Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මොහොමඩ් බින් සල්මාන්.

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමාරයා වන්නේ මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුල්අසිස් අල් සවුද් ය. ඔහු කෙතරම් අධික ලෙස පුවත් මවන්නේ ද කියතොත් මේ වන විට මාධ්‍ය තුළ ඔහු හැඳින්වෙන්නේ “එම්.බී.එස්.” යනුවෙනි. 1985 අගෝස්තු මස 31 වන දින උපන් ඔහු, සිය පිය රජතුමාගේ තෙවන බිරියගේ වැඩිමහල් පුත්‍රයා ය. මේ වන විට බින් සල්මාන් කුමාරයා එරටෙහි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය යන ධූරයන් දරයි. එවකට ලොව සිටි ලාබාලතම ආරක්ෂක ඇමතිවරයා වූයේ ඔහු ය. තව ද පියා වන සල්මාන් රජතුමාගේ ඔටුන්නේ බලය රඳා පවත්වා ගැනීම සඳහා බින් සල්මාන් අතින් සිදු වන මෙහෙය අතිමහත් ය.

2017 ජුනි මාසයේ දී ඔටුන්න හිමි කුමාරයා ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරු ව ඔහු සෞදි අරාබිය තුළ ආන්දෝලනාත්මක ප්‍රතිසංස්කරණ රැසක් සිදු කළේය. ඉන් එකක් වනුයේ ආගමික පොලිස් බලතල සීමා කිරීම යි. අරාබිය ඇතුළු ඉස්ලාම් රටවල් ගණනාවක නීතිය බවට පත් වන්නේ ශරියා නීතිය යි. පොලිසිය ක්‍රියා කරන්නේ ද ඒ අනුව ය. එහෙත් බින් සල්මාන් ආරක්ෂක ඇමති බවට පත් වූ පසු එහි වෙනසක් ඇති කළේ, කුරාණයට මුවා වී කෙරෙන අකටයුතුකම් වළකා ගැනීමට ය. 

2019 දක්වා එරට වාහන පැදවීමේ අවස්ථාව හිමි වූයේ පුරුෂ පක්ෂයට පමණි. එහෙත් බින් සල්මාන් එම නීතිය ලිහිල් කළ අතර මේ වන විට කාන්තාවන්ට ද සාමාන්‍ය ආකාරයෙන් පරීක්ෂණයකට පෙනී සිටීමෙන් පසු වලංගු රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට හැකි වී තිබේ. එය වූ කලි එරට ඉස්ලාම් කාන්තාවන් ලද විශිෂ්ට ජයග්‍රහණයක් වන අතර ඔවුන්ගේ සහය බින් සල්මාන් හට අනිවාර්යයෙන් ලැබීමට එක් හේතුවක් බවට ද පත් වී ඇත.

ඔහු කාන්තාවන් කෙරෙහි දැක් වූ වඩාත් විශිෂ්ටතම අනුග්‍රහය වූයේ පුරුෂ භාරකාරත්වය පිළිබඳ රෙගුලාසි ලිහිල් කිරීම යි. 2019ට පෙර සෞදි අරාබියේ සියලු කාන්තාවන්ගේ අයිතිය පුරුෂයින් සතු විය (ඇගේ පියා, සහෝදරයෙකු හෝ ස්වාමිපුරුෂයා). ඒ අනුව රටින් පිට වීම, අධ්‍යාපනය ලබා ගැනීම, විවාහ වීම පමණක් නොව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම පවා කළ යුතු වූයේ අදාළ පිරිමියාගේ අනුදැනුම සහිතව පමණි. බොහෝ දුරට කාන්තාවන් නිවසින් එළියට බැස්සේ අවම වශයෙන් ඇගේ බාල සහෝදරයෙකු හෝ එසේත් නැතහොත් කුඩා පිරිමි දරුවෙකු වත් කැටුව ය. බින් සල්මාන් පසුගිය අගෝස්තු මාසයේ දී රජය විසින් නිකුත් කෙරෙන ලද වලංගු ගැසට් පත්‍රය වන “උම් අල්-කුරා” හරහා එම නීතිවල වෙනසක් සිදු කළේ ය. ඒ අනුව වයස අවුරුදු විසි එකට වැඩි කාන්තාවන් සියලු දෙනාට ඉහත කී ඕනෑම කටයුත්තක් ස්වකැමැත්තන් සිදු කර ගත හැකි ය. තව ද ඔවුනට අවශ්‍ය නම් දික්කසාද වීමේ අයිතිය ද ලැබී ඇති අතර, දරුවන් සිය භාරකාරත්වයට ගැනීමට ද හැකියාව ලැබී තිබේ. 

පෙර දී සෞදි අරාබියේ විසූ කිසිදු කාන්තාවකට ප්‍රසිද්ධියේ ගීත ගායනා කිරීමට අවසර තිබුණේ නැත. පවුලේ හමුවක දී කාන්තාවන් ඉදිරිපිට පමණක් සිය ගායන හැකියාව අත්හදා බැලීමට ඉඩ ලැබුණ ද, කිසිදු හේතුවක් මත ඔවුන්ට ප්‍රසිද්ධ වේදිකාවකට නැගීමට නොහැකි විය. බින් සල්මාන් මෙය වෙනස් කළේය. 2017 දී “හිබා තවාජි” නමැති ලෙබනන් ජාතික ගායිකාව ඒකල ගායනයකින් සම්බන්ධ වූ ප්‍රථම ප්‍රසංගය, රියාද් අගනුවර පිහිටි ෆාද් රජුගේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී දිග හැරිණි.

බින් සල්මාන් මෙතුවක් කාන්තාවන් හට තහනම් ව තිබූ ක්‍රීඩාගාර ඔවුන් උදෙසා විවෘත කළ අතර රට ගොඩ නැඟීම සඳහා වන ශ්‍රම බලකාය තුළට කාන්තා දායකත්වය ද වැඩි වැඩියෙන් ඇතුළු කර ගත්තේ ය.

සංචාරක කර්මාන්තය නඟා සිටුවීම සඳහා දැඩි උත්සාහයක් ගැනීමට ඔහුට අවශ්‍ය වී තිබිණි. සංචාරකයින් එරටට පැමිණීම අවම කිරීමට එක් හේතුවක් වශයෙන්, වීසා අවසරය ප්‍රමාද වීමේ ගැටලුව වඩාත් තදින් බලපාන බව බින් සල්මාන් වටහා ගත් බව පෙනේ. එබැවින් නවීන තාක්ෂණය ද උපයෝගී කර ගත් ඔහු අන්තර්ජාලය හරහා වීසා ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයක් හෙවත් “ඊ-වීසා” ක්‍රමයක් ස්ථාපිත කළේ ය.

බින් සල්මාන්ගේ “විශන් 2030” සංකල්පය ද ජනප්‍රිය එකකි. අරාබිකරයේ රටවලින් බොහොමයක් සිය දේශීය ආදායම වැඩි කර ගන්නේ සිය රටට මහඟු සම්පතක් බවට පත් වී ඇති ඛනිජ තෙල් ලොවට විකිණීමෙන් බව අප කවුරුන් දන්නා රහසකි. එහෙත් “විශන් 2030” සංකල්පය තුළ බින් සල්මාන් උත්සාහ කරනුයේ තෙල්වලින් වියුක්ත වූ ආදායම් මාර්ග කිහිපයක් සකස් කර ගැනීමටය. එරට භූගත තෙල් නිධි ශීඝ්‍රයෙන් අවසන් වෙමින් පැවතීමත්, තෙල් නිධි හේතුවෙන් බොහෝ රටවල අනවශ්‍ය අවධානයක් ඔවුන් වෙත හිමි ව තිබීමත් එයට හේතු වී තිබේ. විශේෂයෙන් ම තෙල් නිෂ්පාදනය වැඩි වුවහොත් එහි මිළ අඩු කිරීමට සිදුවන හෙයින්, අඛණ්ඩ ව තෙල් ඒකාධිකාරයක් පවත්වා ගැනීමට ඔවුනට නොහැකි වනු ඇත. සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ වැඩපිළිවෙළ සකස් වූයේ ඒ අනුව ය. 

තව ද අනුන් යටතේ වැඩ කරන සේවකයන් නොව තමා තමා⁣ගේ ස්වාමියා බවට පත් වන ආකාරයේ ව්‍යවසායකයින් වැඩි වශයෙන් බිහි කිරීමට ද මේ වන විට රජය සිය අවධානය යොමු කර තිබේ. එවැනි ව්‍යවසායකයින් ආයෝජනය කරන සියලු මුදල් විද්‍යාව හා තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිදු කෙරෙන නව හඳුන්වාදීම් සඳහා වැය කරමින්, විවිධාංගීකරණයට උපදෙස් ලැබී ඇත.

එතරම් සේවාවක් සිදු කළ ද බින් සල්මාන්ගේ ක්‍රියා පිළිවෙත ලොවට තර්ජනයක් බව ඔප්පු කිරීමට ජාත්‍යන්තර විචාරකයින් හා මානව හිමිකම් පිළිබඳ සංවිධාන උත්සාහ කරන බව පෙනේ. ඔවුන් එයට එක් හේතුවක් කොට ගන්නේ සල්මාන්ගේ අනුදැනුමින් යේමනයට බෝම්බ හෙළීමේ සිද්ධිය යි. එයි එයින් ඇති වූ යුද්ධයේ අතුරු ඵලයක් වශයෙන් මෙ වන විට මිලියන ගණනාවක් සාදුකින් පෙළෙන බව එම සංවිධාන පෙන්වා දෙයි. සල්මාන්ගේ ක්‍රියාවලියෙන් කටාර්හි රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය උත්සන්න වී ඇති බවටත්, ලෙබනන් හා සෞදි අරාබිය අතර ආරවුල් ආරම්භ වී ඇති ඇති බවටත්, එසේ ම කැනඩාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් ඇති වි ඇති බවටත් ඔවුහු චෝදනා කරති. 

ස්ත්‍රීන් වෙනුවෙන් කෙතරම් දේ කළ ද, ඔහු ස්ත්‍රීවාදීන්ට එරෙහි ව කළ මර්දනය අනුමත කළ නොහැකි අතර මාධ්‍යවේදී “ජමාල් කෂොග්ගි” ඝාතනය කිසිසේත් සමාව දිය නොහැකි වරදක් බව පැවසේ. ජමාල්ගේ සිද්ධිය පිළිබඳ විස්තර කරනා විට, “ද වොෂින්ටන් පෝස්ට්” පුවත්පතෙහි කර්තෘවරයෙකු වන ඔහු සාකච්ඡාවක් සඳහා සෞදි කොන්සල් කාර්යාලය වෙත රැගෙන ගිය බවට ඇසින් දුටු සාක්ෂි තිබේ. එලෙස ම යම් වේලාවකට පසු ජමාල්ගේ ඇඳුම්වලින් සැරසුණු පුද්ගලයෙකු එම කාර්යාලයෙන් පිටතට පැමිණි බවට වීඩියෝ දර්ශන පවා ඉදිරිපත් වී ඇත. එහෙත් සැබවින්ම සොයා බැලූ පසු ජමාල් කෂොග්ගි නැවත කෙදිනකවත් එම කාර්යාලයෙන් පිටතට පැමිණ නැත. ඔහු ඒ තුළ දී ම මරා දමා ඇති අතර, අවම වශයෙන් ඔහුගේ මළ සිරුරවත් සොයා ගැනීමට ඥාතීන් හට ඉඩ ලැබී නැත. මෙතරම් දේ සිදු වී ඇත ද, බින් සල්මාන් තමාට එරෙහි ව නැගී ඇති මිනී මැරීමේ චෝදනාව මුළුමනින් ම ප්‍රතික්ෂේප කරයි.

එලෙස ම ඔහුගේ ගතිගුණ පිළිබඳ අවධානය යොමු කරන විට පෙනී යන දෙයක් නම්, බින් සල්මාන් කිසිසේත් ම ප්‍රතිවාදීන් ඉවසනසුලු පුද්ගලයෙකු නොවන බව ය. විශේෂයෙන් ම ඔහු රාජකීය පවුලට එරෙහි ව කෙරෙන කිසිදු විරෝධතාවකට ඉඩ නොදෙන පුද්ගලයෙකු වන අතර, තමාට අවශ්‍ය දේ ම ක්‍රියාත්මක කරවන ආකාරයේ අත්තනෝමතික පාලකයෙකු බව ද දිස් වේ.

මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ මක්කම නගරය වසා දැමීමට ඔහු පියවර ගෙන තිබිණි. එලෙස ම පසුගිය මාර්තු පස් වන දින සම්පූර්ණ නගරය ම ජනතාවගෙන් හිස් කිරීමට අණ ලබා දෙන ලද අතර, පසු ව විෂබීජ නාශක යොදා නගරය පූර්ණ වශයෙන් පිරිසිඳු කිරීමට යෙදිණි. එබැවින් මක්කම නගරයේ ආරක්ෂා ව තහවුරු විය.

⁣මුළු ලොව ම කොරෝනාවෙන් බැට කන මේ මොහොතේ දී පවා සෞදි අරාබියේ බල අරගලය නැවතී නැත. මේ වන විට එරටෙහි රජ කිරුළ දිනා ගැනීම සඳහා රාජ විරෝධී කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතියි. ඊට සාර්ථක ව මුහුණ දෙමින් සිටින බින් සල්මාන්, රාජකීය පවුලේ තිදෙනෙකු පමණ සිරගත කර ඇති අතර කුමන්ත්‍රණය මැඩ පවත්වා ගැනීමට උත්සාහ ගනිමින් පවතින බව පෙනේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි.