Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රුසියාවට වැරදුණා ද?

පසුගිය මාස කිහිපය තුළ දී තමන් කොවිඩ් 19 වසංගතය සාර්ථක ව පාලනය කළා යැයි සිතාගෙන සිටි රුසියාවේ රතු එළියක් දැල්වීමට පටන් ගෙන ඇත. මාර්තු අග වන තුරු ම එහි සිටි රෝගීන් ප්‍රමාණය නොගිණිය හැකි තරම් ය. එහෙත් අප්‍රේල් මස ආරම්භයේ සිට රෝගය පැතිරීම මදින් මද වැඩි වූ අතර, මේ වන විට රුසියාවේ වෙසෙන කොවිඩ් 19 ආසාදිතයින් ගණන 114,435කි. එපමණක් නොව මරණ ගණන ද දහස පසු කර ඇත.

ආරම්භයේ පටන් රුසියානු ජනාධිපතිවරයා කොවිඩ් වසංගතය පිළිබඳ අනුගමනය කළේ ඉතා දැඩි පිළිවෙතකි. ඇතමුන් විහිළුවට මෙන් පැවසුවේ ඔහු ජනතාව නිවෙස්වලින් පිටතට පැමිණීම වැළැක්වීම සඳහා සිංහයන් මුදා හැර ඇති බවයි. එරට රජයේ නීති එතරම් ම තද විය. ලොව පුරා වසංගතය පැතිරෙන බව වටහා ගත් සැනින් පාර්ලිමේන්තුව කැඳවනු ලැබූ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් වසංගතය මැඬලීමට අදාළ හදිසි නීති පද්ධතියක් සම්මත කර ගනු ලැබිණි. ඒ අනුව පමුනුවන ලද නීති කඩ කළ ආසාදිත පුද්ගලයින් වසර හතක සිර දඬුවමකට පවා ලක් කළ හැකි විය. නීරෝගී පුද්ගලයෙකුට නම් වසර පහක සිර දඬුවම වැරදුණේ නැත. රට පුරා බොහෝ ප්‍රදේශ සම්පූර්ණයෙන් වසා දැමීමකට (ලොක්ඩවුන්) ලක් කෙරිණි. 

ජනාධිපතිවරයා ද නිකම් සිටියේ නැත. වරින් වර රෝහල් කරා ගොස් රෝගීන්ගේත්, විශේෂයෙන් ම වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේත් පහසුකම් සොයා බැලුවේ ය. ඇතැමුන් මේ පිළිබඳ නොකැමැත්ත පළ කළ ද, ජනාධිපතිවරයා නිරන්තර රෝග පරීක්ෂාවට ලක් කෙරෙන හෙයින් ගැටලුවක් වුයේ නැත.

අප්‍රේල් මස පටන් ගැන්ම තෙක් ම රෝගීන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු පමණ් වාර්තා වීමට එය හේතුවක් විය. එබැවින් රුසියාව සිතුවේ තමා ජය ගත් බව ය. කෙටියෙන් කියතොත් ඔවුහු වසංගතයෙන් අඩපණ වූ රටවල් සමඟ තම සම්පත් බෙදා ගැනීමට ද යුහුසුළු වුහ. ඒ අනුව ඉන්දියාවට පමණක් නොව ඇමරිකාවට ද රුසියාවෙන් ආධාර යවනු ලැබිණි.

පසුගිය පෙබරවාරි මාසයේ සිට අනුගමනය කෙරෙමින් පැවැති මෙම ක්‍රමවේදය අවුල් සහගත බවට පත් වූයේ “වැඩ නොකරන සතිය” ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව දෝ යැයි සිතේ. මන්දයත් රජය විසින් ඊළඟ සතිය එසේ ගත කිරීමට නියෝග දුන් විගස ම මෙතුවක් නීතිගරුක ව නිවසේ සිට වැඩ කළ පුද්ගලයින් පමණක් නොව ස්වයං නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් ද සතියක නිවාඩුවක් පිණිස සංචාරක ස්ථාන කරා ගමන් කළ නිසාවෙනි. 

අනතුරු ව ආසාදිතයින් ගණන වැඩි වූයේ හතු පිපෙන්නාක් මෙනි. නිරෝධායන නීති උල්ලංඝණය කරන්නන් සොයා ගැනීම සඳහා දූරකථනවලට රහසේ සවන් දීම, දියුණු සී.සී.ටී.වී. පද්ධතියක් යොදාගැනීම ආදී උපක්‍රම අනුගමනය කළ ද මේ වන විටත් රෝගීන්ගේ කිසිදු අඩුවක් නැත.

ආසන්නතම ගැටලුව වී ඇත්තේ එරට අගමැතිවරයා වන මිහායල් මිෂුස්ටීන් ද ආසාදිතයෙකු බව තහවුරු වීම යි. මීට දින දෙකකට පමණ පෙර වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ. ඔහු එරට ජනාධිපති වන ව්ලැඩ්මීර් පුටින් මහතා ද නිළ වශයෙන් දැනුවත් කර ඇති බව සඳහන් ය. මිෂුස්ටීන් මහතා මේ වන විට පූර්ණ නිරෝධායනයට ලක් වන අතර සම්පූර්ණයෙන් හුදෙකලා ව වෙසෙයි.

සිංගප්පූරුවත් වරද්දා ගත්තා ද?

අතිශය දරදඬු මෙන් ම දූරදර්ශී නීති අනුගමනය කළ තවත් රටක් වන්නේ සිංගප්පූරුව යි. ඔවුහු පළමුවෙන් ම රෝගියෙකු හමු වූ ජනවාරි 23 වන දිනෙන් පසු කඩිමුඩියේ ම බොහෝ දෙනෙකු පරීක්ෂණවලට භාජනය කළහ. එමඟින් පෙබරවාරි 4 එනම්, සති එකහමාරක් පමණ ගත වන විට ආසාදිතයින් 18 දෙනෙකු හඳුනා ගැනීමට හැකි විය. 

හැකි ඉක්මනින් අවශ්‍ය නීති කිහිපයක් සම්මත කර ගත් අගමැති ලී හ්සීන් ඇතුළු රජය, සමස්ත සමාජයට ම ආරක්ෂාව ලබා දුනි. ඔවුන්ගේ ප්‍රබලතම ක්‍රමවේදය වූයේ රෝගීන් සොයා යාම යි. එතරම් සාර්ථක ව රෝගීන් හා ඔවුන්ගේ සම්බන්ධිතයින් ලුහුබැඳීමේ ක්‍රියාවලියකට අනුගත වූ අන් කිසිදු රටක් නැත. සිංගප්පූරුව අනුගමනය කළ ක්‍රියා මාර්ග හරහා පැහැදිලි වන තවත් එක් කරුණක් වන්නේ ඔවුන් අතිවිශාල වශයෙන් තාක්ෂණය යොදා ගත් බව ය. ඒ සඳහා අවශ්‍ය දැනුම අඩුවකින් තොර ව ඔවුන් සතු ව තිබූ බව පෙනේ. එබැවින් සතියක් පමණ ගත වන විට කොවිඩ් 19 වෛරසය අතිසාර්ථක අන්දමින් තම විද්‍යාගාරයක් තුළ රෝපණය කිරීමට වෛද්‍ය පර්යේෂකයන්ට හැකි විය. මෙමඟින්, වෛරසය පැතිරෙන ආකාරය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට එරට වෛද්‍යවරු සමත් වූහ.

විද්‍යාත්මක දැනුම, දෙ තුන් වර සහතික කර ගන්නා ලද මූලික දත්ත හා විද්‍යාත්මක සමීක්ෂණ හේතුවෙන් අන් කිසිදු රටක නොතිබූ අන්දමේ වෛරස පාලනයක් ඇති කර ගැනීමට සිංගප්පූරුවට හැකි විය. එරට “පෙරටුගාමී වීරයින්” ( ඔවුන් රෝහල් කාර්ය මණ්ඩලය හඳුන්වා දෙන්නේ එසේ ය.) වෙනුවෙන් දීමනා ලබා දෙන ලද අතර, මේ සඳහා සියලු කැබිනට් ඇමතිවරු සිය මසක වැටුප රජයට පරිත්‍යාග කළහ.

සිය වැඩපිළිවෙළ පිළිබඳ සතුටුදායක තක්සේරුවකින් සිටි සිංගප්පූරු රජය, එරට පාසල් හෝ ව්‍යාපාරික ස්ථාන වසා දැමුවේ නැත. තදින් නීතිය ක්‍රියාත්මක වූ හෙයින් ආසාදිතයන් එළි බැස්සේ ද නැත. ආත්මාර්ථකාමී ව හැසිරුණු එක් පුද්ගලයෙකු සදහට ම සිංගප්පූරුවෙන් පිටුවහල් කරනු ලැබිණි. මෙයින් ඉතිරි සියල්ලන් ද බිය ගැන්විය හැකි විය.

එතරම් දේ සිදු කළ ද, මේ වන විට දිනකට නව ආසාදිතයින් හාරසියයකට වැඩි පිරිසක් හමු වන තැනට එරට පත් ව තිබීම කණගාටුවට කරුණකි. මැයි පළමුවන දින වන විට එම ගණන 932 කි. මුළු ආසාදිතයින් ගණන 17,550ක් වන අතර මරණ 16කි. එසේ නම් සිංගප්පූරුවට වැරදුණේ කොතැන ද?

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author