2022 අගෝස්තු 15

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රට වෙනුවෙන් නොවිඳිනා දුක් විඳි ස්පාර්ටාවේ කොල්ලෝ

2010 වසරේ ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ “ස්පාර්ටකස්” නම් වූ මාලා නාටකය ඇතැම් විට ඔබ නරඹන්නට ඇත. එසේ නොවුණත්, ක්‍රි.ව. 480 දී පමණ සිදු වූ “තර්මොපයිලී” සටන ඇතුළු බොහෝ ඓතිහාසික සටන්වල දී පුදුමාකාර අන්දමින් දක්ෂතා දැක් වූ ස්පාර්ටන්වරුන් පිළිබඳ ඔබ යන්තමින් හෝ අසා ඇති. එකල මෙන් ම මෙකල ඉතිහාඥයන් පවා ප්‍රකාශ කරනුයේ ස්පාර්ටන් සොල්දාදුවන් යනු ඕනෑ ම අභියෝගයකට නිර්භය අන්දමින් මුහුණ දීමට සමත්, වේදනාව හෝ බිය නොහඳුනන, කුඩා කණ්ඩායමකින් වුව ද බලාපොරොත්තු විය නොහැකි තරමේ ජයග්‍රහණයක් ලබා ගත හැකි අපූරු කොට්ඨාසයක් බව ය. මෙයට බොහෝ කලකට ඉහත දී ඔවුන් පර්සියාවට එරෙහි ව මරණය පෙනි පෙනී කළ සටන පිළිබඳ බොහෝ පොතපත මෙන් ම කාව්‍ය ද ලියවී තිබේ. 

ස්පාර්ටාවේ සොල්දාදුවන් මෙතරම් දක්ෂ වූයේ කෙසේ ද? ඊට හේතු වූයේ ඔවුන් ලද කටුක පුහුණුව යි. එම දේශයෙහි හමුදාව වෙනුවෙන් පිරිමි දරුවන් පුහුණු කිරීමට පටන් ගැනුණේ ඔවුන්ගේ උපතින් වසර කිහිපයක් ගත වූ දා සිට ම ය. අදාළ පුහුණුව දැඩි, අන්තගාමී මෙන් ම ඇතැම් විට අමානුෂික ද විය. එකල මව්වරුන් විශාල සිත් වේදනාවකින් යුතු ව තම කුඩා දරුවා යුධ පුහුණුව සඳහා පිටත් කර යවන ආකාරය පිළිබඳ සිතුවම් මෙන් ම වාර්තා බොහොමයක් ද සොයා ගැනීමට හැකි වී තිබේ. සොල්දාදුවන්ගේ ගුණධර්ම, ශක්තිය, විඳදරාගැනීම, සහයෝගිතාව ආදිය ඇති කිරීම මෙම ළමා පුහුණුවෙහි අරමුණ විය. එනමුත් එය ස්පාර්ටාවේ පිරිමි දරුවන්ගේ ළමා කාලය සම්පූර්ණයෙන් ම විනාශ කර දැම්මේ ය.  

පුරාණ ග්‍රීක ඉතිහාසඥයෙකු වන ප්ලූටාර්ක් පවසන පරිදි 400 දශකයේ දී ස්පාටාවේ වැඩිහිටියන් විසින් සිය සමාජය තුළ වෙසෙන මව්වරුන් හට බිහි වන පිරිමි දරුවන් කිසියම් ඇගයීමකට ලක් කරන ලදී. ඒ අනුව හොඳින් වැඩුණු ශක්තිමත් දරුවන් හට පමණක් ජීවත් වීමේ වාසනාව හිමි විය. සෞඛ්‍ය සම්පන්න නොවන හෝ විකෘතිතා සහිත දරුවන් ළදරු අවස්ථාවේ දී ම මරා දමන ලදී.

වයස අවුරුදු හතේ දී ස්පාර්ටන් පිරිමි ළමයි ඔවුන්ගේ දෙමව්පියන් විසින් ම යුධ කඳවුර වෙත ගෙනැවිත් භාර කෙරිණි. එහි දී ඔවුහු එකට ජීවත් වීමටත්, ඉගෙනීමටත් යුධ පුහුණුව ලැබීමටත් සමත් වූහ. ප්‍රථමයෙන් සියලු ළමයින් එක් රැස් කර ඔවුන් කණ්ඩායම්වලට බෙදන ලදී. ඉගෙනීමෙහි දක්ෂතා දැක්වූ සහ සටන් කිරීමට වඩාත් ධෛර්යය සම්පන්න වූ පිරිමි ළමයා කණ්ඩායමේ නායකයා බවට පත් කරන ලදී. සෙසු සියල්ලෝ ම ඔහු දෙස බලා, ඔහුගේ සටන් ක්‍රම අනුගමනය කරමින් ද ඔහුගේ අණට කීකරු වෙමින් ද විසිය යුතු වූහ. එපමණක් නොව සෙසු සාමාජිකයන් හට එම නායකයාගේ දඬුවම්වලට පවා යටත් වීමට සිදු විය. එබැවින් මෙම ක්‍රියාවලිය සැබවින් ම ඉදිරියට ගියේ සාමාජිකයන්ගේ විනය හා කීකරුකම මතිනි. 

ප්ලූටාර්ක්ට අනුව පුහුණුව සඳහා ගෙන එන ලද මෙම ස්පාර්ටන් පිරිමි ළමයින් සියලු දෙනා හට ම මඳ වශයෙන් හෝ පාසල් අධ්‍යාපනය ලබා දෙන ලදී. එහෙත් එක්සත් රාජධානියේ, නොටින්හැම් විශ්ව විද්‍යාලයේ, පුරාණ ඉතිහාසය සම්බන්ධ මහාචාර්යවරයකු වන “ස්ටීවන් හොඩ්කින්සන්” පවසන්නේ එම ළමයින් හට සුළු අධ්‍යාපනයක් නොව කියවීම, ලිවීම, ගණිතය, ගීත හා නැටුම් යනාදී සියලු අංශ ඇතුළත් සම්මත ග්‍රීක ප්‍රාථමික අධ්‍යාපනයක් ම ලබා දුන් බවට වෙනත් මූලාශ්‍රවලින් සාක්ෂි ලැබී ඇති බවයි.

තව තවත් රළු මිනිසුන් බවට පත් කරවා ගැනීම සඳහා ස්පාර්ටන් පිරිමි දරුවන් හට පාවහන් නොමැතිව ඇවිදීමට අණ ලැබුණු අතර ස්නානය කිරීමටත් ආලේපන වර්ග සිරුරේ ගැල්වීමටත් ඉඩ දෙනු ලැබුවේ ඉතා කලාතුරකිනි. එහෙයින් ඔවුන්ගේ සම වඩාත් දැඩි හා වියළි විය. සීතල විඳදරා ගැනීමට ඉගෙන ගත යුතු වූ හෙයින් වයස අවුරුදු හතේ දරුවාට පවා ලබා දෙන ලද්දේ එක් වස්ත්‍රයක් පමණි. ඔවුන් එය වසර පුරා ම භාවිත කළ යුතු විය. ගං ඉවුරුවල වැවුණු නොයෙක් වර්ගයේ පැළෑටි සිය දෑතින් ම පහුරු ගා ගලවා ගත් එම දරුවෝ, තමන් හට රාත්‍රියට නිදා ගැනීම සඳහා ඇඳන් ද තමන් විසින් ම සාදා ගත්හ.

ප්ලූටාර්ක් පවසන පරිදි, එලෙස පුහුණු කරන ලද දරුවන් තරුණ අවධිය දක්වා වර්ධනය වත් ම, තම තමන්ගේ ශරීර වඩාත් පුෂ්ටිමත් වීම සඳහා වැඩි වැඩියෙන් ව්‍යායාම කළ යුතු විය. ඩොනල්ඩ් ජී. කයිල් විසින් රචිත “ස්පෝර්ට් ඇන්ඩ් ස්පෙක්ටකල් ඉන් ද ඒන්ශන්ට් වර්ල්ඩ්” නම් ග්‍රන්ථයෙහි සඳහන් කර ඇති පරිදි, ස්පාර්ටාවේ තරුණයින් හැම විට ම තමන් පරීක්‍ෂා කරවනු ලැබීම සඳහා පෙනී සිටිය යුතු වූයේ නිරුවතිනි. එවිට හමුදා ප්‍රධානීන් වෙතින් ඔවුන් පිළිබඳ කිසියම් තක්සේරුවක් ලැබුණු අතර ප්‍රමාණවත් තරමට පෙනුමක් නොමැති වූ පිරිමි ළමයින් හට තළනු ලැබීය. එහෙයින් ස්පාර්ටන් තරුණයෝ ස්වභාවයෙන් ම සිය ශරීරය වඩවා ගැනීම සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දක්වන්නන් බවට පත් වූහ.

ස්පාර්ටන් පිරිමි ළමයින් හට වරින් වර කුරිරු තරඟාවලි සඳහා ද පෙනී සිටීමට සිදු විය. ඔවුන්ගේ තරඟවලට විශේෂයෙන් ම්ලේච්ඡ තරඟ කිහිපයක් ද ඇතුළත් වූ අතර, පිරිසක් දෙපිළකට බෙදී තම විරුද්ධවාදීන් තල්ලු කිරීම, පයින් ගැසීම, උල් ආයුධවලින් ඇණීම සහ පහර දීම මඟින් එකිනෙකා තරඟ පිටියෙන් එළවා දැමීමට උත්සාහ ගන්නා ලදී. ඔවුන්ගේ ජීවිතය වඩාත් රළු බවට පත් කිරීම අරමුණු කරගෙන ඔවුන් වෙත ලබා දෙන ලද්දේ ඉතා කුඩා ආහාර වේලකි. 400 දශකයේ අග භාගයේ ජීවත් වූ දාර්ශනිකයෙකු හා ඉතිහාසඥයෙකු වූ “සෙනෝෆොන්” සඳහන් කළේ එහි අරමුණ දරුවන් වඩා ස්ථූල නොවී තබා ගැනීම බව ය. එහෙත් සැබැ හේතුව ස්ථූලතාව හෝ දරුවන්ගේ සෞඛ්‍යය සම්බන්ධ අන් කිසිවක් නොවී ය. මෙලෙස ළමයින් කුසගින්නේ තැබීමේ මූලික අරමුණ වූයේ ඔවුන් සිය බඩගින්න නිවා ගැනීම සඳහා උද්‍යානවලින් සහ වෙනත් ස්ථානවලින් ආහාර සොරකම් කිරීමට පෙළඹවීම යි. විශ්වාස කිරීමට අසීරු වුවත් එම සොරකම් මඟින් ඔවුන්ගේ සටන් කිරීමේ හැකියාව මෙන් ම තීක්ෂණ බුද්ධිය ද වැඩෙන බව ස්පාර්ටන්වරුන් සිතූ බව පෙනේ. එබැවින් තමන් වඩාත් කපටි විය යුතු බව පෙන්වා දීම සඳහා සොරකම් කිරීමේ දී හසු වූ දරුවන් හට දැඩි දඬුවම් පමුණුවන ලදී. හැරත් දරුණු දඬුවම් ලබා දීම ස්පාර්ටන් පුහුණු ක්‍රමයේ කැපී පෙනෙන අංගයක් විය. හමුදා ප්‍රධානීහු එය වාර්ෂික චාරිත්‍රයක් බවට පත් කළ අතර, දරුවන් ලවා පන්සලක පූජාසනයකින් චීස් සොරකම් කරවා ගැනිණි. එහි දී ඔවුන් කසයෙන් සන්නද්ධ ව සිටි ආරක්ෂකයින් මඟ හැර සොරකමෙහි යෙදෙනු ඇතැයි අපේක්ෂා කෙරුණු අතර කස පහර දීම යනු ඔවුනට සිය ධෛර්යය මැන බැලීමේ පරීක්ෂණයක් ද විය. ළමෝ ද ඔවුන්ගේ ධෛර්යය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම සඳහා මඟ බලා සිටියහ. කෙටියෙන් කියතොත් තම තමන් සිය වැඩිහිටි ප්‍රධානීන් අතින් අපෝජනයට ලක් වෙමින් සිටින බවවත් එම දරුවන් හා තරුණයින් දැන සිටියේ නැත. කුඩා කල සිට ම මෙම ක්‍රියාවලිය ඇසුරේ වැඩුණු හෙයින් ඔවුන් සිතා සිටියේ ජීවිතය යනු මෙය බව ය.

සමඟිය, සහයෝගීතාව හා කණ්ඩායම් හැඟීම සමඟ ගොඩනැඟුණු ස්පාර්ටාවේ තරුණයින්ගේ ඒකායන බලාපොරොත්තුව වූයේ සිය රට වෙනුවෙන් ජීවිතය පූජාකිරීම යි. ඔවුන් ඉපදී තිබුණේ රට වෙනුවෙනි. ජීවත් වූයේ ද රට වෙනුවෙන් ම පමණි. එහෙයින් මිය යා යුතු වූයේ ද රටෙහි සුරක්ෂිතතාව තකා ය. කුඩා අවධියේ දී ම සිය මවුපියන්ගෙනුත් ගම්මානයෙනුත් වෙන් කර ගනු ලැබූ හෙයින් සිය පවුල, සහෝදර සහෝදරියන් හෝ අවම වශයෙන් උපන් ගම පිළිබඳවත් එම සොල්දාදුවන්ගේ සිත් තුළ කිසිදු හැඟීමක් තිබුණේ නැත. 

ස්පාටන්වරුන්ගේ සැබෑ රහස වූයේ ශාරීරික යෝග්‍යතාව හෝ දුක් වේදනා පිළිබඳ උදාසීනත්වය හෝ නොව උසස් සංවිධානය යි. පරිපූර්ණ ලෙස ම ඕනෑම උපක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට හැකි වන තෙක් ඉහළ නිළධාරීන් විසින් ස්පාර්ටන් භට පිරිස් නිර්දය ලෙස දඬුවමට භාජනය කළහ. “බොහෝ විට එම නිළධාරීහු උපායශීලී අන්දමින් සිය අණ පිළිපදින ආකාරය පිළිබඳ පුහුණුව යුධ පිටිය තුළ දී ම ස්පාටන් සොල්දාදුවන් හට ලබා දීමට වෙර දැරූහ.” යැයි ජේ. එෆ්. ලේසන්බි සිය “ස්පාටන් හමුදාව” යන ග්‍රන්ථයෙහි ලියා තිබේ. පුහුණුවේ රළු භාවය හේතුවෙන් ඔවුනට අන් අයට කළ නොහැකි බොහෝ දේ කළ හැකි විය.

ප්ලූටාර්ක් පවසන පරිදි, ස්පාටන්වරු වැඩිහිටියන් වූ පසුවත් සිය ජීවිත කාලය පුරාම නිතිපතා හමුදා පුහුණුවීම් සිදු කළහ. කිසිදු මිනිසෙකුට ඔහු කැමති පරිදි ජීවත් වීමට ඉඩ නොදෙන ලදී. ඔවුන් නගරය පාලනය කළේ ද හමුදා කඳවුරක් මෙනි. එහි දී ද හැම විට ම විනය පවත්වා ගත යුතු වූ අතර, එසේ නොවුණහොත් දැඩි දඬුවම් ලැබිණි. වයස අවුරුදු 60 වන තෙක් මෙම ක්‍රියාවලියෙහි නියැලීමට ස්පාර්ටානුවන්ට සිදු වූ අතර, අවසානයේ නිසි වයස සම්පූර්ණ වූ පසු හමුදාවෙන් විශ්‍රාම ගැනීමට අවසර ලැබුණි.

ස්පාර්ටාවේ තත්ත්වය මෙසේ ඒකාකාරී අන්දමින් ගමන් කෙරුණ ද, ලෝකය එයට වඩා බොහෝ ඉදිරියට ගියේ ය. එහෙත් දැඩි නීති  එකම රටාවකට පුරුදු වූ ස්පාර්ටන්වරුන් හට මෙම නව ලොවට හුරු වීම අතිශයින් දුෂ්කර විය. එබැවින් යුද්ධයේ මෙන් ම දේශපාලනයේත් නවෝත්පාදන පිළි ගැනීමට ඔවුනට කිසිදා හැකි වූයේ නැත. ඒ අරුතින් ගත් කළ ස්පාර්ටාවේ මිනිසුන් මෙතරම් දැඩි කිරීමට හේතු වූ පාලන තන්ත්‍රය ම ඔවුන්ගේ පරිහානියට ද හේතු විය. අවසානයේ ස්පාර්ටන්වරු විනාශ වී ගියේ ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි.