Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යහපාලන සමයේ වැටුණු සතොස නඩුවෙන් ඇමති ජොන්ස්ටන් ගැලවෙයි

2010 වසරේදී සතොස සේවකයින් වෙනත් සේවාවල යෙදවීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව කොළඹ මහාධිකරණය අද නිගමනය කර තිබෙනවා.

පසුගිය 2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදුකළේ යැයි යන්න ඔහුට එරෙහිව නගා තිබු චෝදනාවයි.

යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.

නඩුව ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් ගොනු කර තිබුණ ද එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර තිබූ අධිකරණය එම නඩුව විභාග කිරීම සඳහා තීන්දු කර තිබුණා.

එම නියෝගයට එරෙහිව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ මහාධිකරණය හමුවේ ද ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කිරීමට කටයුතු කළා.

ඒ අනුව එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අල්ලස් කොමිසම විසින් අමාත්‍යවරයාට එරෙහි ව අදාළ නඩුව ගොනුකර තිබෙන ආකාරය නීතියට පටහැනි බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම පිළිගන්නා බව සඳහන් කළ විනිසුරුවරයා ඒ පිළිබඳ වැඩිදුර කටයුතු කිරීම සඳහා මෙම නඩු තීන්දුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට යොමුකරන ලෙසත් නියෝග කර තිබෙනවා.