Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලෙඩ වුණු ජනාධිපතිලා.

ලොව ම කොවිඩ් 19 වසංගතයෙන් ඇළලී ගොස් සිටින මේ මොහොතේ ලෝක බලවතා යැයි කියා ගන්නා ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ද අසනීප විය. ඔහුට ද කොවිඩ් 19 රෝගය වැළඳිණි. එහෙත් ට්‍රම්ප් හරි හැටි සුවවීමටත් ප්‍රථම රෝහලින් එළියට බැස්සේ ය. මේ අයුරින් ඇමරිකානු ජනාධිපති ඉතිහාසය තුළ කිසියම් ජනාධිපතිවරයෙකු සිය ධූර කාලය තුළ දී අසනීප වූයේ නම් අනුගමනය කළ යුත්තේ කුමන ආකාරයේ ක්‍රියාමාර්ගයක් ද යන්න පිළිබඳ ලියවී තිබේ.

ඇමරිකාවේ ආරම්භක පියවරුන් යැයි සැලකෙන පස්දෙනා නම් සිතුවේ එවැනි අවස්ථාවක දී අසනීප ජනාධිපතිවරයා විසින් ම අනුප්‍රාප්තිකයෙකු නම් කළ යුතු බව යි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවසන්නේ තේරී පත් වූ තැනැත්තා මිය ගියහොත්, ඉල්ලා අස් වූ වුවහොත් හෝ දුර්වල තත්ත්වයට පත් වුවහොත් එවකට තනතුරෙහි සිටින උප ජනාධිපතිවරයා වැඩ බලන ජනාධිපතිවරයා බවට පත් වන බවයි. එපමණක් නොව ජනාධිපතිවරයා තවදුරටත් සේවය කිරීමට නුසුදුසු යැයි ප්‍රකාශ කිරීමට බලය ඇත්තේ කා හට ද? ජනාධිපතිවරයා නැවත ධුරයට පත්විය යුත්තේ කවදා ද? සහ කෙසේ ද? යන්න පිළිබඳත්, උප ජනාධිපතිවරයා ඉතිරි ධූර කාලය සඳහා ද ජනාධිපති වශයෙන් සිටිය යුතු ද? නැතහොත් වෙනත් අයෙකු පත් කර ගන්නා තෙක් කුමක් කළ යුුතු ද? යනාදී තීරණාත්මක තොරතුරු පවා එහි ඇතුළත් ය.

ඇමරිකානු ජනාධිපති ඉතිහාසය අසනීප හෝ වෛද්‍ය තත්ත්වයන් මත හසුරුවනු ලැබූ නායකයින්ගෙන් පිරී ඇත. සමහරුන් විවෘත ව සිය නොහැකියාව පෙන්වා දී තිබෙන අතර තවත් සමහරුන් සිය අසනීප තත්ත්වය රහසිගත ව තබා ගනිමින් සිය නිළයේ සේවය කර තිබේ. ජනාධිපති හෝ උප සභාපති ඉල්ලා අස් වුවහොත්, නොහැකි තත්ත්වයට පත් වුවහොත්, ආබාධිත වුවහොත් හෝ මිය ගියහොත් කුමක් සිදුවේ ද? යන්න පිළිබඳ පැහැදිලි ධූරාවලිය විස්තර කර තිබෙන්නේ ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනයේ ය. එය කෙතරම් තීරණාත්මක වූවා ද කියතොත් අදාළ සංශෝධනය සම්මත කර ගැනීමේ එක් පියවරක් ලෙස එරට කොන්ග්‍රසයට හෙවත් පාර්ලිමේන්තුවට එකල ජනාධිපති ධූරය දැරූ ජෝන් එෆ්. කෙනඩි මහතා ඉවත් කිරීමට පවා සිදු විය.

ඇමරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය තුළ ජනාධිපති තනතුරෙහි සිටියෙ දී අසනීප වූ ජනපතිවරු කිහිපදෙනෙක් සිටිති. 

1.ජෝර්ජ් වොෂින්ටන්.

බලයේ සිටියෙ දී දැඩි ලෙස අසනීප තත්ත්වයට පත් වූ ප්‍රථමයා වන්නේ ජෝර්ජ් වොෂින්ටන් ය. සැබැවින් ම කියතොත් ඔහු ඇවිදින රෝහලක් මෙන් විය. ඔහු පළමුවෙන් ජනාධිපති ධූරයට පත් වී මාස දෙකකට පසු උදරයෙහි දකුණු පස හට ගත් ගෙඩියක් හේතුවෙන් සැත්කමකට භාජනය වූ අතර සති හයක විවේක ගැනීමක් අවශ්‍ය විය. සිය ධුරයේ දෙවන වසරේ දී, ඔහුගේ ඇසීමට මෙන් ම පෙනීමට ද තර්ජනයක් වූ ඉන්ෆ්ලුවෙන්සා රෝගයකින් දිවි ගලවා ගත්තේය. වොෂින්ටන් සිය දිනපොතෙහි මෙසේ ලිවීය. 

“මට දැනටමත් වසරකටත් අඩු කාලයක දී දරුණු ප්‍රහාර දෙකක් සිදුවී ඇත. ළඟදී ම මම මාගේ පියවරුන් සමඟ සදහට ම නිදා ගැනීමට ඉඩ තිබේ. මෙය කොතරම් ඉක්මනින් සිදු වීමට ඉඩ ඇතිදැයි මම නොදනිමි.”

ඇමරිකාවේ මුල් නගර තුළ කලින් කලට බොහෝ රෝග පැතිර ගිය අතර 1793 වසරේ ගිම්හානයේ දී කහ උණ ​​පැතිරීම හේතුවෙන් ජනතාවට ගම්බද ප්‍රදේශවලට පලා යාමට සිදු විය. වොෂිංටන් හට ඩිප්තීරියාව, ක්ෂය රෝගය, වසූරිය, මැලේරියාව, අතීසාරය, උගුර වණ වීම, ලේ ගඩු ඇති වීම සහ යුධ පිටියේ දී සිදු වූ බොහෝ තුවාලවලින් ද දිවි ගලවා ගත්තේ ය. අවසානයේ ජෝර්ජ් වොෂින්ටන් මිය ගියේ උගුරේ ආසාදනයකිනි. එනමුත් ඒ, ඔහු සිය ධුරයෙන් ඉවත් වූ පසු ය.

2. විලියම් හෙන්රි හැරිසන්.

කෙටි ම කාලයක් ඇමරිකාවේ ජනාධිපති ධූරය දැරූ පුද්ගලයා හැරිසන් ය. ඔහු දිවුරුම් දී ටික දිනකින් ම, එනම් දින 34කින් නියුමෝනියාවෙන් ඔත්පල වූ අතර පසුව මිය ගියේ ය. බලයේ සිටියෙ දී මිය ගිය ප්‍රථම ජනාධිපතිවරයා හැරිසන් ය.

ඔහුගේ මිය යාම හේතුවෙන් ඇමරිකාව තුළ ගැටලු කිහිපයක් ම නිර්මාණය විය. ව්‍යවස්ථාවේ ධූරාවලියට අනුව ඊළඟ ජනාධිපතිවරණය වන තෙක් අදාළ තනතුරෙහි වැඩ බැලීමට සිදු වුයේ උප ජනාධිපතිවරයා වූ ජෝන් ටයිලර්ට ය. කොන්ග්‍රසය විසින් ඔහු වැඩ බලන්නා ලෙස පත් කළ අතර, මුල දී ටයිලර් කිසිදු විරෝධතාවකින් තොර ව වැඩ භාර ගෙන කටයුතු කරගෙන ගියේ ය. එහෙත් ටික දිනක් ගතවන විට ප්‍රසිද්ධියේ තමා “වැඩ බලන්නෙකු” ලෙස හැඳින්වීම පිළිබඳ ඔහු කලකිරීමට පත් වූ බව පෙනේ. එහෙයින් කොන්ග්‍රසයේ කිහිප දෙනෙකුගේ ද සහාය ලබා ගත් ටයිලර්, ඍජුව ම ධවල මන්දිරයට ගොස් ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන් අතර, ජනතාව අමතා ප්‍රකාශයක් ද සිදු කළේ ය. එහෙත් ඊළඟ මැතිවරණය වන තුරු ම ඔහු නියම ජනාධිපතිවරයා වශයෙන් පිළිගැනුණේ නැත. එය ඔහුගේත් ඔහුගේ සගයින්ගේත් හිත සනසා ගැනීම උදෙසා කළ රඟපෑමක් පමණක් ම විය.

3. ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ්

1885 දී ප්‍රථම වරට බලයට පත් වූ ක්ලීව්ලන්ඩ් 1889 දක්නා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ ය. පසුව 1893 දී ඔහු දෙවන වරට ද එම තනතුරට පත් වීමට තරම් වාසනාවන්ත විය. එහෙත් එම වාසනාව වැඩි කලක් පැවතණේ නැත. එම වසරේ දී ම ක්ලීව්ලන්ඩ් හට මුඛයේ පිළිකාවක් වැළඳුණු අතර එයින් හට ගත් ගෙඩියක් ඉවත් කිරීම සඳහා  ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය විය.  

පුවත්පත්වල මෙන් ම ජනතාවගේ ද අවධානය සිය රෝගය වෙත යොමු වීම වළක්වා ගැනීම සඳහා, ඔහු “ලෝන්ග් අයිලන්ඩ් සවුන්ඩ්”හි ඔහුගේ මිතුරෙකුගේ මුහුදු යාත්‍රාවක දී අදාළ සැත්කම සිදු කර ගත්තේ ය. ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකයින් ප්‍රසිද්ධියේ පැවසුවේ ජනාධිපතිවරයා සිය මිතුරන් සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා මුහුදු ගමනක් ගිය බව යි. 

සැත්කමේ දී ඔහුගේ මුඛයේ ඉහළ තලයෙන් හතරෙන් එකක් මුළුමනින් ව ඉවත් කර, කාවැද්දීමකින් හනු දෙක නැවත සවි කරන ලදී. සැත්කමින් පසු ටික දිනක් ව්වේක ගත් ක්ලීව්ලන්ඩ්, නැවත ධවල මන්දිරය වෙත ගොස් කිසිවක් සිදු නොවූවාක් මෙන් වැඩකටයුතු කරගෙන ගියේ ය. කතා කිරීමේ දී යම් යම් අපහසුතා තිබුණ ද, සහායකයින් හේතුවෙන ජනතාවට ඒ පිළිබඳ සැක මතු වූයේ නැත. මහජනයා ද අප සිතන තරම් නුවණැත්තෝ නොවූහ.

4. වුඩ්රෝ විල්සන්

1918 වසරේ පැරිසියේ පැවැති සාම සාකච්ඡාවල දී ලෝක නායකයන් සමඟ සංවේදී ව සාකච්ඡා සිදු වෙමින් පවතින අතරතුර වුඩ්රෝ විල්සන් හට උණක් වැළඳුණු අතර, ඔහු මිය යාමට ආසන්න තත්ත්වයට ම පත් විය. පළමුවන ලෝක සංග්‍රාමයේ දී මෙම උණ රෝගය ම වැළඳුණු ලොව පූරා විසූ සිවිල් වැසියන් හා සොල්දාදුවන් මිලියන 20ක් පමණ එයින් මිය ගොස් තිබිණි. එහෙත් විල්සන්ගේ වෛද්‍යවරයා අසත්‍ය පවසමින් ජනාධිපතිවරයාට පැරිසියේ දී වැස්සට තෙමී සීතලක් ඇති වූ බව පැවසී ය.

විල්සන්ගේ අසනීප තත්වය ඔහු බොහෝසෙයින් දුර්වල කළ අතර සහායකයින් කනස්සල්ලට පත්වූයේ අදාළ පැරිස් සාකච්ඡා සිදු කිරීමට ජනාධිපතිවරයා හට මෙමඟින් බාධාවක් සිදු වූ බැවිනි. අවසානයේ දී, විල්සන් ප්‍රංශ නායක ජෝර්ජස් ක්ලෙමෙන්සියෝ හට මෙම තත්ත්වය දැනුම් දී උදව් අපේක්ෂා කළේ ය. ඒ අනුව වසර පහළොවක් තිස්සේ දිග හැරුණු රයින්ලන්ඩ් හමුදාකරණය සහ ප්‍රංශ වාඩිලා ගැනීම පිළිගැනීමට ඇමරිකාවට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ජර්මනිය වෙත ඉදිරිපත් කෙරුණු වර්සෙල්ස් ගිවිසුම කෙතරම් දරුණු හා අසාධාරණ වී ද යත් එය ඇඩොල්ෆ් හිට්ලර්ගේ නැගීමට සහ දෙවන ලෝක යුද්ධය ඇති වීමට හේතුවක් බවට පත් විය.

විල්සන්ගේ තත්වය ගැන වෛද්‍යවරුන් බොරු කී අවසාන අවස්ථාව මෙය නොවේ. 1919 දී ඔහු හදිසි ආබාධ කිහිපයකට ම ගොදුරු වූ අතර එහෙයින් ඔහුගේ ජනාධිපති ධූරය උප ජනාධිපති වෙත පැවරීමට පවා ඔහුගේ කැබිනට් මණ්ඩලය යෝජනා කළේය. එහෙත් ජනාධිපති ආර්යාව වූ ඊඩිත් විල්සන් සහ ජනාධිපති වෛද්‍යවරයා වූ කේරි ග්‍රේසන් එය ප්‍රතික්ෂේප කළහ.

5. ෆ්රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්

එක්සත් ජනපදයේ දීර්ඝතම කාලයක් සේවය කළ ජනාධිපතිවරයා ෆ්‍රෑන්ක්ලින් ඩෙලනෝ රූස්වෙල්ට් විය. ඔහු තමා හට වැළඳී තිබුණු පෝලියෝ රෝගයේ බරපතලකම ඇමරිකානු මහජනතාවගෙන් සඟවා ගැනීමට හැම විට ම උත්සාහ ගත් බව පෙනේ. ඒ, ජනතාව ඔහු දුර්වලයෙකු යැයි සිතනු ඇති බවට තිබූ බිය හේතුවෙනි. 

කකුල්වලට පලඳින ලද වළලු, සැරයටියක් සහ සාමාන්‍යය යැයි පෙනෙන ආකාරයේ උපදේශකයෙකුගේ හස්තයේ ආධාරයෙන් “ඇවිදීමට” ගිය ඔහු ප්‍රසිද්ධියේ තම රෝද පුටුව භාවිත කිරීමෙන් වැළකී සිටියේය. ඔහු ඇවිදින ආකාරය ඡායාරූප ගැනීම මාධ්‍යයට තහනම් විය. ජනාධිපති රහස් සේවයට පැවරී තිබූ ප්‍රධානතම රාජකාරිය වූයේ රූස්වෙල්ට්ගේ ගමන මාධ්‍ය අතරට යාම වළක්වාලීම යි.

6. ඩ්වයිට් ඩී. අයිසන්හවර්.

ඩ්වයිට් ඩී. අයිසන්හවර්ගේ ධුර කාලය තුළ ඔහුට හෘදයාබාධයක් වැළඳුණු අතර ක්‍රෝන් රෝගයට ද ශල්‍යකර්මයකට ද භාජනය විය. තමා යථා තත්ත්වයට පත් නොවනු ඇතැයි යන කනස්සල්ලෙන්, අයිසන්හවර් තම උප සභාපති රිචඩ් එම්. නික්සන්ට රහස්‍ය ලිපියක් ලිවීය.

එහි දී ඔහුට සිය ජනාධිපති ධූරයේ රාජකාරි ඉටු කළ හැකිද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම දරන්නා ලෙස නික්සන් නම් කළේය. මෙම ලිපිය නීත්‍යානුකූල නොවූ අතර 1955 දී ජනාධිපති හට වැළඳුණු හෘදයාබාධයෙන් පසුව සහ 1956 දී සිදු කළ සැත්කම අතරතුර දී මොහොතකට පමණක් නික්සන් එම ජනාධිපති ධුරය භාර ගත්තේ ය.

7. රොනල්ඩ් රේගන්

1985 ජුලි 13 වන දින 25 වන ව්‍යවස්ථා සංශෝධනය නිල වශයෙන් ක්‍රියාත්මක කරන ලද්දේ ජනාධිපති රොනල්ඩ් රේගන් විසිනි. රේගන් සිය මහා බඩවැලේ පිළිකාවක් සඳහා ශල්‍යකර්මයක් සිදුකරන අතරතුර එවකට උප ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් ජනාධිපති තනතුරෙහි රාජකාරි ඉටු කළේ ය.  රේගන්ට සාමාන්‍ය නිර්වින්දනය ලබා දෙන විට බුෂ් වැඩබලන ජනාධිපති විය.  පැය අටකටත් වඩා අඩු කාලයකින් පසු රේගන් සිය ජනාධිපති රාජකාරි නැවත ආරම්භ කිරීමට සූදානම් බව සෙනෙට් සභාවට දැනුම් දුන්නේය.

 8. ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්

ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් සිය ධුර කාලය තුළ 25 වන ව්‍යවස්ථා සංශෝධනය දෙවරක් ක්‍රියාත්මක කර තිබේ. 2002 ජුනි 29 වන දින බුෂ් 25 වන ව්‍යවස්ථා සංශෝධනයේ 3 වන වගන්තියට අනුව ශාරීරික පරීක්ෂණයක් සඳහා නිර්වින්දනය ලබා දීමට පෙර කෙටියෙන් උප ජනාධිපති ඩික් චෙනී වැඩබලන ජනාධිපති බවට පත් කළේය. 2007 දී තවත් වරක් කොලොනොස්කොපි පරීක්‍ෂණයක් කිරීමට සිදු වූ විට ඔහු නැවතත් එලෙස ම සිදු කළේය.

ඇමරිකානු ඉතිහාසයේ ආදි පියවරුන් කෙතරම් ලෙඩ දුක් තිබුණ ද සිය ධූරය අත්හැර නොගිය ආකාරය පිළිබඳ සලකා බලන කල්හි වත්මන් ජනපතිවරයා ද මාරාන්තික වසංගතයට “නිර්භය ව මුහුණ දෙන ආකාරය” කිසිසේත් පුදුම සහගත නොවේ. 

ශ්‍රීනි ලංකා ජයකොඩි.