Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රටට දැයට සෙත් පතා අධ්‍යාපන අමාත්‍යාංශය බලි අරී

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පසුගියදා සිදු වූ බලි ඇරිල්ලක් පිළිබඳ කතිකාවක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා.

පසුගිය 09 වෙනිදා මෙම බලි ඇඹිල්ල සහ අදාළ ශාන්තිකර්මය සිදු කර ඇති අතර එය පසුදා අලුයම් භාගය වනතෙක්ම පවත්වා තිබෙන්නේ සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන්.

මෙම බලි ඇරිල්ල සංවිධානය කර තිබෙන්නේ දහම් පාසල් , පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා ද සම්බන්ධ වෙමින් වන අතර මෙහි කටයුතු සියල්ල සංවිධානය කර තිබෙන්නේ අමාත්‍යංශයේ පිරිවෙන් ශාඛාව විසින් වීම විශේෂත්වයක්.

බලි ඇරිලි සහ බලි ඇඹිලි බුද්ධ දර්ශනය සමග කිසි ලෙසකින් බද්ධව නොපවතින අතර අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මෙම කටයුත්තට භික්ෂූන් වහන්සේ සම්බන්ධ වීම විශේෂත්වයක්.

මෙයට සමගාමීව ආශීර්වාද සුවිසි වන්දනාව නමින් වැඩසටහනක් ද භික්ෂුන් වහන්සේ සහභාගී කරවාගෙන සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කටයුත්තද සමගින් අධ්‍යාපන අමාත්‍යංශයේ සේවක මහත්ම මහත්මීන් සහ නිලධාරීන් අතර විශාල කසු කුසුවක් නිර්මාණය වී ඇති අතර බෞද්ධ වත් පිළිවෙත් සමග බලි තොවිල් පටලවා ගැනීම සහ අධ්‍යාපන අමාත්‍යාංශය වැනි විද්‍යාව පදනම් කර ගත යුතු අමාත්‍යාංශයක් මෙවැනි කටයුත්තක් සංවිධානය කිරීම පිළිබඳ විරෝධාකල්පයක් ද නිර්මාණය වී තිබෙනවා.

නමුත් තවත් පිරිසක් සඳහන් කරන්නේ දේශීය දැනුම සහ ජනශ්‍රැතිය තුළ එන ජන ඇදහිලි සහ විශ්වාස පදනම් කරගෙන කටයුතු කිරීම කිසිදු වරදක් නොමැති කටයුත්තක් බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසන්නේ බලි ඇඹිලි සහ බුදු දහම එකට පටලවා සිදු කරන මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා බලාපොරොත්තු වන විශ්වීය ගති ලක්ෂණ බිඳ වැටී යන බවයි.

රට තුළ විද්‍යාව පහළ කිරීමේ වගකීම පැවරී ඇති අධ්‍යාපන අමාත්‍යාංශය මේ අයුරින් කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි ඔහු පවසන්නේ.