Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලොවට වැදගත් වූ සත්තු.

1.ලයිකා.

“ලයිකා”කියන බැල්ලිය නම් නොදන්නා කෙනෙක් නැති තරම්. එයා තමයි අභ්‍යවකාශයට ගිය පළවෙනි ම පණ තියෙන ජීවියා. ඒ වගේ ම ඉස් ඉස්සෙල්ලා ම අභ්‍යවකාශයේ දී මැරුණෙත් ලයිකා. මිනිස්සු එහෙ යන්න කලින් පර්යේෂණ සත්ත්වයෙක් විදිහට තමයි මේ සතා අභ්‍යවකාශයට යන්නෙ. ඒ ‘ස්පුටිනික් 2” කියන යානයෙන්. 

ඒ කාලෙ ඒ විදිහට කක්ෂගත කෙරෙන යානයක් ආයෙමත් පොළොවට ගෙන්වා ගන්න තාක්ෂණයක් තිබුණෙ නෑ. ඒ නිසා තමයි රුසියා⁣නු⁣වන් හොඳට පුහුණු කරපු සතෙක් යානයට දාලා යැව්වෙ. ඒ කියන්නේ ලයිකා ටික දවසකින් මැරෙන බව පර්යෙෂකයෝ හොඳට ම දැනගෙන හිටියා. කෙටියෙන් කිව්වොත් මිනිසුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් කාත් කවුරුවත් නැති, පෘථිවියෙනුත් එළියෙ පාවෙන යකඩ ගොඩක් ඇතුළෙ අසරණ ව මැරුණු පළවෙනි සතා තමයි ලයිකා. 

ලයිකා වෙනුවෙන් ස්මාරක හැදුවා, මුද්දර ගැහුවා. හැබැයි මිනිස්සු එයාට කරපු දේ මකන්න බෑ නෙ.

2.ඩොලී.

ඩොලී කියන්නේ බැටළුවෙක්. ඒ වුණාට එයා සාමාන්‍ය බැටළුවන්ට වඩා වෙනස් වගේ ම ලොකුයි. ඩොලී තමයි සාර්ථක ව ම  ක්ලෝනීකරණය කරපු පළවෙනි සතා. ඒ කියන්නේ සර්වසම විදිහට ජාන පිටපතකින් ලබා ගත්තා කියන එක. මීට කලින් 277 වතාවක් ම ඔය විදිහට සතුන් ක්ලෝනීකරණය කරන්න උත්සාහ කරලා තිබුණත්, ඒ හැමෝම දවස් කිහිපයකින් මැරුණා. ඒත් ඩොලී අවුරුදු හයක් විතර ජීවත් වුණා. ඒ වගේ ම එයා වඳ සතෙක් වුණෙත් නැහැ. පැටවු හය දෙනෙක් ම ලැබුණා.

 හැබැයි ඉතින් මෙයාට පොඩි පොඩි ලෙඩ නම් තිබුණා. ඉපදෙනකොට ම එයාගෙ සෛල හරියට අවුරුදු හයක බැටළුවෙකුගේ වගෙයි. එ වගේ ම ලොම් හරියට පූසෙකුගෙ වගේ. ශරීරයේ වගේ ම හැසිරීමේ වෙනස්කම් ටිකකුත් තිබුණා. කොහොම නමුත් විද්‍යාඥයින් තවමත් පුදුම වෙනවා ඩොලී කොහොම ජීවත් වුණා ද කියලා.

3.චේර් ඇමී.

Taxidermic specimen, stuffed pigeon. Cher Ami. AF*30714.

නම කිව්වාම නම් අප⁣ට වැඩි ⁣මතකයක් නැහැ, මේ පරෙවි කුරුල්ලා ගැන. හැබැයි තවුරුත් නොදන්නවා වුණාට චේර් කියන්නේ ⁣පළවෙනි ලෝක යුද්ධයේ දී ඇමරිකාව බේර ගන්න ලොකු හයියක් වුණු සතෙක්. 

ප්‍රංශ භාෂාවෙන් මේ නමේ තේරුම තමයි “ආදරණීය මිත්‍රයා” කියන එක. චේර් එයාගෙ කකුලේ පණිවිඩ ගැට ගහගෙන දවසට දහ දොළොස් සැරයක් කඳවුරේ ඉඳන් යුධ පිටියටයි, එතනින් ආයෙ කඳවුරටයි පියෑඹුවා. එහෙම යද්දී එද්දි එයාට වෙඩි වැදිලා තුවාලත් වුණා. ඒ චේර්ගෙ අන්තිම ගමන. ඒ වෙලාවේ කඳවුරේ අයට හොයා ගන්න බැරි වෙලා හිටියේ තමන්ගේ හමුදාව ඉන්න තැන. හරියට ම ඉන්නෙ කොහෙද කියන පණිවිඩේ අරගෙන චේර් එනකොට තමා වෙඩි වැදුණේ.

හැබැයි මේ නිර්භීත චේර් සැලුණේ නෑ. කොහොමහරි පියාඹන්න උත්සාහ කළා. එයාට යම් තරමකට හරි තේරෙන්න ඇති පණිවිඩේ වැදගත්කම. ඉතින් කොහොමහරි අන්තිමේ දී චේර්ට පුළුවන් වුණා කඳවුරට යා ගන්න. ඒ නිසා සම්පූර්ණ හමුදා බලඇණියක් ම මරණයෙන් බේරුණා. හැබැයි ඉතින් චේර්ටත් වුණේ ලයිකාට වෙච්ච දේ ම තමා. එයා වෙනුවෙන් කොච්චර සැමරුම් තිබුණත් මිනිස්සුන්ගේ බල තන්හාව නිසා අකාලයේ මිය ගියා.

4.කයිරෝ

මෙයා බල්ලෙක්. අපේ රටෙත් බල්ලෝ බෝම්බ එහෙම හොයන්න පාවිච්චි කරනවා නේ. හැබැයි මේ බල්ලා කෙලින් ම ගියේ යුද්ධෙට. ඒ පොඩි පොඩි වැඩ කරන්න නෙවෙයි. බලවත් ම ත්‍රස්තවාදීයා වුණු ඔසාමා බින් ලාඩ්න් හොයන්න. එයා තමයි “සීල්” කියන වර්ගයට අයත් කයිරෝ කියන බල්ලා. කයිරෝ තමා හය දෙනෙකුගෙන් යුක්ත ටීම් එකට මඟ පෙන්නුවෙ. ඒ වගේ ම සතුරන් කිහිප දෙනෙක් ම නිහඬ කරන්නත් කයිරෝට පුළුවන් වුණා.

හැබැයි ඉතින් මේ කයිරෝ ගැන කට්ටිය වැඩිය දන්නෙ නෑ. කෙටියෙන් ම කියනවා නම් ඔසාමා විනාශ කළාට පස්සෙ කයිරෝගේ වැදගත්කමකුත් නැතුව ගියා. අන්තිමට මේ නිර්භීත සතා කොහේ ගියා ද කියලා හොයා ගන්නත් බැරිව ගියා. 

ඔය විදිහට තමයි මිනිස්සු තමන්ට ගන්න තියෙන ලාබ ප්‍රයෝජන ඉවර වුණාට පස්සෙ අසරණයින් එළියට ඇදලා දාන්නෙ.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author