Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විමල්ගේ බිරිඳට හොර පාස්පෝට් සෑදු බව පිළිගත් හිටපු ආගමන විගමන පාලකට, විමල්ගේම අමාත්‍යාංශයේ ලේකම්ධූරය

විමල් විරවංශ මහතා පැවති රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකුව සිටියදී ඔහුගේ බිරිඳ වන ශෂී විරවංශ මහත්මිය ඉදිරිපත් කළ කූඨ ලේඛණවලට අදාළව ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දුන් බවට අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් පිළිගත් හිටපු ආගමන හා විගමන පාලක ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා විමල් වීරවංශ මහතා අමාත්‍යධූරය දරන කර්මාන්ත කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.

අමාත්‍ය විමල් වීරවංශගේ බිරිය වන ශෂී වීරවංශට අයත් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ සහ ඇයගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයේ නම් සහ උපන් දිනයන්හි වෙනස්කම් දක්නට තිබුණ බවත් එම වෙනස්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ යුතුව තිබුණත් එසේ නොකළ බවත්, තමන් එසේ නොකළේ මානුෂික හේතූන් මත බවත් චූලානන්ද පෙරේරා මහතා එහිදී අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර තිබිණි.

ඉකුත් රාජපක්ෂ ආණ්ඩුවේ නිවාස හා ඉදිකිරීම් ඇමැති ලෙස කටයුතු කළ විමල් වීරවංශ මහතා , දිනක් දුරකතනයෙන් තමා අමතා තම බිරියට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ඇය පැමිණෙන බවට දැනුම් දුන්නේ යැයිද එසේ පැමිණි විත්තිකාර ශෂී විරවංශ මහත්මියගේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස සඳහන් වුයේ 1967 වසර බවත් රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අයැදුම්පතේ උපන් වර්ෂය ලෙස සඳහන්ව තිබුණේ 1971 වසර බවත් එම වසර 04ක වෙනස නොතකා හැර එම කාර්යය ඉටුකර දුන් බවත් චූලානන්ද පෙරේරා මහතා අධිකරණයේදී පිලිගන්නා ලදි.

හිටපු ආගමන හා විගමන පාලකවරයා ලෙස ඉහළ තනතුරක් දරද්දී මෙවැනි වරදක් පෙනි පෙනී තිබියදී විදේශ ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස නිකුත් කිරීම බරපතල වරදක් බවද අධිකරණයේ කරණු දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිටර් ජනරාල්වරයා එහිදී පෙන්වා දී තිබිණි.

මෙම ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාත්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි චෝදනා කරමින් ශෂී වීරවංශට එරෙහි නඩුව මේ වනවිටත් අධිකරණයේ විභාග වන අතර එම නඩුවේ සාක්ෂිකරුවෙකු වන හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා, විමල් විරවංශ අමත්‍ය ධුරය දරන අමාත්‍යාංශයේම ස්ථීර ලේකම්වරයා ලෙස පත්කිරීමද හාස්‍ය ජනක කරුණකි.

කුඨ ලේඛන සැකසීමට අදාළ නඩුව සම්බන්ධයෙන් ශෂි වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් පසුගියදා (ජුලි 21) වරෙන්තුවක් ද නිකුත් කර තිබිණ. ඒ, ශෂී විරවංශ එදින අධිකරණයේ හමුවේ පෙනී නොසිටි නිසාය.