2022 අගෝස්තු 17

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලොව වනසන බෙදුම්වාදය.

වර්ගවාදයත් ජාතිවාදයත් සමාජයෙන් මුලිනුපුටා දැමිය යුතු බවට නැඟෙන හඬින් ලොව ම ඇළලී යමින් පවතින මෙවන් වකවානුවක දී ලෝක දේශපාලන බලධාරීන්ගේ අවධානය බෙදුම්වාදය වෙත යොමු වී තිබෙන බව පෙනේ. ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය හරහා හට ගත් විරෝධතා රැල්ලට ලොව පුරා සිය දහස් ගණනක් සාමාන්‍ය ජනතාව එක් වෙමින් පවතී. එනමුත් අප වටහා ගත යුතු එක් කරුණක් වන්නේ අදාළ ගැටලුව ජනතාවගේ ඩී.එන්.ඒ. තුළ ම දිය වී තිබෙන බව යි. 

ප්‍රථම අප්‍රිකානු කළු ජාතිකයා වර්ජිනියාවේ “කොම්ෆෝර්ට්” වරායට ගොඩ බැසි දා ඇමරිකාවේ වර්ගවාදය ඇරඹිණි. එම හැඟීම සියලු සුදු හම සහිත මිනිසුන් කරා පැතිරුණු අතර කිසිදා වෙනස් කළ නොහැකි වන සේ රුධිරයට බද්ධ විය. එහෙත් අද වන විට මෙම අසාධාරණයට විරුද්ධ ව හඬ නඟන්නේ කළු ජාතිකයින් පමණක් නොවේ. නිල් ඇස්,කොල ඇස්, සුදු හම, දුඹුරු හම ආදී සියලු වර්ගවලට අයත් පිරිස් මේ වන විට වර්ගවාදයටත් වර්ණවාදයටත් එරෙහි ව මහමඟට බැස සිටිනු දැකිය හැකි වේ. 

වර්ණවාදයේ මූලාරම්භකයින් වන එක්සත් රාජධානියේ සුදු හම ඇත්තෝ ද මේ වන විට විරෝධතාකරුවන්ට එක් ව සිටිති. පසුගිය දින කිහිපය තුළ දී ඔවුන් විසින් එරට පිහිටුවා ඇති ස්මාරකවලින් බොහොමයක් ද කඩා බිඳ දමනු ලැබිණි. මෙයට ප්‍රතිචාර දක්වමින් අගමැති බොරිස් ජොන්සන් පවසන්නේ වර්ගවාදය අතුගා දැමීමට තමා සම්පූර්ණ සහාය දෙන නමුත්, එක්සත් රාජධානියේ ඓතිහාසික උරුමයන්ට සාමකාමී ව පැවතීමට ඉඩ දිය යුතු බව යි. මන්දයත් මෙලෙස ප‍්‍රහාරයට ලක් වූයේ වින්සන්ට් චර්ච්ල්, එඩ්වඩ් කොල්ස්ටන් ආදී දේශපාලනික හා ආර්ථික වශයෙන් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ පිළිරූ ය. ඒ අතර “බ්‍රිස්ටල්” නගරය පුරා දිගින් දිගට ම විරෝධතා සිදු වෙයි. පෙර දී මෙම සටන දියත් කෙරුණේ ඇමරිකානු උද්ඝෝෂකයින්ට සහාය පිණිස ය. එහෙත් එක්සත් රාජධානියේ කොවිඩ් මරණ සංඛ්‍යාව පිළිබඳ සලකන විට, සුළුතර ජනකොටස්වල මරණ ගණන සුදු හම ඇතියවුන්ට වඩා වැඩි බව සංඛ්‍යාලේඛනවලින් තහවුරු වීමත් සමඟ එම විරෝධතා සටන බ්‍රිතාන්‍ය රජයට ද එරෙහි ව නැඟිණි.

හොඳින් අධ්‍යයනය කර බලන විට සුදු – කළු භේදය යනු එක් බෙදුම් මානයක් පමණක් බව පෙනී යයි. ජෝර්ජ් ෆ්ලොයිඩ් හේතුවෙන් මඳකට අමතක ව ගිය ඉස්ලාම් අන්තවාදී ගැටලුව ද ලොවට නොපෙනී ම වර්ධනය වෙමින් පවතී. රුසියානු නායක පුටින් හා ඇමරිකානු නායක ට්‍රම්ප් වැන්නවුන් මෙම අන්තවාදය ලොවින් තුරන් කර දැමීම සඳහා දිවිහිමියෙන් කැප වන බවට ප්‍රතිඥා දී තිබුණ ද, “ඉරාක සහ සිරියා ඉස්ලාම් රාජ්‍ය” (අයි.එස්.අයි.එස්.), “තලේබාන්”, “අල් – ශබාබ්” “බොකො හරාම්” වැනි සංවිධාන ලොව පුරා දහස් ගණනින් සාමාන්‍ය මිනිසුන් මරා දමමින් යති. විශේෂයෙන් ම සිරියාවේ ඉස්ලාම් අන්තවාදී ගැටලුව දිගු කලක් තිස්සේ එරට ජනතාවට පමණක් නොව අසල්වාසීන්ට ද පීඩා දෙයි. මෙම සංවිධාන උත්සාහ කරමින් යන්නේ ලොව ම ඉස්ලාම් ආගමට හරවා ගැනීමට ය. එලෙස ඉස්ලාම් රාජ්‍යයන් බිහි කිරීමේ චේතනාවෙන් ඔවුහු ලිබියාව, ඊජිප්තුව, ඇල්ජීරියාව, ඇෆ්ගනිස්තානය, යේමනය, නයිජීරියාව, අග්නිදිග ආසියාව, ගාසා තීරය ආදී අතිවිශාල ප්‍රදේශයක් ආවරණය කරමින් යති. ඒ අතර ම වසර ගණනාවක් තිස්සේ ඉස්ලාම් රාජ්‍යයන් තුළ සුන්නි – ශියා වර්ගවාදී ගැටුම් ද නැඟෙමින් පවතී.

මේ අතර ඉස්ලාම් අගමිකයින් වීම හේතුවෙන් පීඩා විඳීමට සිදු ව ඇති පිරිසක් ද වෙති. ඒ, මියන්මාරයේ රෝහිනග්‍යා සරණාගතයෝ ය. ඔවුන්ගේ ගැටලුවේ මූලාරම්භය පිළිබඳ සලකා බලන විට, 2012 දී එරට රජය විසින් ඔවුනට සිදු කළ අසාධාරණකම් මෙයට මුල් වී ඇති බව පෙනේ. ඊට පළි ගැනීමක් වශයෙන් තරුණ තරුණියන් එක් වී, දැනට වසර තුනක පමණ සිට සිදු කරමින් යන කැරැළි ගැසීම තවමත් නතර වී නැත. මියන්මාරයේ නායිකා අවුන්සාන් සුකී මහත්මිය තම රටට එරෙහි ව නැඟෙන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන්නී ය. ඇය පවසන්නේ මියන්මාර හමුදා රෝහින්ග්‍යාවරුන් පන්නා දැමීමට එක ම හේතුව වන්නේ 2017 වසරේ රඛයින් ප්‍රාන්තයේ ඇති වූ අන්තවාදී ගැටුම බව යි. ඇයට අනුව “අරකන් රෝහින්ග්‍යා ගැලවීමේ හමුදාව” වැනි සංවිධාන මියන්මාර පොලිසිය හා එවැනි වෙනත් ආරක්ෂක ආයතනවලට පහර දෙයි. හමුදාව උත්සාහ කරනුයේ ප්‍රතිප්‍රහාර දීමට පමණි. 

එනමුත් මෙම ගැටලුව දෙස රෝහින්ග්‍යාවරුන්ගේ පාර්ශවයෙන් බලනා විට පෙනී යන කරුණක් නම්, දැනට වසර ගණනාවක පටන් ඔවුන් ජාතිවාදය හේතුවෙන් දුක් විඳින බව ය. සිය රටින් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් අතුගා දැමීමට මියන්මාර රජයෙන් ගත් උත්සාහය නිසා මේ වන විට ලක්ෂ හතකට වැඩි සංඛ්‍යාවක් සරණාගතයින් බවට පත් ව තිබේ. කළ හැකි දෙයක් නොමැති තැන, ඔවුහු තමන්ට ආසන්නතම දේශය වන බංගලාදේශය වෙත පළා යති. ඇතැමෙක් බෝට්ටුවල නැගී කොහේ හෝ පිහිටි, පය තැබිය හැකි ස්ථානයක් සොයා යති. මතු වූ කොවිඩ් 19 වසංගතය ද රෝහින්ග්‍යාවරුන් වෙත එල්ල කෙරුණු මරු පහරක් විය. ලක්ෂ ගණනින් වෙසෙන “කොක්ස් බසාර්” වැනි සරණාගත කඳවුරු තුළ දී ඔවුහු ඉතා පහසුවෙන් වසංගතයට ගොදුරු වූහ.

පසුගිය අප්‍රේල් මාසයේ දී බංගලාදේශයේ දකුණු දෙසින් බෝට්ටුවක නැගි 270 ක පමණ සරණාගතයින් පිරිසක් මැලේසියානු රජය විසින් බේරා ගනු ලැබුවේ මාස දෙකකට පමණ පසු ය. පළා යන අවස්ථාවේ දී එහි මිනිසුන් පන්සියයක් පමණ සිටිය ද, මැලේසියාවට හමු වූයේ ඉන් අඩකි. මෙම වසර මුල දී ද මෙවැනි ම සිය ගණනකින් යුත් සරණාගත බෝට්ටුවක් බේරා ගනු ලැබිණි. මේ සියල්ලට ම හේතුව වන්නේ මියන්මාර රජය විසින් ක්‍රියාත්මක කෙරෙන වර්ගවාදී වැඩපිළිවෙළ යි. මේ වන විට අවුන්සාන් සුකී වර්ගවාදයට උඩගෙඩි දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ පවා පෙනී සිට තිබේ. එළඹෙන වසර හතර ඇතුළත ඇය මෙම වර්ගවාදී ජන සංහාරය සම්පූර්ණයෙන් ම පාලනය කළ යුතු බවට එම අධිකරණය නියෝග කර ඇත.

මේ හැර ලොව පුරා රටවලින් 99%ක පමණ ජාතිය, කුලය, පන්තිය ආදී එකී මෙකී නොකී ඕනෑම වෙනසක් මුල් කර ගනිමින් ගැටුම් ඇති වන බව පෙනේ. කෙටියෙන් කියතොත් අද වන විට කිසිදු ජනවාර්ගික අර්බුදයක් නැතැයි සැලකෙන ශ්‍රී ලංකාවේ පවා මවකට දරුවෙකු ලැබුණු බව දැන ගත් පසු කෙනෙක් පළමුවෙන් ම විමසන්නේ “බබා සුදු ද?” කියා ය.

වර්ගවාදයට හෝ ජාතිවාදයට එරෙහි වූවා කියා කිසිදු රාජ්‍යයක් අද දක්වා පරිහානියට පත් වූයේ නැත. සිදු වූයේ රජය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු වීම පමණි. නිදසුනක් ලෙස බහුජාතික රටක් වන කැනඩාව පසුගිය කාලය තුළ දී වර්ගවාදී වෙනස්කම් සිදු කිරීම අත්හිටවූ අතර, ඉතා සාමකාමී ලෙස රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට කටයුතු කළේ ය. මේ වන විට එය ඉතා දියුණු රටක් වශයෙන් ලොව ම පිළි ගනී. චීනය ද ත්‍රස්තවාදය, ආගම්වාදය, වර්ගවාදය ආදී බෙදුම්වාද ඉතා සාර්ථක ව ජය ගත් රාජ්‍යයකි. අද වන විට ඔවුන් සිටිනුයේ කෙතරම් ඉහළින් ද? හිට්ලර්ගේ යුගයේ දී වර්ගවාදය පිළිබඳ ඝෝර ලෙස දේශනා කළ ජර්මනිය, අද වන විට ලොව නන්දෙසින් එන අන්තර් ජාතික සංක්‍රමණිකයන් වැඩිම සංඛ්‍යාවකට නිවහන සපයන රටවල් අතුරින් තෙවනි තැන ලබාගෙන සිටියි. 

එසේ නම් මෙම වර්ගවාදය, වර්ණවාදය, ජාතිවාදය යනුවෙන් කියා ගන්නා වදන්වල තේරුම කුමක් ද? එකිනෙකාට එරෙහි වීම පමණක් ම නොවේ ද? එහා රටේ වර්ගවාදී අර්බුදය අතු ගා දැමීමට යත්න දරන මිනිසුන්ගේ සිත් තුළ පවා අන්‍යයන්ට සැලකීමේ දී මොන යම් ආකාරයක හෝ බෙදුම් මානයක් නොමැති ද? රුධිරයට ම බද්ධ වී ඇති මෙම බෙදීමෙන් ලොව ගැලවෙන්නේ කවදා ද? 

ශ්‍රීනි ලංකා ජයකොඩි.