Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රතු ගිම්හානය

ඇමරිකා එක්සත් ජනපදයේ “කෙනෝෂා” ප්‍රදේශයේ ඇති වී තිබෙන වර්ණවාදී ගැටුම්කාරී තත්ත්වය අතරේ මේ වන විට කළු ජාතිකයින් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් ව තිබෙන අතර, එක් අයෙක් තුවාල ලබා සිටී. ඒ අතරින් 29 හැවිරිදි ජේකබ් බ්ලේක් හට පොලිසියෙන් හිරිහැර කොට තිබෙන්නේ ඔහු සිය දරුවන් සමඟ තම මෝටර් රථය තුළ සිටියෙ දී ය. පොලිසිය ජේකබ් සහාසික ලෙස රථයෙන් එළියට ඇද දමා, පසු ව වෙඩි තබා තිබේ. ඔවුන් බිය වූ දරුවන්ගේ කෑ ගැසීමවත් කණකට නොගෙන කටයුතු කර තිබීම ලැජ්ජා සහගත ය.

මෙවැනි ම අසාධාරණ ක්‍රියාවලියක් 1919 ජූලි 27 වන දින ද සිදු වී තිබේ. එදින කිසියම් සුදු ජාතිකයෙක් චිකාගෝ නුවර වෙරළ තීරයක පිහිටා තිබූ නිළ නොවන “සුදු” ජාතිකයින්ට අයත් කොටසකට ගසාගෙන ගිය කළු ජාතික පිරිමි ළමයෙකු වන 17 හැවිරිදි “ඉයුජින් විලියම්ස්” වෙත ගල් ගසා තිබිණි. විලියම්ස් පරාලයක් මත පාවෙමින් සිට ඇති අතර පහරදීම නිසා ඔහු ලිස්සා ගොස් මුහුදට වැටී, ගිලී මිය ගියේය. එහෙත් චිකාගෝ නගරයේ සුදු පොලිසිය අදාළ මිනීමරුවා අත්අඩංගුවට ගැනීම ප්‍රතික්ෂේප කළ විට, ඊට විරුද්ධ ව හඬ නඟා තිබුණේ සුදු චිකාගෝ වැසියෝ ය. ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස ප්‍රතිචාර දැක්වීමත් සමඟ කෝපයට පත් ජනතාවත් පොලිසියත් අතර හට ගත් විරෝධතා හා කෝලාහල සතියක් පමණ ගත වන තුරු සංසිඳුණේ නැත.

ඊළඟ දින කිහිපය තුළ, කළු සහ සුදු චිකාගෝ වැසියන් අතර ද කැරලි කෝලහාල ඇති විය. මෙලෙස හට ගත් ප්‍රචණ්ඩකාරී ගැටුම අගෝස්තු 3 වන දින අවසන් වන විට සුදු ජාතිකයින් 15දෙනෙකු සහ කළු ජාතිකයින් 23 දෙනෙකු මිය ගොස් 500කට වැඩි පිරිසක් තුවාල ලබා තිබිණි. සුදු කැරලිකරුවන් විසින් ගිනිබත් කිරීම හේතුවෙන් කළු ජාතික පවුල් 1,000කට පමණ උන් හිටි තැන් අහිමි විය. එම ගිම්හානයට පසුව “නිව් යෝර්ක් ටයිම්ස්” පුවත්පත කියා සිටියේ මෙම නොසන්සුන්තාවයට සැබෑ හේතුව වී තිබුණේ “සෝවියට් බලපෑමක්” බවයි. 

එහෙයින් අදාළ සිදුවීම හා ඇළලුණු තත්ත්වය “රතු ගිම්හානය” යනුවෙන් හැඳින්විණි. චිකාගෝ සිද්ධිය සම්බන්ධ කොට ගෙන රට පුරා ස්ථාන 18ක පමණ ගැටුම් ඇති විය. ඒවායින් වැඩි ප්‍රමාණයක සුදු ජාතිකයින් උසි ගන්වනු ලැබුවේ වොෂින්ටන් ඩී.සී. හි මැර කල්ලි විසිනි. පළමුවන ලෝක සංග්‍රාමයේදී තම රට වෙනුවෙන් සේවය කළා වූත් අසාධාරණ ලෙස සැලකීමේ පුරවැසිභාවයෙන් හෙම්බත් වූත් කළු ඇමරිකානුවෝ ද සුදු හමට විරුද්ධ ව ආපසු සටන් කළහ. සුදු ඇමරිකානුවන් අතර පැතිර තිබූ කොමියුනිස්ට්වාදය පිළිබඳ අකැමැත්ත ද මේ සටන් සඳහා පහසු ඉලක්කයක් බවට පත්විය. එහෙයින් ඔවුහු චෝදනා නඟමින් “සියලු කළු ජාතිකයින් ධනවාදීන් විනාශ කිරීමේ අරමුණින් පෙළෙන කොමියුනිස්ට්වාදීන්” ලෙස සලකා පහර දුන්හ. 

මෙය රටේ පළමු “රතු භීෂණය” බවට පත් විය.  වසර දෙකකට පමණ පෙර, බොල්ෂෙවික් පක්ෂයේ නායක “ව්ලැඩිමීර් ලෙනින්” සෝවියට් සංගමය බවට පත් වූ රුසියාවේ කොමියුනිස්ට් පාලනය ස්ථාපිත කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් කර තිබුණි. ඊට සමගාමී ව එක්සත් ජනපදය තුළ, ලෝකයේ කාර්මික කම්කරුවන් හෝ අයි.ඩබ්ලිව්.ඩබ්ලිව්. වැනි වෘත්තීය සමිති විසින් රට පුරා පවත්වන ලද වැඩ වර්ජන හරහා කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියහ. 1919 මාර්තු මාසයේ දී කොමියුනිස්ට්වාදය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ අදහසින් කොමියුනිස්ට් ජාත්‍යන්තරය නොහොත් “කොමින්ටර්න්” පිහිටුවන ලදී. ඒ අනුව ධනවාදය පැරදවීමේ අරමුණින් කටයුතු කිරීමට යෙදුණු කොමියුනිස්ට්වරු ඊළඟ මාස දෙක තුළ එක්සත් ජනපද නීතිපති “ඒ. මිචෙල් පාමර්” වැනි ප්‍රමුඛ පුද්ගලයින්ට හට තැපැල් මඟින් බෝම්බ යැවීමට පටන් ගත්හ.

මේ අතර, සමහර සුදු ඇමරිකානුවන් කොමියුනිස්ට්වාදීන්ට බිය වූ අතර වෙනත් “රැඩිකල්වාදීන්” මෙන් වාර්ගික නොසන්සුන්තාව වැපිරීමෙන් එක්සත් ජනපදය පෙරළා දැමීමට උත්සාහ කරනු ඇති බවට අනාවැකි පළ කළහ. මෙම කුමන්ත්‍රණ න්‍යායට පාදක වූයේ යමෙකු කළු ඇමරිකානුවන්ට විරෝධය දැක්විය යුතු යැයි උපකල්පනය කිරීමයි. 1919 අගෝස්තු 25 කොන්ග්‍රස් වාර්තාවට අනුව දකුණු කැරොලිනාවේ නියෝජිත “ජේම්ස් එෆ්. බර්නස්” කියා සිටියේ සාමාන්‍යයෙන් ඇමරිකානු කළු ජාතිකයා සතුටින් හා තෘප්තියෙන් සිටින බවයි. එහෙත් අයි.ඩබ්ලිව්.ඩබ්ලිව්., රුසියාවේ බොල්ෂෙවික් සහ එරට වෙනත් කොටස්වල නොමඟ ගිය න්‍යායාචාර්යයවරුනට සිය අදහස් ප්‍රචාරය කිරීමට ඉඩ දුනහොත් රට නියත වශයෙන් ම විනාශ වනු ඇති බව ඔහු කීවේ ය. ඇමරිකානු විරෝධී පණිවුඩ පතුරුවා හැරීම සඳහා අයි.ඩබ්ලිව්.ඩබ්ලිව්. විසින් “මැසෙන්ජර්” නමින් සඟරාවකට මුදල් සපයන බවට බර්න්ස් සැක කළේ ය. එහෙයින් 1918 දී ඔහු අදාළ සඟරාවට එරෙහිව දේශද්‍රෝහී පනත යටතේ නඩු පවරන ලෙස එක්සත් ජනපද රජයෙන් ඉල්ලා සිටියේය.

රතු ගිම්හානය පිළිබඳ ලියා තිබෙන ග්ලාස්ගෝහි, “ස්ට්‍රැට්ක්ලයිඩ්” විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සම්බන්ධ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය, “මාර්ක් එලිස්” පවසන පරිදි සිදුවෙමින් පැවති දෙය කුමක් වුවත් කළු ඇමරිකානුවන් හට පුවත්පතක් හරහා එවැනි විරෝධතා නිකුත් කිරීමට ශක්තියක් නොමැති බව ය. “ක්‍රයිසිස්” සහ “ද මැසෙන්ජර්” යන සඟරාවල පළ කර තිබෙන ලිපි සිනිඳු පුවත්පත් කලාවට අයත් බව ඔහු පැවසුවේ ය. “මම හිතන්නේ ජාතිවාදී නිලධාරීන්ටවත්, කළු ජාතිකයින්ටවත් මෙවැනි ගැඹුරු විරෝධයක් එල්ල කිරීමට හැකියාවක් නැති බව. මෙම ලිපිවල පළ වී ඇති අදහස් සහ තර්ක ඔවුන් විසින් ම නිර්මාණය කර ගැනීම අසීරු ය.”

කොමියුනිස්ට්වාදීන් හෝ වෙනත් දේශපාලන රැඩිකල්වාදීන් කළු ප්‍රකාශනවලට බලපෑම් කළ බවට හෝ කළු ඇමරිකානුවන් කැරැල්ලකට උසි ගැන්වූ බවට කිසිදු සාක්ෂියක් නොතිබුණි. එහෙත් සුදු හම ඇත්තන්‍ට කළු හමට විරුද්ධ ව නැඟී සිටීමට සාක්ෂි අවශ්‍ය නොවීය.  1917 දී එක්සත් ජනපදය යුද්ධයට අවතීර්ණ වූ විට, බොහෝ සුදු ඇමරිකානුවන් කළු ක්‍රියාකාරීන් සහ සොල්දාදුවන් සමාන අයිතිවාසිකම් භුක්ති වින්ද ද කළු හමට තිබූ විරෝධතාව සිත් තුළ සැගවී තිබිණි.

නීග්‍රෝවරුන් අතර ජර්මානු ගැතිවාදයක් පවතින බවට තිබුණු අදහස මිලිටරි බුද්ධි අංශ විසින් යුද්ධය මෙහෙයවන ලද ආකාරයත් සමඟ විනාශ වී ගිය බව එලිස් පවසයි.  “නිව් යෝර්ක් ටයිම්ස් වැනි පුවත්පත්වලට ජර්මානු ආක්‍රමණය සහ විවිධ උපක්‍රම පිළිබඳව කිසිදු තොරතුරක් ලබා දී තිබුණේ නෑ. මම හිතන්නේ බොහෝ දෙනෙක් සරලව ම විශ්වාස කළේ අදාළ කළු සුදු සටන ජර්මානුවන් විසින් සුදු ජාතිකයින් වෙත තිබූ කළු ඇමරිකානුවන්ගේ පක්ෂපාතිත්වය යටපත් කිරීමට ගත් උත්සාහයක් බව පමණයි.”

සුදු ජාතිකයින්, සුදු පාලකයින්ට ම එරෙහි වීමේ සිදුවීම් මෙම සිද්ධියටත් පෙර සිට ම අසන්නට ලැබී තිබේ. එහෙත් එම වරද පැටවුණේ ද කළු හමට ම ය. “අප්‍රිකානු ඇමරිකානුවන් තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට සමහර සුදු ජාතිකයින් ඇමරිකානු ඉතිහාසයේ සෑම විටම සැලකිලිමත් වූ බව මම සිතමි.”යි “1919 රතු ගිම්හානය සහ කළු ඇමරිකාවේ පිබිදීම” යන ග්‍රන්ථයේ කතුවරයා වූ කැමරන් මැක්විවර්ටර් පවසයි.

මෙම කුමන්ත්‍රණකාරී චින්තනය නීතිපති “පාමර්” සහ තරුණ “ජේ. එඩ්ගර් හුවර්” නම් දෙදෙනා රතු ගිම්හානයට ප්‍රතිචාර දැක්වූ ආකාරය කෙරෙහි බලපෑවේය.  1919 අගෝස්තු මාසයේදී 24 හැවිරිදි හූවර්, ඇමරිකානු විමර්ශන කාර්යාංශය තුළ (එෆ්.බී.අයි.) නව සාමාන්‍ය බුද්ධි අංශයේ එනම්, “රැඩිකල් අංශයේ” ප්‍රධානියා බවට පත්විය. රතු ගිම්හාන කෝලාහලවල දී ඇති වූ කොමියුනිස්ට් බලපෑම පිළිබඳ සෙවීමට ඔහු තම නියෝජිතයින්ට උපදෙස් දුන්නේය. කළු ක්‍රියාකාරික කණ්ඩායම් තුළට රිංගා ගැනීම සඳහා කළු නියෝජිතයෙකු කුලියට ගත් ඔහු, කළු හමෙහි බලපෑම පිළිබඳ මාධ්‍යයට අසත්‍ය කථා ප්‍රකාශ කළේය. මෙම බලපෑම පිළිබඳ සාක්ෂි සොයා ගැනීමට හූවර්ගේ නියෝජිතයින් නිරන්තරයෙන් අසමත් වුව ද, හූවර් දිගටම කුමන්ත්‍රණය ගෙන ගියේ ය. ඔහු වාර්ගික තත්ත්වය ප්‍රශ්න කරන කළු සඟරා සහ පුවත්පත් පිටුපස කොමියුනිස්ට්වාදීන් සහ අනෙකුත් දේශපාලන රැඩිකල්වාදීන් සිටින බවට සාක්ෂි ලෙස ඔහු “රැඩිකල්වාදය සහ දේශද්‍රෝහීන් ඔවුන්ගේ ප්‍රකාශනවල පිළිබිඹු වේ.” යනුවෙන් වාර්තාවක් සුදු පුවත්පත් භාවිතා කළ නීග්‍රෝවරුන් අතර ප්‍රසිද්ධ කළේය.

මෙම චින්තනය 1919න් පසුවත් පහව ගියේ නැත. දශක කිහිපයකට පසු සුදු නිලධාරීන් විසින් සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය තුළ රතු ගිම්හාන කොමියුනිස්ට් කුමන්ත්‍රණ න්‍යාය ප්‍රායෝගික තලයට ගෙන ඒමට උත්සාහ ගනු ලැබිණි. 1963 දී ඇලබාමාහි ආණ්ඩුකාරවරයා වූ “ජෝර්ජ් වොලස්” විසින් “නිව් යෝර්ක් ටයිම්ස්” පුවත්පතට පැවසුවේ “ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඇතුළු අප හට අවශ්‍ය වන්නේ අදාළ උද්ඝෝෂණ රැල්ල ආරම්භ කළ මාටින් ලූතර් කිං සහ ඔහුගේ කොමියුනිස්ට් ගැති කණ්ඩායමට මෙම රාජ්‍යය භාර දීමටයි.” යනුවෙනි. එහෙත් හූවර් හොර රහසේ කළු ජාතිකයින් මර්දනය කිරීමේ හා ඔවුනට හිරිහැර කිරීමේ අවසරයක් ලබා දුන්නේ ය. 

කෙසේ වුවත් කොමියුනිස්ට් හෝ ජර්මානු බලපෑම තිබුණත් නැතත් ඇමරිකානු ඉතිහාසය පුරා ම එම ජාතිකයින් අකැමැති පුද්ගලයින් හට නිරන්තරයෙන් පහර වැදීමේ ප්‍රවණතාවක් තිබිණි. එම පහර කෑමට අදාළ පුද්ගලයා වරදක් කර තිබීම හෝ නොතිබීම සුදු ජාතිකයින් හට වැදගත් වූයේ නැත.

ශ්‍රීනි ලංකා ජයකොඩි.