Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලුකෂෙන්කෝට එරෙහි ව විරෝධතා.

බෙලාරුස් රාජ්‍යයේ ජනාධිපතිවරණය පසුගිය සතියේ පැවැත්වුණු අතර බොහෝ දෙනෙකු අනාවැකි පළ කළ සේ ම මෙවරත් ජයග්‍රහණය ලැබුවේ හිටපු ජනාධිපතිවරයා වූ ලුකෂෙන්කෝ ම ය. මධ්‍යම මැතිවරණ කොමිසම පවසන්නේ 1994 සිට බලයේ සිටින ලුකෂෙන්කෝ මහතා 80.1% ක ඡන්ද ප්‍රතිශතයක් සහ ප්‍රධාන විපක්ෂ අපේක්ෂිකා ස්වෙට්ලානා තිඛනොව්ස්කායා 10.12% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් බවයි. එහෙත් තිඛනොව්ස්කායා මහත්මිය අවධාරණය කරන්නේ ඡන්ද නිසි ලෙස ගණන් කළහොත් ඇයට 70%ක ප්‍රතිශතයක් ලැබිය යුතු බවට ය. 

එබැවින් මේ වන විට මුළු රට ම දෙකට බෙදී ඇති අතර, ලුකෂෙන්කෝගේ විරුද්ධවාදීහු හුස්ම ගැනීමේ නිදහස ඉල්ලා උද්ඝෝෂණය කිරීමට පටන් ගෙන සිටිති. මෙම විරෝධතා මාලාව පිටුපස සිටිනුයේ තිඛනොව්ස්කායා බව ප්‍රසිද්ධ රහසකි. පිරිසක් වාහනවල නැගී රට පුරා කරක් ගසමින් බෙලාරුස්හි ජාතික කොඩිය වනමින් කෑ ගසන අතරේ තවත් පිරිසක් මං මාවත්වල තැනින් තැනට එක් රොක් වී සටන් පාඨ කියමින් සිටින බව පෙනේ. 

අලුත් ම තත්ත්වය වන්නේ මේ විරෝධතා මර්දනය කිරීම හෝ ඊට එකඟ ව පසුබැසීම වෙනුවට ජනාධිපති ලුකෂෙන්කෝ ද රැළි මාලාවක් සංවිධානය කිරීම ය. මින්ස්ක් නගරයෙන් ආරම්භ කෙරුණු මෙම රැළි සඳහා රාජ්‍ය සේවකයින්ගේ සහභාගීත්වය අනිවාර්යය කර තිබේ. “තම මව්බිමට ආදරය කරන සහ රට දෙපැත්තකට බෙදීමට එරෙහි වන සියලු දෙනා මෙම රැලිය සඳහා එක්වනු ඇත.” යනුවෙන් සංවිධායක කණ්ඩායම ෆේස්බුක්හි සටහනක් තැබූහ.

මේ වන විට රාජ්‍ය අංශයේ සේවකයින්ට රැකියා අහිමිවීමේ තර්ජනයකට මුහුණ පෑමට සිදු ව ඇති බවට වාර්තා තිබේ. දින ගණනාවක් තිස්සේ රජයේ කර්මාන්ත ශාලාවල කම්කරුවන් පා ගමන් ගොස් ඇති අතර බොහෝ දෙනෙක් ජනාධිපතිවරයාට එරෙහි ව වීදි පෙළපාලිවලට සම්බන්ධ වී සිටිති. ඔවුහු වරින් වර වැඩ වර්ජන ද දියත් කරමින් සිටින බව පෙනේ. ලුකෂෙන්කෝගේ කීමට මෙම විරෝධතාවන් පිළිබඳ ඍණාත්මක අදහස් සමාජගත කිරීමට බල කෙරුණු මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු මේ වන විට සිය ආයතනවලින් ඉල්ලා අස් වී ඇති බව සැල වේ. 

නොසන්සුන්තාව දිගටම පැවතුණු හෙයින්, එය මැඬලිය නොහැකි වූ තැන ලූකෂෙන්කෝ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් උදව් පැතුවේය. ඔහුට ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබී තිබුණු අතර ලූකෂෙන්කෝ කියා සිටියේ බෙලාරුසියාවට බාහිරින් මිලිටරි තර්ජන එල්ල වුවහොත් පුළුල් ආධාර ලබා දෙන බවට ජනාධිපති පුටින් පොරොන්දු වූ බවයි.

එහෙත් රුසියානු ක්‍රෙම්ලිනයේ ප්‍රකාශයකට අනුව, “බෙලාරුස් නායකයා නුදුරු අනාගතයේ දී සියලු ගැටලු විසඳනු ඇති බවට අපට විශ්වාසයි”. යැයි පවසා ඇති නමුත් රුසියානු ආධාර ලබා දීම ගැන සඳහනක් කර නැත. සංවාදය සිදුව ඇත්තේ බෙලාරුසියානු පාර්ශවයේ මූලිකත්වය මත බව ද එහි දී අවධාරණය කර තිබේ.

ප්‍රචණ්ඩත්වය, මර්දනය සහ මැතිවරණ ප්‍රතිඵල ව්‍යාජ ලෙස සකස් කිරීම යන කරුණු සම්බන්ධයෙන් වගකිව යුතු බෙලාරුසියානු නිලධාරීන්ට එරෙහි ව නව සම්බාධක කිහිපයක් සකස් කිරීමට යුරෝපා සංගමය එකඟ වී තිබේ. ලූකෂෙන්කෝ මහතාගේ නිවේදනය නිකුත් වී තිබුණේ එම තීරණය ගත් දිනට පසු දින ය. එක්සත් ජනපදය ද අදාළ මැතිවරණය “නිදහස් හා සාධාරණ නොවේ” යනුවෙන් හෙළා දැක තිබේ. මේ අතර ම සෙනසුරාදා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් බෝල්ටික් ජනරජ තුනක එනම්, ලැත්වියාව, ලිතුවේනියාව සහ එස්තෝනියාව යන රටවල අගමැතිවරු ද ප්‍රචණ්ඩකාරී මර්දනය සහ විපක්ෂයේ දේශපාලන මර්දනය පිළිබඳ දැඩි ව කනස්සල්ල පළ කර තිබේ.

About The Author