Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වරුවක් පොරෙන් තන දෙක හරවා ගන්නේ

ගම්වල එහා මෙහා වෙන රසකතා බොහොමයි. ජනකවි කියන්නෙත් ඒ වගේ ම රස මවන්න පුළුවන් අංගයක්. ඒ අතර සමහර කවි තියෙනවා ඇහුණා ම කුණුහරුප වගේ. එත ඇත්තට ම බැලුවාම ලස්සන තේරුමක් තියෙන්නේ. 

“බෝ ගහ මුල තණ පොඩි කළ ජිනරතන”…

මේකෙන් මොකක් කියනවා කියලා ද හිතන්නේ?

බෝ ගහ නම් දන්නවා නේ. තණ කියන්නේ තෘෂ්ණාව. පොඩි කරනවා කියන්නේ පරාජය කරනවාට. ජිනරතන කියලා කිව්වේ බුදු හාමුදුරුවන්ට. එහෙනම් බෝධිය පාමුල තෘෂ්ණාව පරාජය කරපු බුදුරජාණන්වහන්සේ ගැන තමයි මේ පදයෙන් කියවුණේ. නැතුව ඔය හිතපු එක නෙවෙයි.

තව එකක් බලමුකෝ….

“අසමාන මණි භූත විෂමාය දණ්ඩං

උඹේ ඕක මගේ මේක හැපුණාම යන්තම් 

පට ගාල හඬ යාවි පුපුරන්න වගේ 

උඹ ඊට බය නැතුව ගහපන්කො හයියෙන්…”

නිකං ප්‍රසිද්ධියේ කියන්න බැරි මොකක්හරි සිද්ධියක් ගැන කියනවා වගේ නේද? හැබැයි තේරුම බලන්න. 

සමාන නොවන, මණියක හැඩයක් තියෙන, ඒ කියන්නේ මලක යට ⁣තියෙන කොල පාට කොටස වගේ එක භාණ්ඩයක් තියෙනවා. ඊට වඩා වෙනස් වෙච්ච තව දණ්ඩකුත් තියෙනවා. එතකොට ඒ කියන දණ්ඩ අර කියපු මණියේ චුට්ටක් විතර වැදුණාම පටස් ගාලා, ඒ කියන්නේ වැදුණු ඉක්මනින් ම සද්දයක් එනවා. සද්දෙ නම් ⁣බෝම්බයක් වගේ මහ විශාලයි. හැබැයි ඉතින් සද්දෙට බය වෙන්නෙ නැතුව දිගට ම දණ්ඩෙන් මණියට ගහන්න කියලා තමයි කියන්නේ.

⁣ටිකක් විතර තේරෙනවා නේද මොකක්ද කියන්න හදන්නේ කියලා? අතේ තියෙන දණ්ඩකින් ඝණ්ටාරය ගහන හැටි තමා කවියෙන් පැහැදිලි කරලා දෙන්නේ. මේකේ දණ්ඩ, “කෝටුව” කියන අදහස නැතිව සාමාන්‍ය ඝණ්ටාරයක ලණුව අමුණලා තියෙන ලෝහ කොටස විදිහට හිතා ගන්නත් පුළුවන්. ප්‍රසිද්ධියේ කියන්න බැරි කිසි දෙයක් ඒකෙ නෑ.

කොහොමද මේක…

“සරුවත් කෙතේ බිජු අකුලේ පැළ වෙන්නේ

බොරුවක් නෙවේ මාමේ මං කියන්නේ

බොරුවක් කියන්නට මගෙ දිව නොනැමෙන්නේ

වරුවක් පොරෙන් තන දෙක හරවා ගන්නේ…”

බෑණා තමයි මාමාට මෙහෙම කියන්නේ. සරුවට වැවිලා තියෙන කමතේ එහෙමත් නැත්නම් හේනේ පඳුරු අස්සේ ඇට ජාති පැළවෙනවා. බොරුවක් නෙවෙයි. බොහොම අමාරුවෙන් තමයි වතුර දාලා, පොහොර දාලා, හරි විදිහට ඉර එළිය අඩු වැඩ කරවලා ඇට ටිකේ පියලි දෙක ඇර ගන්නේ. එහෙම ඇරිලා දඬුවක් එළියට ආවොත් විතරයි බීජ ටික පැළවෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. 

වෙන මොකක්හරි නේද හිතුවේ?

ජනකවිවල එන තවත් විදිහක උපහාසාත්මක වර්ගයක් තමයි සංවාද කියන්නේ. මේ විදිහේ කවි හුඟක් ගැහැනු පිරිමි අතර කියවිලා තියෙනවා. මේ එක සංවාදයක්.

“මිනි මිනි පොදේ ගණ අඳුරේ කෑ මදුරූ

බල්ලෙක් ඉඳ බුරයි ඌගේ ගති නපුරූ

කෙල්ලෙක් ඉඳන් දොර නාරියි ඇගෙ නපුරූ 

මල්ලක් කදුරු කන්නෙමි විගස දොර අරූ”

ඒ කියන්නේ මේ කොල්ලා කෙල්ලෙකුගේ ගෙදරට ගිහින් තියෙන්නේ රෑ වෙලා. දැන් ඉතින් පිනි බානවා. කිඹුහුම් තුන හතරකුත් යනවා. ඒ අස්සේ ගෙදර බලලත් බුරාගෙන පනිනවා. බයේ බෑ. ඔක්කෝමත් හරි කියමුකෝ. මේ කෙල්ල දොර තියා ජනේලයක්වත් අරින්නේ නෑ නෙ. මෙහෙම එළියෙ තපින්න ගිහිල්ලා ලැජ්ජ වෙනවට වඩා හොඳයි වහ කනවා. කදුරු කියන්නේ කෑවොත් ඉවරෙට ම ඉවර වෙන වසක්. හෙට උදේ වෙනකොට ⁣තමන් කෙල්ලෙකුගෙ ගෙයක් පිටිපස්සේ ඉඳගෙන, දොර ඇර ගන්න බැරුව චාටර් වුණා කියලා ගමේ මිනිස්සු දැන ගත්තොත් විනාසයි. ඒ නිසා එක කදුරු ගෙඩියක් නෙවෙයි, කදුරු මල්ලක් ම කාලා ජීවිතේ නැති කර ගන්න එක හොඳයි කියලා තමා කොල්ලා කියන්නේ. 

හැබැයි ප්‍රශ්නෙ කියන්නේ මේ කොල්ලා ගිහින් තියෙන්නේ කෙල්ලගෙ අවසරයක් නැතිව. චාටුවෙන් රවට්ටගෙන දොර ඇරවගෙන වැඩේ කර ගන්න තමයි හැදුවේ. කෙල්ල ආඩම්බරකාරි. අනික දන්නෙ නැති කෙනෙක් එක්ක පැටලෙන්න කොහොමටවත් කැමති නෑ.

දැන් කාලේ වගේ ම ඉස්සරත් ඔය චාටු කතාවලට රැවටුණු කෙල්ලෝ හිටියා. හැබැයි මේ රැවටුණේ නැති කෙල්ලෙකුගේ උත්තරය…

“අටපහ නොදන්නා තෝ කාගේ කවුද

බහක් නැතුව එන්නට කීවේ කවුද

ගහක් නැතුව දලු ලියලන්නේ කොහෙද

මල්ලට දෙමල්ලක් කාපිය මට මොකද….”

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author