Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එජාපය රනිල් එක්කම නම්, තවත් කල්මැරීම අපරාදයක් අපේක්ෂකයෝ බැන වදිමින් සිරිකොතෙන් පිටවෙයි

2020 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලැබූ දැවැන්ත පරාජය හමුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බව දැනට පක්ෂයේ ඉතිරිව සිටින ‌‌‌‌ ජ්‍යේෂ්‍ඨයින් සහ ක්‍රියාකාරීන් ඇතුළු සාතිශය බහුතරයකගේ ඒකමතිකතීරණය විය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්ව ගෙවුණු සතිය තුළදීම නව නායකත්වයකට පක්ෂය භාරදෙනු ඇතැයි පාක්ෂිකයෝ බලා සිටියහ.

නමුත් කිසිදු වෙනසක් නැත. තාමත් වික්‍රමසිංහ නායක පුටුවේය. සුදුසු නායකයෙකු යෝජනා කර ඔහුට ඇති කැමැත්ත අකමැත්ත විමසා ඉතා ඉක්මනින් ජයග්‍රහණයන් වෙනුවෙන් පක්ෂය මෙහෙය වීමේ වගකීම ඔහුට භාර කරනු වෙනුවට වික්‍රමසිංහ මහතා යලිත් සිදුකළේ පක්ෂයේ ඉතිරිව සිටින කණ්ඩායමද විරසක වන ආකාරයේ නායකත්ව සටනකට අවතීරණ කරවීමයි.දැන් සියල්ලන්ම නායකයින් වීමට උත්සහ දරයි.නැවතත් පාක්ෂිකයන් කල්ලි වලට බෙදී ඇත.

මේ අවසනාවන්ත තත්වය තුලම පසුගියදා (15) මෙවර මහමැතිවරණය වෙනුවෙන් තරග කල එජාප අපේක්ෂකයින් සියලු දෙනා වෙනුවෙන් දිවා බෝජන සංග්‍රහයක් පැවැත්වුණි. බොහෝ දෙනෙකු ඊට එක්වුයේ පක්ෂයේ අනාගතය ගැන නව නායකත්වයක් යටතේ සුබ සිහින දකිමිනි. නව දැක්මක් වැඩ පිළිවෙලක් යටතේ එළබෙන පළාත් සභා මැතිවරණයට තරග කිරීමේ අරමුණත් ඒ ඔස්සේ ජයග්‍රහණ අත් පත් කර ගනිමින් පාක්ෂිකයන් දිනා ගැනීමේ අරමුණත් ඔවුන්ට තිබුණි. නමුත් දිවා භෝජනයට පෙර රනිල් වික්‍රමසිංහ මහතා සිදුකල කතාවේදී ඔහු කියා තිබුණේ පක්ෂයේ නායකත්ව වෙනස සිදු කරන්නේ පළාත් සභා ඡන්දයෙන් පසුව බවයි.ඒ අනුව එම ඡන්දය ජයග්‍රහණය කිරීම සදහා කැපවෙමින් වැඩ කරන අය අතරින් නව නායකයෙකු තෝරා ගන්නා බව ද ඔහු පැවසීමත් සමග අපේක්ෂකයින් බොහෝ දෙනෙකු ශාලාවෙන් පිටව ගොස් තිබුණේ වික්‍රමසිංහ මහතාට බැන වදිමිනි.

රනිල් වික්‍රමසිංහ බල ලොභියෙකු බවත් දිගින් දිගටම නායකත්වයේ රැදී සිටිමින් තමන්ට ගම්වල දේශපාලනය කිරීමට පවා නොහැකි තත්වයක් නිර්මාණය කිරීමට ඔහු කටයුතු කර ඇති බවත් පැවසු බොහෝ දෙනෙකු දිවා අහාරයවත් නොගෙන පිට වුයේ සිරිකොත ගේට්ටුව අසල සිටි මාධ්‍යවේදීන් හමුවේ තම වේදනාව සහ කනස්සල්ල පවසමිනි.

මේ වන විට ඉතිරිව සිටින පාක්ෂිකයන්ද පක්ෂයෙන් ඈත් වීමට මෙවැනි බලලෝභී ක්‍රියා හේතුවනු ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.