍රියාවලියකි.

විමර්ශනයක ප‍්‍රකාශ සටහන් කිරීම ස්ථාන පරීක්ෂාව ආදී කටයුතු කොස්තාපල්වරුන් හා පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් විසින් සිදුකරන අතර එම සියලූ කටයුතු අදාළ අංශ භාර ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් සිදු කෙරේ.

එසේ සිදු කරන විමර්ශන ප‍්‍රගතිය සහකාර පොලිස් අධිකාරිවරුන් හරහා අධ්‍යක්ෂ වෙත යොමු කරන අතර අවශ්‍යතාව පරිදි නියෝජ්‍ය පොලිස්පති ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වාද සමහර අවස්ථාවල පොලිස්පති දක්වාද වාර්තා කෙරේ.

එම උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කරන අතර මෙම විමර්ශන ප‍්‍රගතිය අධිකරණය වෙත ස්ථානාධිපති මගින් බී වාර්තා මගින් වාර්තා කෙරේ.

අදාළ විමර්ශනය ගරු මහේස්ත‍්‍රාත්වරයාගේ අධීක්ෂණයට එමගින් ලක්වන අතර නීතිඥවරුන්ටද එම වාර්තා ලබා ගැනීමේ හැකියාව ඇත. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඇඟිලි සටහන් රෙජිස්ට‍්‍රාර් සැකකටයුතු ලේඛන පරීක්ෂක ආදී අංශ විමර්ශනයට අවශ්‍ය සහාය ලබා දෙන අතර එම සහාය ගරු අධිකරණයේ නියෝග මත ලබා ගනී.

අනතුරුව වැදගත්ම කාර්යය සිදු කරනුයේ නීතිපති දෙපාර්තමේන්තුව මගිනි. විමර්ශනයේ අඩුපාඩු ඇත්නම් ඒවා සංශෝධනයට උපදෙස් දී  ප‍්‍රමාණවත් සාක්ෂි ඇත්නම් මහාධිකරණයේ නඩු පවරනු ලබන්නේ නීතිපතිවරයා විසිනි අධිකරණයේ පෙනී සිට පැමිණිල්ල මෙහෙයවා චූදිතයින් වරදකරුවන් කරනු ලබන්නේද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.

අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලූ අභියාචනා වලට පෙනී සිටින්නේ ද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන අතර නඩු පැවරීමෙන් පසු පොලිස් නිලධාරීන් අධිකරණයේ පෙනී සිටින්නේ සාක්ෂිකරුවන් ලෙස පමණි.

මෙම දීර්ඝ පැහැදිලි කිරීම මෙම සිදුකළේ මේ වන විට දුමින්ද සිල්වා සිරගත කිරීමේ වගකීම විවිධ පුද්ගලයින් විසින් ශානි අබේසේකර මතම පටවන බැවින් එම ප‍්‍රකාශවල හාස්‍යජනක බව හා ජනතාව රවටන සුළු ආකාරය පෙන්වා දීමටය.

සත්‍ය වශයෙන්ම දුමින්ද සිල්වා නඩුව ඉහත සඳහන් කළ සියලූ ආයතනවල මැදිහත් වීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගොස් අවසාන වූ සිද්ධියක් බව සඳහන් කළ යුතුය.

දේශපාලනයෙන් උඩට ගිය පොලිස් ලොක්කෝ ?

ශානි අබේසේකර දේශපාලන හයියෙන් උසස්වීම් ලබාගත් බවට පවසන අය දැනගත යුතු තවත් කරුණක් වනුයේ පසුගිය කාලයේ ක‍්‍රමවේදයට පිටින් ගොස් පොලිස් නිලධාරීන් උසස්වීම් ලැබූ අවස්ථා රුසක් පිළිබඳවය.

ශානි අබේසේකර මාරු කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයට පත්වූයේ ඩබී. තිලකරත්න නැමැති ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාය. කිසිදු විමර්ශන අත්දැකීමක් නැති ඔහු දීර්ඝ කාලයක් මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක රාජකාරි කිරීම ලංකාවේ ප‍්‍රමුඛතම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ධුරයට පත්වීමට එකම සුදුසුකම බව පෙනේ.

අපරාධ විමර්ශනයේ කිසිම අත්දැකීමක් නොමැති නිලධාරියෙකු සී.අයි.ඩියේ මුල්පුටුවට පත්වනුයේ  ඉතිහාසයේ ප‍්‍රථම වරට බව සඳහන් කළ යුතුය.

හාස්‍යයට කරුණ වනුයේ රාජකාරි අවශ්‍යතාවය මත මෙම පත් කිරීම සිදු කළ බව පොලිස්පති විසින් ස්ථානමාරු පණිවිඩයේ සටහන් කර තිබීමයි.

එම රාජකාරි අවශ්‍යතාවය, රාජකාරියට කෙසේ වෙතත් පොලිස්පති වීමට නම් අවශ්‍ය බව පැහැදිලිය.

කෙතරම් දේශපාලන හයියක් තිබුණද සී.අයි.ඞීයේ අධ්‍යක්ෂ වැනි තනතුරකට එය ප‍්‍රමාණවත් නොවන බව කෙටි කලකින් ප‍්‍රත්‍යක්ෂ වූයේ වැඩි කලක් නොගොස් එනම් 2020 මැයි මස තිලකරත්නට ඇමති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙස ස්ථාන මාරු ලැබීමට සිදුවීමෙනි.

තවත් සඳහන් කළ යුතු වැදගත් කරුණක් වනුයේ තිලකරත්න සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් වීම් ලබන්නේ විභාග හෝ සම්මුඛ පරීක්ෂණ මත හෝ නොව කැබිනට් පත‍්‍රිකාවක් මගින්  වීමයි.

දේශපාලන පත්වීම් පිළිබඳව හා පොලිසියේ දේශපාලනීකරණය පිළිබඳව මීට වැඩි උදාහරණ අවශ්‍ය නොවේ.

ඉන්පසු සී.අයි.ඩියේ අධ්‍යක්ෂ ලෙස පත්වනුයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රසන්න අල්විස්ය. දක්ෂ විමර්ශන නිලධාරියෙකූ ලෙස නමක් දිනා සිටියද ඔහු ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් වීම් ලබන්නේ විශ්මිත ආකාරයකටය.

පහත ඡායාරුපයෙන් දැක්වෙන 2020.01.27  දිනැති පොලිස්පතිගේ නියෝගයකින්  ප‍්‍රසන්න අල්විස් ,මනෝජ් රණගල හා අනුරුද්ධ බණ්ඩාරනායක යන පොලිස් අධිකාරිවරුන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් කරන අතර මෙම නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩුවක ප‍්‍රතිඵල ලෙස එම උසසවී්මි ලබන බවද එම පණිවිඩය මගින් දක්වා ඇත.

නමුත් අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව 2014 වර්ෂයේදී මොවුන් විසින් ඉල්ලා අස්කරගෙන ඇති අතර ඒ අනුව එම නඩුව අවසන් වී ඇත.

එනම් මෙවැනි උසස් වීමක් ලබා දීමට කිසිදු අධිකරණ නියෝගයක් ලැබී නොමැත.

මෙයින් අගතියට පත් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 50ක් පමණ තම මූලික අයිතිවාසිකම් කඩවීම අරඹයා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා ඇති අතර මෙය මෑත කාලයෙහි පොලිසියේ උසස් නිලධාරින් වැඩිම පිරිසක් එකතුව පැවරූ නඩුව බවට පත්වී ඇත.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ මේ වන විට පවතින කල කිරීමේ තරම එමගින් වටහා ගත හැක.

මෙසේ උසස්වීම් ලබන ප‍්‍රසන්න අල්විසටද වැඩි කලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්පුටුව හෙබවීමට අවස්ථාව ලැබෙන්නේ නැත. ඒ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බව කිවූ රිෂාඩි බදුර්දීන්ගේ සහෝදරයා වන රිෆ්ඛාන් බදුර්දීන් අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීම මත නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර කෙටි කලකින්ම ප‍්‍රසන්න අල්විස්වද ඉවත් කිරීම නිසාය.

මෙම ආණ්ඩුවේ ඉහළ බලවතුන්ට බලපාන විමර්ශන රැසක් මේ වන විටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  ගොනුවල ඇත. 

මෙහි මුල් පුටුව අරභයා මෙතරම් අවධානය යොමු වී ඇත්තේ ඒ නිසා ද යන්න අනාගතයේදී බලා ගත හැක හැකිවනු ඇත.

මෙසේ ශානිගෙන් පසු පසුගිය වසර තුළ අධ්‍යක්ෂවරුන් තුන් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පත්ව ඇත.

මෑත භාගයේ පොලිසියේ දේශපාලනීකරණය එතැනින් නතර නොවේ.

දේශපාලන  හයිය ගැන කුප‍්‍රසිද්ධ රොෂාන් රාජපක්ෂ පොලිස් ඉතිහාසයේ පෙර නොවිරූ තනතුරකට පසුගිය කාලයේදි පත් විය.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ කාර්ය භාර නිලධාරි ලෙසය.

අනතුරුව ඔහු ඇතුළු තිදෙනකු එනම් ජගත් ෆොන්සේකා හා කැලණියේ රොෂාන් ඩයස් ජේෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස් වීමි ලැබීය.

එයද ශ්‍රේඨාධිකරණයේ පැවරූ නඩුවක ප‍්‍රතිඵල ලෙස කියමින්ය. නමුත් පෙර සඳහන් කළ ශානි අබේසේකර දෙවන ස්ථානයට පත් සම්මුඛ පරීක්ෂණයේ රොෂාන් රාජපක්ෂ සිටිනුයේ 208 ස්ථානයේය. රොෂාන් ඩයස් 186 වන ස්ථානයේ වන අතර ෆොන්සේකා 242 ස්ථානයේය.

ඒ අනුව මොවුන්ට වඩා ලකූණු ලබා ඇති තවත් පොලිස් අධිකාරීවරුන් කණ්ඩායමක් මේ වන විට ද මූලික අයිතිවාසිකම් නඩුවකට ලෑස්ති වෙමින් සිටියි.

කැලණිය කොළඹ දකුණ කොළඹ උතුර ගල්කිස්ස නුගේගොඩ වැනි සංකීර්ණ කොට්ඨාස වලට සාමාන්‍යයෙන් පත්වූයේ ජෙෂ්ඨත්වයෙන් ඉහළ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ය.

ආණ්ඩු පෙරළියත් සමඟ කනිෂ්ඨ පොලිස් අධිකාරිවරු එම කොට්ඨාශවලට පත්වූ අතර රාජකාරි  අවශ්‍යතාවය මත එම පත්කිරීම් සිදුකරන බවට පොලිස්පතිගේ නියෝගවල සඳහන් විය.

වසර 155ක් පරණ පොලිස් දෙපාර්තමේන්තුවේ තවමත් ස්ථානාධිපති, අධ්‍යක්ෂ කොට්ඨාස භාර පොලිස් අධිකාරි තනතුරුවලට පත් කිරීමට නිසි ක‍්‍රමවේදයක් නොමැති අතර  ප‍්‍රදේශයේ දේශපාලන බලවතාගේ සහාය එහිලා වැදගත්ම සුදුසුකම වේ.

මෙම ක‍්‍රමවේදය නිසා සුදුස්සාට සුදුසු තැන නොලැබීම නිරන්තරයෙන් පොලිසිය තුළ දක්නට ලැබෙන අතර පොලිසියේ පසුගාමීත්වයට ප‍්‍රබලම හේතුව දේශපාලන බලපෑම් මත නුසුදුස්සන් තනතුරුවලට පත්වීම බව මේ පිළිබඳව අධ්‍යයනයක් සිදු කරන  ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත.

එයට තවත් කදිම උදාහරණයක් වනුයේ පසුගිය දිනවල  බිම්ශානි ජයසිංහ ආරච්චි ප‍්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස පත් වීමයි.

කාන්තාවන්ට තැන දීමෙි සංකල්පය මත එහි සත්‍ය කතාව යටගියද මෙම උසස්වීම වර්තමාන පොලිසියේ කඩාවැටීම පෙන්නුමි කරන කණගාටුදායක සලකූණකි. 

බිම්ශානි දෙපාර්තමේන්තුවට එක්වනුයේ උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස 1991 වර්ෂයේදීය. සහකාර පොලිස් අධිකාරිවරුන් බඳවා ගැනීමේ පරීක්ෂණයේදි උස ප‍්‍රශ්නයක් මත ඇයව පරීක්ෂණයෙන් ඉවත් කෙරෙන අතර 2018 වර්ෂයේදී ඇය සිටින්නේ කාන්තා පොලිස් පරීක්ෂක තනතෙුර්ය.

උස ප‍්‍රශ්නය තම මූලික අයිතිවාසිකම් කඩවීමක් බවට කළ පැමිණිල්ලක් මත සහකාර පොලිස් අධිකාරී ධුරයට ඇය උසස් කරන්නේ 2018 වර්ෂයේදීය.

අනතුරුව ඇය විසින් කරන ලද අභියාචනා මත ඇයගේ උසස් වීම 2008.12.31 දිනට පෙරදාතම කරනු ලබන්නේ විභාග හා දීර්ඝකාලීන සේවය මත උසස්වීම් ලබා සිටි සියලූම කාන්තා පොලිස් අධිකාරීවරියන්ට එක් දිනක් ඉහළින් තබාය.

ඉන් අනතුරුව මෙතෙක් පොලිසියේ අනුමත තනතුරක් නොවන කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරට ද ඇය පත්වේ.

මෙහිදී වසර තුනක් තුළ ඇය පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී පොලිස් අධිකාරී, ජේෂ්ඨ පොලිස් අධිකාරි තනතුරු පසුකර ගොස් ඇත.

මේ සඳහා සමත් විය යුතු අශ්වාරෝහක ප‍්‍රවීණතා පරීක්ෂණය කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය, දෙමළ භාෂා පරීක්ෂණ, සම්මුඛ පරීක්ෂණ මෙන්ම දිස්ත‍්‍රික් භාර කොට්ඨාස භාර නිලධාරීන් ලෙස ලැබිය යුතු පළපුරුද්ද ද ඇයට අවශ්‍ය වී නැත.

ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තූළ නියෝජ්‍ය පොලිස්පති තනතුර මෙතරම් හෑල්ලූවට ලක් වූ අවස්ථාවක් පොලිස් ඉතිහාසයේ තවත් නොමැති බව නොකිවමනාය. මෙම අරුම පුදුම උසස්වීම් වලට මූලිකම සුදුසුකම ඇය උපත ලැබූ ගම් ප‍්‍රදේශය වීරකැටිය වීම බව පොලිසිය තුළ නොරහසකි.

මෙි සියලූ අක‍්‍රමිකතා මැද ශානි අබේසේකර දේශපාලන බලපෑම් මත උසස්වීම් ලද බවට චෝදනා නගන පුද්ගලයින්ට කිවයුතු තවත් කරුණක් තිබේ.

එනම් පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවන් ලෙස ශානි අබේසේකර යුගයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අමතරව එකදු හෝ පුද්ගලයෙකූ අත්අඩංගුවට ගැනීමට සී.අයි.ඩියට නොහැකි වී ඇති බවය.   

සිද්ධියේ මහ මොළකරුවන් කියා සැකකරුවන් 4ක් පසු කාලයේදි අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඔවුන් මේ වන විට ප‍්‍රකාශ සටහන් කර මුදා හැර ඇත්තේ සිද්ධියට අනවශ්‍ය පුද්ගලයින් බව තහවුරු වීම නිසාය.

එසේ වුවද නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන මේ වන විට ද රඳවා ගෙන සිටී.

ඒ කුමන සාක්ෂි මත ද කිනම් නීතියක් යටතේද යන්න නොදන්නා අතර එහිදී බරපතළ මෙන්ම අමානුෂික ලෙස මූලික අයිතිවාසිකම් කඩ වීමක් සිදු වී ඇති බව ක්ෂේත‍්‍රයේ සියලූ දෙනාට නොරහසකි.

මෙවැනි ක‍්‍රියා ශානි අබේසේකර අතින් සිදු වී නොමැත.

තවද මහබැංකු මහමොළකරු කියන අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට හිටපු ජනාධිපති අත්සන් විසිදාහක් ගැසුවා යැයි කියනුයේ ශානි අබේසේකර යුගයේදි කළ විමර්ශන නිසාය.

මහබැංකු වංචාව පිලිබඳ විමර්ශනයද ඉන්පසු අඩියක්වත් ඉදිරියට ගොස් නොමැති බව පැහැදිලිය.

© විශේෂ ලියුම්කරුවෙකු විසින් අප වෙත යොමු කරන ලද ලිපියකි.

මෙය පුරවැසියකුගේ සාක්ෂි සහිත අදහස් දැක්වීමේ අයිතියට ඉඩ ලබා දීමක් වන අතර මෙහි සඳහන් කරුණු සහ චෝදනා සම්බන්ධයෙන් යම් පාර්ශ්වයකට හෝ පුද්ගලයෙකුට පිළිතුරු හෝ ප්‍රතිචාර ලබා දීමට ඇති අයිතිය වෙනුවෙන් ද මාධ්‍ය සදාචාරයට ගරු කරන වෙබ් අඩවියක් ලෙස ප්‍රමුඛතාවය ලබා දෙන බවද අවධාරණය කරමු.

ඔබේ ප්‍රතිචාර (mmpcmediasolution@gmail.com) අපගේ වෙබ් අඩවියට යොමු කරන්න.