Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය බරපතල අනතුරක, අමෙරිකානු අත පෙවීම් ගැන රජය කතා කල යුතුයි – බිමල් රත්නායක

ඇමරිකාව තුළත් ලෝකය තුළත් ලංකාවෙත් මෙතරම් බරපතළ තත්වයක් තිබියදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හදිසියේ නිල සංචාරයකට පැමිණීමේ හේතුව ශ්‍රී ලංකා ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසනවා.

ඒ අද (25) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

“ඔක්තෝබර් මාසයේ 28වැනිදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට එන බව නිල වශයෙන් ඇමරිකාවත්, ශ්‍රී ලංකාවත් තහවුරු කර තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළදී ලෝකයේ බලවත් රටවල් ශ්‍රී ලංකාවට සුවිශේෂී මැදිහත්වීමක් කළ බව කවුරුත් දන්නවා. ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ හැටියට ජනතාව දැනුවත් කරන්න ඕනෑ. පවතින කොවිඞ් තත්වය යටතේ ජනතාවත් සෞඛ්‍ය අංශයත් අදාල නිරෝධායන කටයුතු අනුව කටයුතු කළත් ශ්‍රී ලංකා රජයත් විදේශ බලවත් රාජ්‍යයනුත් ඒ නීතිරීති කිසිවක් පිළිපදින්නේ නැහැ. ජනතාවට මුඛවාඩම් දාගන්න කියලා ඉතාම හදිසි තත්වයක් යටතේ සිදුවන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව මතුවන ගැටළු රාශියක් තිබෙනවා.

ඇමරිකාව තුළත් ලෝකය තුළත් ලංකාවෙත් මෙතරම් බරපතළ තත්වයක් තිබියදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හදිසියේ නිල සංචාරයකට පැමිණීමේ හේතුව ශ්‍රී ලංකා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි. ඇමරිකානු ජනාධිපතිවරණය යෙදී තිබෙන්නේ නොවැම්බර් 03වැනිදාට. මයික් පොම්පියෝ එන්නේ මේ මාසේ 28 වැනිදා. ජනාධිපතිවරණයට දින 5ක් තිබියදී ඇමරිකානු අධිරාජ්‍යයේ යුද සහ දේශපාලන පණිවුඩ ලෝකය වටේ ගෙනියන පණිවුඩකරුවා ලංකාවට එන්නේ ඇයි? අපේ රටේ රාජ්‍ය නායකයන් සමග ඇමරිකානු නායකයන්ට අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය නම් එය අන්තර්ජාලය ඔස්සේ කළ හැකියි. එවැනි අත්දැකීම් රාශියක් තිබෙනවා. ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලංකාවේ ජනාධිපතිවරයාට අක්ත පත්‍ර භාරදුන්නේ ඔන්ලයින් ක්‍රමයට. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75වැනි සංවත්සරයට ලෝකයේම රාජ්‍ය නායකයන් සම්බන්ධ වුණේ ඔන්ලයින් ක්‍රමයට. ඇමරිකාව, සුඩානය සහ ඊශ්‍රායලය ගිවිසුමක් අත්සන් කළේ ඔන්ලයින් ක්‍රමයට. එසේ තිබියදී ඡන්දයට දවස් පහකට කලින් මයික් පොම්පියෝ එන්නේ ඇයි? ශ්‍රී ලංකා ආණ්ඩුව ඔහුගේ පැමිණීම ස්ථිර කරන්නේ සතියකට පමණ පෙර. එක්කෝ වසන් කිරීමක්. නැත්නම් 20 සංශෝධනයෙන් පසුව හිටපු ඇමරිකන් පුරවැසියෙක් වන ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට විශාල බලතල ප්‍රමාණයක් ගැනීමෙන් පසුව නිවේදනය කළාද කියලා ගැටළුවක් තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ පැමිණීම ස්ථිර කරන්නෙත් 23වැනිදායි. විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු පැමිණීමේදී සාකච්ඡා කරන කරුණු කලින් නිවේදනය කරනවා. නමුත් මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ පවා සාකච්ඡා කෙරිලා නැහැ. මයික් පොම්පියෝ සමග ඇමරිකානු ආරක්‍ෂක ලේකම් මයික් එස්පර් ඉන්දියාවට යනවා. ඔහුත් ලංකාවට එනවාද කියලා වාර්තා කරලා නැහැ.

ලෝකයේ වැඩිම කොරා්නා රෝගීන් සිටින ඇමරිකාවේ ඉඳලා ඊළඟ වැඩිම රෝගීන් ඉන්න ඉන්දියාවට ගිහින් ලංකාවට එනකොට නිරෝධායන නීතිරීති බරපතලව ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුව සහ ආණ්ඩුවට හිතවත් මාධ්‍ය අපේ රටේ කොරෝනා ව්‍යාප්තිය ගැන වාර්තා කිරීමට පැකිලුනාට එහි බරපතල තත්වයක් තියෙන්නේ. කොරෝනා සම්බන්ධ නීතිරීති ධනවතුන්ට සහ බලවතුන්ට අදාල නැති බව තොණ්ඩමන් මහතාගේ අවමගුල් උළෙලේදී පළමුව අපි දැක්කා. පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමේදීත් ඒ බව දැක්කා. නමුත් දුප්පතුන්ට රෝගය වැළඳුණාම ඔවුන් ආගිය තැන් හැම තැනක්ම ප්‍රචාරය කරනවා. ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ඇතිවුණු පොකුර සම්බන්ධයෙන් රෝගී වූ සේවිකාවගේ ඡායාරූප සියල්ල පළ කළත් ප්‍රධානින් සම්බන්ධ කිසි දෙයක් වාර්තා කර නැහැ.

ග්ලෝබ් මාස්ටර්-3 කියන ගුවන් යානය මීට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණියා. ඇමරිකන් සෙබළුන් 134ක් පමණ සහ වාහන ගෙනියන්න පුළුවන් මේ යානයෙන් පැමිණි පුද්ගලයන් කවුද? මොවුන් සුපර් හියුමන්ලාද? නැත්නම් ලංකා ආණ්ඩුව ධනවතුන් සහ බලවතුන් ඉදිරියේ කොරෝනා නීති ක්‍රියාත්මක කරන්නේ නැති බවට තවත් උදාහරණයක්ද? ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එන්නේ මල් පැළ බෙදන්න නෙවෙයි. තර්ජනය කරන්න. ලංකාව දණගස්වලා එන්නේ. එසේ එන අයගේ ආරක්‍ෂක බල ඇණිය ඇවිල්ලා නතර වෙලා ඉන්නේ කොහෙද? ඔවුන් යන්නේ එන්නේ කොහෙද? මොවුන් නතර වෙන හෝටල්වල සේවක සේවිකාවන්ගේ ආරක්‍ෂාවට වග කියන්නේ කවුද?

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ දකුණු ආසියානු කලාපය භාරව ඉන්න නියෝජ්‍ය රාජ්‍ය ලේකම් යන දෙදෙනාම ඔක්තෝබර් මාසයේ 23වැනිදා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක සටහන් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධව නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර තියෙන්නේ “ලංකාව තමන් කවුරු එක්කද යන්නේ කියන දුෂ්කර තීන්දුව ගන්න ඕනෑ කියලා. ‘අත්‍යවශ්‍ය තීන්දුවක්’ බව ඔහු අවධාරණය කරනවා. එන්න කලින්ම තර්ජනය කරලා එන්නේ. මේ ආණ්ඩුවට දේශප්‍රේමී සළුපිළි අන්දපු විශාල පිරිසක් ඉන්නවා. ඉන්දියානු අගමැතිවරයා ලංකාවට එනකොට කළුකොඩි දාන්න කියපු කට්ටියත් ආණ්ඩුවේ ඉන්නවා. මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ නරි කෙඳිරිල්ලක්වත් නැත්තේ ඇයි? ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දේශප්‍රේමිත්වයක් ආරෝපණය කරපු අයගෙන් අපි අහන්නේ රටට තර්ජනය කරලා එන මේ පිරිස ගැන, තර්ජනාත්මක ප්‍රකාශ ගැන, ආණ්ඩුවේ ඉන්න ඇමරිකානු පුරවැසියන් විරෝධය පළකරන්න ඕනෑ. අපේ මාතෘභූමියේ පුරවැසිභාවය අත්හැරි මේ දූෂිත පුද්ගලයන් කවදාවත් අපේ රටේ ස්වෛරීත්වය, ආරක්‍ෂාව වෙනුවෙන් මැදිහත් වෙන්නේ නැති බව අපි දිගටම කිව්වා. ආණ්ඩුව සහය දුන්න ජනතාවත්, ආණ්ඩුවට සුදුහුණු ගාන තමන්ගේ මාධ්‍ය ස්වාධීනත්වය නැතිකරගත් ආයතනයත් මේ ගැන මොකද කියන්නේ.

20වැනි සංශෝධනය සම්මත කර ගත්තාට පසු හදිසියේ පැමිණීම තුළ බ්ලැක් මේල් කිරීමක් තියෙනවාද කියන ගැටළුව අපිට තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයාත් හිටපු ඇමරිකානු පුරවැසියෙක්. ඔහු ඡන්යද ඉල්ලන අවස්ථාවේදී ඒ පුරවැසිභාවය ඉවත් වෙලා තිබුණාද කියන එක ප්‍රශ්නයක්. ඇමරිකානු නිල ලේඛණයට නම ඇතුළත් වුණේ ජනාධිපති වෙලා මාස 5ක පස්සේ. යුද තර්ජනත්, දේශපාලන තර්ජනත්, බ්ලැක් මේල් කිරීමත් ඉතා තදින් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ තිබෙනවා. ජනාධිපතිවරයාගේ පුරවැසිකම බ්ලැක් මේල් කරමින් රාජ්‍ය ලේකම්වරයා මැදිහත් වෙනවාද කියන එක ප්‍රශ්නයක්. මේ මැදිහත්වීමේ අරමුණ චීනය සමග තිබෙන බල අරගලයේදී ලංකාව ඇමරිකාව පැත්තට ගන්න එකයි. අපේ රටේ ආණ්ඩුව එය හැංගුවත් ඇමරිකාව එය ප්‍රකාශ කර තිබෙනවා. රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාවේදී දින දෙකක් සාකච්ඡා කරන්නේ ආර්ථික හෝ කොවිඞ් ගැටළුවට අදාලව කරුණු නෙවෙයි. ඉතා පැහැදිලිවම ඔවුන්ගේ වුවමානව යුධ සහ ආරක්‍ෂක ගිවිසුම් අත්සන් කිරීමයි. ඇමරිකන් රාජ්‍ය දේපාර්තමේන්තුවත් ඉන්දීය මාධ්‍යයත් ඒ පිළිබඳව යම් ප්‍රමාණයකට වාර්තා කර තිබෙනවා.

මේ පැමිණීමේදී ඉන්දියාව සමග සී.ජී.එස්.පී. කියන ගිවිසුම තව වර්ධනය කර අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඩී.ඊ.සී.ඒ. කියන ගිවිසුම අත්සන් කරන්න ඉන්දීය කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරලා තියෙනවා. සික්ස් මෝවා සී.අයි.එස්.එම්.ඕ.ඒ. කියන ගිවිසුම සහ ලිමෝ එල්.ඊ.එම්.ඕ.ඒ. කියන ගිවිසුම අත්සන් කරන්න සූදානම් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි ලංකාවේ දේශපාලන ස්වෛරීත්වය ආරක්‍ෂා කරමින් ලෝකයේ සියලුම රාජ්‍යයන් සමග කටයුතු කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් පක්‍ෂපාතියි. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලංකාව සිටිනවාට පක්‍ෂපාතයි. ඒ වගේම අනෙකුත් රාජ්‍යයන් සමඟ පක්‍ෂග්‍රාහී නොවී විවෘතව ස්වෛරීත්වය ආරක්‍ෂා කර කටයුතු කිරීමට පක්‍ෂපාතයි. ඒ නිසා අපිට බිල්ලෝ මැවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ බව ඔප්පු කරන්න තමයි මේ ගිවිසුම් පිළිබඳව සාක්‍ෂි සහිතව තොරතුරු අපි සපයන්නේ. මේ යුද ගිවිසුම් ඇමරිකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරීමෙන් තවත් බලවත් මැදිහත්වීම් සිදු කෙරෙනවා.

ලබන නොවැම්බර් මාසේ මැද දී ඇමරිකාව, ඉන්දියාව, ජපානය සහ ඔස්ටේ්‍රලියාව එකතු වෙලා ඉන්දියානු සාගරයේ පවත්වන 24වැනි නාවික මෙහෙයුම කරන්න සැලසුම්කර තිබෙනවා. ඉන්දියානු සාගරයේ නාවික කටයුතුවලට ඇමරිකාවේ කිසිම අදාලත්වයක් නැහැ. ජපානයටත් අදාලවත්වයක නැහැ. නමුත් මේ රටවල් 4 එකතු වෙලා ූඹ්ෘ කියන යුද සංවිධානය හදන්නේ චීනය වටකර ඉන්දීය සාගරයේ ඇමරිකානු මැදිහත්වීම වර්ධනය කරන්නත් කියලා අපි දන්නවා. මේ සංවිධානය ආසියානු නේටෝව කියලා හඳුන්වන්නේ. මේ සංවිධානයේ කටයුතු පහුගිය කාලයේ යම් ප්‍රමාණයකට අඩපණ වෙලා තිබුණා. නමුත් දැන් ඇමරිකානු, ඉන්දියානු දේශපාලන වුවමනාවන්ට අනුව ඉන්දියානු සාගරය යුධකරණය කරන්න ක්‍රියා කරනවා. මෙවර ඇමරිකානු ලේකම්වරයාගේ සංචාරය මුළුමනින්ම සිදු කරන්නේ මේ පදනම මත. ඉන්දියාව, ලංකාව, මාලදිවයින, ඉන්දුනීසියාව කියන රටවල් හතරට යනවා. ඉන්දියානු සාගරය සහ නාවික යුද කටයුතුවලදී මේරටවල්වල දූපත්මය පිහිටීම වැදගත්. ඔහු පකිස්ථානයට හෝ බංගලදේශයට යන්නේ නැහැ. ඉන්දුනීසියාවත් කොට් කියන නාවුක මෙහෙයුමට සම්බන්ධ කර ගැනීමට රාජ්‍ය ලේකම්වරයා බලාපොරොත්තු වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇමරිකාව ඔවුන්ගේ හමුදාවන් ලෝකය පුරාම රඳවා අණදෙන මූලස්ථාන ගණනාවක් පවත්වාගෙන යනවා. එකක් පැසිපික් මූලස්ථානය. මීට වසර කිහිපයකට පෙර ඉන්දු පැසිපික් අණ දෙන මූලස්ථානය කියලා තවත් ප්‍රබල තැනකට ගියා. ඒ නිසා ලංකාවට රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීම යුද සහ ආරක්‍ෂක වුවමනාවන් මත පදනම් වන බව පැහැදිලියි. නැත්නම් ආණ්ඩුව පැත්තෙන් කියන්න පුළුවන් හොඳහිත වර්ධනය කරන්න හරි කොරෝනා මර්දනය කරන්න හරි සාකච්ඡා කළ බව. රාජ්‍ය ලේකම්වරයා මාලදිවයිනට යන්නේ ඇයි? පහුගිය සැප්තැම්බර් 10වැනිදා ඇමරිකාව සහ මාලදිවයින අතර ෆඩරේසියාවලදී ත්‍ෘඛීඍ කියලා ගිවිසුමක් අත්සන් කරනවා. මේ යුද ගිවිසුම තව ශක්තිමත් කිරීමේ සාකච්ඡාවලට රාජ්‍ය ලේකම්වරයා මාලදිවයිනට යන බව ඉන්දියානු මාධ්‍යයත් වාර්තා කර තිබෙනවා. දැන් බිඳවැටෙමින් තිබෙන ඇමරිකානු ආර්ථිකය මේ දක්වා පවත්වාගෙන ගියේ ආර්ථික ගිවිසුම් පිටිපස්සේ යුදමය මැදිහත්වීම්ද එකට ගෙන එමින්. පහුගිය කාලයේ ඉන්දුනීසියාව ඇමරිකාව ඉදිරියේ දණ ගැහුවේ නැහැ. නමුත් ඉන්දුනීසියානු ආරක්‍ෂක ඇමතිවරයාට ඇමරිකාවට පැමිණීමේ වසර 20ක තහනමක් තිබුණා. නමුත් ඉන්දුනීසියාව ඇමරිකාවේ වුවමනාවන්ට අනුව හසුරුවා ගන්න මේ ආරක්‍ෂක ඇමතිවරයාට තහනම ඉවත් කිරීමෙන් වගේම එරටට ඇමරිකානු යුද ගුවන්යානා විකිණීමෙන් අවනත කර ගන්න සමත් වුණා.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ආසියාවේ සිදුකරන සංචාරය පිළිබඳව ඒ ඒ රටවල මාධ්‍ය වාර්තා කර තිබෙනවා. නමුත් ලංකාවේ කරන දේ ගැන කිසිදු ආකාරයේ දැනුවත් කිරීමක් ලංකාවේ විදේශ අමාත්‍යාංශය හෝ ජනාධිපතිවරයා හෝ ඇමරිකාව හෝ මේ දක්වා සිදුකර නැහැ. ආණ්ඩුවට වගකීමක් තිබෙනවා මේ රාජ්‍ය ලේකම්වරයා පැමිණ සිදුකරන කටයුතු පිළිබඳව ඔහු පැමිණීමට පෙර ජනතාවට හෙළි කිරීමට. ජනතාවගේ ඡන්දයෙන් පත් වෙච්ච ආණ්ඩුවක් නම් ඒ ජනාධිපතිවරයාගේ සෘජු වගකීමකුත් මේ වෙනුවෙන් තිබෙනවා. මම මීට පෙර හෙළිකළ ලංකාවට තෝරා ගැනීමක් කළ යුතු බව අවධාරණය කර තිබෙනවා. තොම්සන් කියන නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා 23වැනිදා මේ ප්‍රකාශය මගින් කියන්නේ ඇමරිකානු ආණ්ඩුව ශ්‍රී ලංකාවට තෝරා ගැනීම් කිහිපයක් යෝජනා කර ඇති බවයි. ලංකාවට පොම්පියෝ විසින් යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබෙන බව මේකෙන් පැහැදිලියි. ඔහු ඉදිරිපත් කළ යෝජනා මොනවාද කියලා වහාම රටට හෙළි කරන්න. අඩුම ගානේ පොම්පියෝ එන්න කලින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න.

රාජ්‍ය ලේකම්වරයාගේ පැමිණීමේදී 1995දී අත්සන් කර 2018 සැප්තැම්බර් මාසයේදී නැවත අලුත් කරන්න නියමිතව තිබූ හැබැයි තවමත් මෙය කිසි සේත්ම අත්සන් නොකරන බව කියා නැති සෝෆා ගිවිසුමේ දෙවැනි අදියර අත්සන් කරනවාද නැද්ද කියලා ආණ්ඩුව පැහැදිලිවම කියන්න ඕනෑ. ඒ වගේම ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට අයත් අතිවිශාල මුහුදු කලාපය තුළට ඇතුල් වීමට ආසියානු නේටෝව කියන සංවිධානයේ නිරීක්‍ෂණ මට්ටමින් හෝ ලංකාවත් සහභාගි කරවා ගැනීමට අදහසක් තියෙනවාද කියලා පැහැදිලි කරන්න ඕනෑ. ඒ වගේම දේශපාලන, ආර්ථික සහ යුදමය සියලු අංශවලට අදාලවන එම්.සී.සී, ගිවිසුම අත්සන් කිරීම පිළිබඳවත් මේ පැමිණීමේදී සාකච්ඡා කරනවාද කියලා හෙළි කරන්න අපි ආණ්ඩුවට බලකරනවා. එක්සත් ජනපදයේ විදේශ මැදිහත්වීම් ලෝකයේ කුප්‍රකට ක්‍රියාමාර්ග හරහා, රාජ්‍ය නායකයන් බ්ලැක් මේල් කිරීමේ, යටත් කිරීමේ සම්බාධක පැනවීමේ, වගේ විවිධ මුහුණුවරින් ක්‍රියාත්මක කරන ලේ වැකි විදේශ ප්‍රතිපත්තියක් තිබෙන බව අපි දන්නවා. සුඩානයේ සල්ලි ඇමරිකාවේ තැන්පත් කරන්න එකඟවීම මත ඒ රට ත්‍රස්තවාදී ලේඛනයෙන් ඇමරිකාව ඉවත් කළා. ඒ වගේම නැගෙනහිර ටිමොරයේ සමූහ ඝාතනයන් සිදුකළ බවට චෝදනා එල්ල වූ ඉන්දුනීසියානු ආරක්‍ෂක ලේකම්වරයාට පනවා තිබූ සම්බාධක ඉවත් කළා. ආසියානු නේටෝවට සම්බන්ධ වෙනන් කැමති නම් ඕනෑම රටක් සම්බන්ධයෙන් ඇමරිකාවේ ප්‍රතිපත්තිය වෙනස් කර ගත්තා.

ඒ නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙනුත් අද පත්වී තිබෙන ණය උගුල, ජනාධිපතිවරයාට හා ඇමතිවරුන්ගේ තිබෙන ඇමරිකානු සම්බන්ධතා සහ තවත් කරුණු මත ලංකාව බ්ලැක් මේල් කරනවාද කියන කරුණුවලට පිළිතුරු ආණ්ඩුව ලබා දිය යුතුයි. අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියට අවධාරණය කරන්නේ චීන, අමරිකානු, ඉන්දියානු දේශපාලන උගුලක අපේ රට පටලවා තිබෙන බවයි. පසුගිය අවුරුදු 10-15 තුළ සිටි සියලුම පාලකයන් සිදුකර තිබෙන ආර්ථික සහ දේශපාලන උගුල්වල රට පටලවා තිබීම පොම්පියෝගේ මැදිහත්වීමෙන් යුද උගුලක පැටලවීම දක්වා ගෙන යන්න හදනවාද කියන ප්‍රශ්නය බරපතලව අපි නගනවා. ජනතාවගෙනුත් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවේ බොරු දේශප්‍රේමී ගුලි කාලා ඡන්දය දුන් පිරිස දුන් හෝ නොදුන් අපි සියලු දෙනාටම රටේ ස්වෛරීත්වය ආරක්‍ෂා කර ගැනීමේ වගකීමක් තිබෙනවා. ඒ නිසා දූෂිත, ද්විත්ව පුරවැසිභාවය තිබෙන ඒකාධිපති පාලකයන් හැම විටම බලගතු රාජ්‍යවල සුරතලුන් බවට පත්වෙනවා. අපේ රටේ එම තත්වය බරපතල ලෙස වර්ධනය වෙමින් තිබෙනවා. එයින් රට මුදවා ගන්නේ කොහොමද කියන එක ජනතාවත් කල්පනා කළ යුතු බව අවධාරණය කරනවා. මයික් පොම්පියෝගේ සංචාරය සැඟවුණු කරුණු සහ දැනටමත් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර තිබෙන බව ඔවුන් කියන යෝජනා මොනවාද කියලා ඔහු පැමිණීමට පෙර රටට හෙළිදරව් කරන්න කියලා අවධාරණය කරනවා.” යැයි ඒ මහතා පවසයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා

“රාජ්‍ය ලේකම්වරයා පැමිණීමට පෙරම දුෂ්කර තීන්දුවලට යන්න වෙයි කියලා තියෙනවා වගේම තවමත් එම්.සී.සී. කාර්යාලය මේ රටේ පවත්වාගෙන යනවා. ඒ ගැන ජනාධිපතිවරයා හෝ වර්තමාන ආණ්ඩුව මේ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා එක වචනයක් කියන්නෙ නැහැ. ඇමරිකානු ජනාධිපතිවරණයට දවස් පහක් තියෙද්දී කොරොනා තර්ජනය මැද්දේ රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එන්නේ ජනතා විරෝධය නිසා මේ දක්වා අත්සන් කරන්න බැරිවී තිබෙන එම්.සී. සී. ගිවිසුම ගැන සාකච්ඡා නොකරන්න කියලා අපි හිතන්නේ නැහැ.

එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න එපා කියලා ජනවරමක් තිබෙනවා. ඒ ගිවිසුම සම්බන්ධයෙන් ජවිපෙ අපි මුල සිටම හෙළිදරව් කිරීම් කළා. ඒ නිසා එයට විරුද්ධව ජනතාව සංවිධානය කිරීමට සෑම දෙයක්ම අපි කරනවා. ආණ්ඩුවෙන් ගිවිසුම අත්සන් කළත් එය ක්‍රියාවට නගන්න තියෙන්නේ ලංකාව කියන මහ පොළොවේ. මේ රටේ ජනතාව එයට එරෙහිව පාරට බහීවි කියලා අපි විශ්වාස කරනවා. දේශපාලන තොරතුරු නොසලකා හෝ හැඟීම්බර වීම් නිසා හෝ තොරතුරු නොදැනීම නිසා බොරු දේශප්‍රේමීන්ට නොරැවටි තමන්ගෙන් සිදුවුණු අඩුපාඩුව නිවැරදි කරගෙන එම්.සී.සී. ගිවිසුම වැනි විනාශකාරී ගිවිසුම්වලට විරෝධය දැක්වීමේ හැකියාව තිබෙනවා. රාජ්‍ය දේපළ වගේම රටේ ස්වෛරීත්වය ආරක්‍ෂා කරගන්න ඒ වගේම ශ්‍රී ලංකාව ආර්ථික, යුධ, දේශපාලන සංවිධානවලට ගැති නොවී පුළුල් සංවිධානත් එක්ක සහයොගයෙන් කටයුතු කරන්නත් ඕනෑ. එසේ නොවී ඉන්දියාව හෝ චීනය හෝ එක්සත් ජනපදයේ මැදිහත්වීම් කිසිවකට මැදිහත් විය යුතු නැහැ. මේ රටවල් පිස්සුවෙන් වගේ ලෝකයේ කුඩා රටවල්වලට මැදිහත්වීම් කරනවා. අපේ රට ඉන් මුදවා ගැනීමේ වගකීම සහමුලින්ම වගේ ජනතාවට තිබෙනවා.

මේ රට සංවර්ධනය කරන්න 20වැනි සංශෝධණය අත්පත් කරගත්තු බලතල එකක්වත් යොදවන්නේ නැහැ කියලා අපිට විශ්වාසයි. මේ රට දියුණු කරන්න ඔය 20වැනි සංශෝධනය හෝ 2/3 බලය අවශ්‍ය නැහැ. උදාහරණයක් හැටියට ඉන්දියාවට පවරා තිබෙන ත්‍රිකුණාමලය තෙල් ටැංකි අත්පත් කරගන්න ඔය බලයක් අවශ්‍ය නැහැ. අවුරුදු 99කට චීනයට පවරා තිබෙන හම්බන්තොට වරාය ආපසු ගන්න 20වැනි සංශෝධනය අවශ්‍ය නැහැ. අපේ රටේ දුප්පත්කම නැති කරන්න ඔය 20වැනි සංශෝධනය අවශ්‍ය නැහැ. මේ දැඩි බලතල අවශ්‍ය වෙන්නේ ජනතා විරෝධය මත සිදුකරන දේවල්වලට විතරයි. 20වැනි සංශෝධනය විසින් ජනාධිපති බලතල වැඩි කරගන්නවා විතරක් නෙවෙයි. අධිකරණය සහමුලින්ම අඩපණ කරලා. පාර්ලිමේන්තුවේ බලයත් දැන් නැහැ. මැතිවරණයේද අපි ජනතාවට 2/3ක් දෙන්න එපා කීවා. ඊළඟට රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ඡන්දය විකුණන බව අපි කීවා. මේ තරම් අනතුරුදායක මොහොතක තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් පවා විකිණෙන මට්ටමක සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්‍ෂය තිබෙනවා නම් මේ රට වෙනුවෙන් ඔවුන්ට කළ හැක්කේ මොකක්ද? තමන්ගේ පෞද්ගලික ඒකාධිපති අභිලාෂයන් හෝ ලෝකයේ බලගතු රටවල අවශ්‍යතා ඉෂ්ඨ කරන්න විතරයි මේ තරම් ඒකාධිපති බලතල ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ.

2019 සැප්තැම්බර් මාසයේ කැබිනට් මණ්ඩලය එවකට හිටපු ජනාධිපතිවරයා හදිසියේ කැඳවූවා. ඒ ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු 20වැනි සංශෝධන කෙටුම්පත ගැන සාකච්ඡා කරන්න. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබුණු ඒ කෙටුම්පත ඕනෑ වෙලාවක සාකච්ඡාවකට ගැනීමේ හැකියාව තිබෙනවා. ජනාධිපතිවරයා විසින් හදිසියේ කැබිනට් මණ්ඩලය කැඳවූයේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ජවිපෙ විසින් ගෙනත් තිබූ මේ කෙටුම්පත ගැන සාකච්ඡා කරන්න. ඒ මොහොතේ සියලු දහම් ගැට දාලා බැරි වුණාට පස්සේ හිටපු ජනාධිපතිවරයාත් හිටපු අගමැතිවරයාත් අපි හිතන විදිහට වර්තමාන අගමැතිවරයාගෙත් යම් එකඟතාවයක් සහිතව මේ සාකච්ඡාව ගැනීමට සූදානම් වුණා. ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම අද ඔය නහයෙන් අඬන හරීන් ප්‍රනාන්දු වගේ අය ඒ කැබිනට් මණ්ඩලය රැස් කරන්නවත් නොදී මහා ගෝරනාඩුවක් කළා. එදා ඒ සාකච්ඡාව ගත්තා නම් එය සම්මත කර ගැනීමට ලොකු ඉඩක් තිබුණා. හැබැයි ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාස මහතා හිටියේ ජනාධිපති ඔටුන්න දාගන්න සිහිනයක. ඒ නිසා ඒ අවස්ථාව සහමුලින්ම කඩාකප්පල් කළා. මේ රටේ ජනතාව යම් හෝ දෙයක් දිනා ගත්තා නම් ඒ දිනා ගත්තේ පාලකයන් බිත්තියට හේත්තු වුණු වෙලාවල. එ හැර පාලකයන් කැමැත්තෙන් රිදී බන්දේසියක තියලා කිසිම දෙයක් දීලා නැහැ.” යැයි වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.