Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විෂබීජ නාශක ගොන්නක් අතරේ පැවැත් වූ කොරියාවේ ඡන්දය.

A South Korean woman wears plastic gloves amid concerns over the COVID-19 coronavirus before casting her ballot for the parliamentary elections at a polling station in Seoul on April 15, 2020. - Temperature checks on voters, separate booths for those with fevers, special polling stations for the quarantined: South Koreans headed to the polls on April 15 with a big turnout expected despite the COVID-19 coronavirus threat. (Photo by Jung Yeon-je / AFP) (Photo by JUNG YEON-JE/AFP via Getty Images)

කොවිඩ් 19 වසංගතය මේ වන විට ලොව ම ගිලගෙන හමාරය. එහෙත් එසේය කියා අපට රටක් ඉදිරියට ගෙන යාම නැවැත්විය හැකි ද? සියයට අනූවක් පමණ රටවල් එකතැන නතර වී සිටියෙ දී කිසිසේත් කළ නොහැකි යැයි ස්ථිර වූ මහජන ඡන්දය සාර්ථක ව පැවැත්වීමට දකුණු කොරියානු රජය සමත් විය. එය, දැන් දැන් සියල්ල අවුල් වෙතියි දතකට මැදගෙන බලා සිටි රාජ්‍ය නායකයන්ට එල්ල වුණු මරු පහරක් ද විය.

දකුණු කොරියාව කොරෝනාවේ උච්චතම අවස්ථාවට පැමිණියේ පසුගිය පෙබරවාරි 29 වන දින ය. ඒ නව රෝගීන් නවසියයක් වාර්තා කරමිනි. එදින සිට මාස එකහමාරක් ගත වූ අප්‍රේල් 15 වන දින සිය මහා ඡන්දය හෙවත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා ඡන්දය පැවැත්වීමට ඔවුහු තීරණය කළහ. මේ සඳහා පක්ෂ නවයකින් අපේක්ෂකයෝ තුන්සිය දෙනෙකු ඉදිරිපත් වූහ. එයින් ආසන 180ක් ම ලබා ගනිමින් පෙර පැවති ආණ්ඩු පක්ෂය ම එනම්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ම ජයග්‍රහණය කළේ ය. 

කෙසේ වුවත් එදින වන විට දකුණු කොරියාවේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව දහදහස් හයසියයක් වූ අතර මරණ දෙසිය විස්සක් ද වාර්තා වී තිබිණි. එනමුත් පෙර මෙන් නොව දිනකට වාර්තා වූ රෝගීන් ගණන තිහකට බැස තිබිණි. එහෙත් මහජනයා එක්රැස් වීම අනතුරුදායක බව නිසැක විය. එබැවින් රජය ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා බොහෝ පියවර ගෙන තිබිණි.

තව ද ඒ වන විට එරට ජනතාවගෙන් මිලියනයක් පමණ දෙනා මුහුණු ආවරණ, අත් ආවරණ හා අත්සේදුම් දියර බෝතල් රජය වෙත පරිත්‍යාග කර තිබිණි.

ඡන්ද ස්ථානාධිපති ඇතුළු ඡන්දපොළ නිළධාරීන් සියලු දෙනා මුහුණු හා අත් ආවරණ පැලඳීම අත්‍යවශ්‍ය විය. ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය ද වරින් වර පරීක්ෂාවට ලක් කෙරිණි. නිළධාරීන් ඇතුළු සියලු ම පුද්ගලයින් මීටරයක පරතරය තබා අසුන්ගන්වා තිබුණු අතර සියලු ඡන්ද මධ්‍යස්ථාන වරින් වර විෂබීජ හරණයට ලක් කරන ලදී.

එක් වරකට ඡන්ද පොළ තුළට යා හැකි වූයේ එක අයෙකුට පමණි. ඉතිරි සියලු දෙනා එම ස්ථානයෙන් පිටත, පෙළට සිටිය යුතු විය. තම තමා සිටිය යුතු මීටරයේ පරතරය නොමැකෙන තීන්තෙන් පොළොවේ සලකුණු කර තිබිණි.

ඡන්ද පොළ තුළට යාමට පෙර එක් එක් පුද්ගලයාගේ ශරීර උෂ්ණත්වය වෙන වෙනම පරීක්ෂා කොට සටහන් කර ගත් අතර, නැවත ද ඔවුන් පිට වීමට පෙර උෂ්ණත්වය පරීක්ෂා කරන ලදී. මෙසේ පරීක්ෂා කරද්දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 99.5ට වැඩි පුද්ගලයින් කොවිඩ් ආසාදිතයන් බවට සැක කොට, ඔවුන් වෙනත් පෝළිමක සිටුවන ලද අතර ඔවුන්ගේ  ඡන්දය ලබා ගැනීම සඳහා වෙනම නිළධාරීන් ද පත් කොට තිබිණි.

උෂ්ණත්වය පරීක්ෂා කළ පසු අත් සේදුම් දියරවලින් දෑත් පිරිසිඳු කර ගැනීමට සලස්වන ලද අතර නව මුහුණු ආවරණයක් හා අත් ආවරණ දෙකක් ද දෙන ලදී. මෙම පිරිසිඳු කිරීම් සඳහා ගත වූයේ තත්පර දහයක කාලයක් පමණි. ඉන් පසු සාමාන්‍ය ක්‍රියාවලිය අනුව රහසිගත ව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලැබිණි. හැඳුනුම්පත සමඟ මුහුණ සැසඳීම වෙනුවෙන් පමණක් මුහුණු වැස්ම ඉවත් කළ යුතු වූ අතර එසැනින් එය නැවත පැලඳ ගැනීමට අවස්ථාව ලැබිණි. පිටතට පැමිණි විගස ම මුහුණු හා අත් ආවරණ ඉවත් කොට බඳුනකට බැහැර කෙරුණු අතර, නැවත ද සේදුම් දියරවලින් දෑත් පිරිසිඳු කර ගැනීමට ඡන්ද දායකයාට අවස්ථාව සැලසිණි. මේ සියල්ලට ම මිනිත්තු දහයක පමණ වේලාවක්වත් ගත නොවීය.

පෙරවරු හතේ සිට පහ දක්වා සාමාන්‍ය ජනතාවට මෙලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබිණි. එහෙත් කොවිඩ් ආසාදිතයන්ට හා, එසේ යැයි සැක කොට ස්වයං නිරෝධායනයට ලක් වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලැබුණේ පස්වරු 5.20 සිට රාත්‍රී 7.00 දක්වා ය. එනම්, ආසාදිතයින් ඉවතට ගැනුණේ දැනට නීරෝගී සියලු දෙනා සිය ඡන්දය ප්‍රකාශ කොට නිවෙස් කරා ගිය පසු ය. ඔවුන් වෙනුවෙන් සිදු කෙරුණු ක්‍රියාවලිය ද මීට බෙහෙවින් සමාන වූ අතර, එහිදී ඡන්ද පොළ නිළධාරීන් බොහෝ ප්‍රවේශමෙන් කටයුතු කළහ. එවැනි පුද්ගලයින්ගේ ප්‍රමාණය සමස්ත ජනගහණයෙන් 23%ක් පමණ විය. එනම්, පුද්ගලයින් 13,642කි. සියලු රෝගීන් ඡන්දය ප්‍රකාශ කොට නිවසට ගිය පසු, ළඟම ඇති පොලිසිය හරහා සිය නැවත පැමිණීම රජයට දැනුම් දිය යුතු විය. එසේ දැනුම් දීමට අපොහොසත් වූයේ නම්, ඊට හේතු දැක්විය යුතු විය. මෙලෙස දකුණු කොරියානු රජය රෝගීන්ගේ මෙන් ම නීරෝගීන්ගේ ද ආරක්ෂාව තහවුරු කළහ.

මෙහි දී පැන නැඟුණු එක් ගැටලුවක් වූයේ ඡන්ද දායකයින් නොඉවසිලිමත්කමින් පෝළිමෙන් පිටතට පැමිණීම ය. එවිට එහි සිටි පොලිස් නිළධාරීන් හා ඡන්ද ස්ථානාධිපති ඇතුළු පිරිස මැදිහත් වී ඔවුන් නැවත නිවැරදි කරනු ලැබිණි. තවත් ගැටලුවක් නම්, මෙතුවක් නිවෙස් තුළ කොටු වි සිටි හෙයින් ඡන්දය ලබා දීමෙන් අනතුරුව ජනතාව මංමාවත්වල නිදහසේ සැරිසැරීමට උත්සාහ ගැනීම ය. මෙයට කොවිඩ් ආසාදිතයෝ ද අයත් වූහ. ඔවුනට පස්වරු 7.00 දක්වා පිටත සිටීමට අවසර තිබූ බැවින් කඩවල හා යහළු මිත්‍රයන්ගේ නිවෙස් අසල සැරිසැරීමට උත්සාහ ගත් බව පෙණිනි. මේ සියල්ල හමුදාවේ හා පොලිසියේ මැදිහත් වීමෙන් පාලනය කෙරිණි. 

විෂබීජ හරණ ක්‍රියාවලිය හැරුණු විට ඉතිරි සියල්ල සිදු වූයේ සාමාන්‍ය ඡන්ද දිනයක් පරිදි ය. ජනතාව පවුල් වශයෙන් පැමිණි අතර, හඳුනන්නන් දුටු විට සාමාන්‍ය පරිදි සුබ පතා ගත්හ. ඇතැම්හු සුරතල් සතුන් ද රැගෙන ආහ. ජනතාවගෙන් බොහෝ පිරිසක් ඡන්දය පැවැත්වූ ක්‍රමය පිළිබඳ සතුට පළ කර තිබිණි. 

මේ සියලු කාරණා රඳා පැවතුණේ ජනතාවගේ විනයගරුක හැසිරීම මත ය. ඔවුන් නීතියට ගරු නොකොට, ඉබාගාතේ ගියේ නම් තිබූ තත්ත්වයට වඩා මහා විශාල ව්‍යසනයකට මංපෙත් විවර වීමට මෙම ඡන්දය අවස්ථාවක් විය හැකි ව තිබිණි. එහෙත් අද වන විටත් එරටින් වාර්තා වන්නේ නව ආසාදිතයින් සියයකට ආසන්න ප්‍රමාණයක් පමණක් වීම සුබ ලකුණකි. එනමුත් දින දාහතරක්වත් යන තුරු තත්ත්වය අනතුරුදායක බව සැබෑවකි. ශ්‍රී ලාංකීය රජයටත් මෙයින් ආදර්ශයක් ගත හැකි ද යන්න නිශ්චිතව ම පැවසිය හැක්කෙ එවිට ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author