Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මොකක්ද මේ ටයිග්‍රේ ගැටලුව?

මේ වන විට ටයි‌ග්‍රේ යනුවෙන් හඳුන්වන පිරිසක් හා ඉතියෝපියාව අතර නොනවතින අරගලයක් හට ගෙන තිබේ. සැබවින් ම මෙම තත්ත්වය කුමක් ද?

ටයිග්‍රේ ගැටුම යනු 2020 නොවැම්බරයේ ඉතියෝපියාවේ ටයිග්‍රේ කලාපය තුළ ආරම්භ වූ සන්නද්ධ ගැටුමකි. මෙම ගැටුම සිදු වනුයේ ප්‍රධාන වශයෙන් ටයිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ (ටී.පී.එල්.එෆ්.) සහ ඉතියෝපියානු ජාතික ආරක්ෂක බලකාය (ඊ.එන්.ඩී.එෆ්.) අතර ය. ඉතියෝපියානුවන් හට අෆාර් සහ අම්හාරා කලාපයේ විශේෂ බලකායන්වල සහයෝගය ද ලැබේ.

මූලික වශයෙන් ඉතියෝපියාවේ අගමැති වන අබී අහමඩ්, ඊ.එන්.ඩී.එෆ්.හි මාණ්ඩලික ප්‍රධානී බිර්හානු ජුලා, ආරක්ෂක ඇමති කෙනියා යදේටා, 2020 නොවැම්බර් මස මුලදී අම්හාරා කලාපයේ ප්‍රධාන පරිපාලකයා වූ තිරුනේ ටෙම්ස්ගන්, 2020 නොවැම්බර් අග වන විට අම්හාරා කලාපයේ ප්‍රධාන පරිපාලකයා වූ ඒග්නේහු ටේෂගර්, ඉතියෝපියානු රජය විසින් ටයිග්‍රේ කලාපයේ ප්‍රධාන පරිපාලක ලෙස පත් කරන ලද මුලු නෙගා, අෆාර් කලාපයේ ප්‍රධාන පරිපාලක, එරිත්‍රියාවේ ජනාධිපති, එරිත්‍රියානු ආරක්ෂක හමුදා ජෙනරාල් මෙන් ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද සම්බන්ධ වී සිටින අතර, විරුද්ධ පාර්ශවයෙන් ටයිග්‍රේ කලාපයේ සභාපති සහ ටී.පී.එල්.එෆ්.හි සභාපතිවරයා සම්බන්ධ වේ.

නිළ නිවේදනවලට අනුව මේ වන විට ගැටුම හේතුවෙන් ඉතියෝපියානු රජයට අයත් මිග් -23 ගුවන්යානාවක් විනාශයට පත් වී ඇති අතර, ටයිග්‍රේවරුන්ගෙන් 550 දෙනෙකු මිය ගොස් තිබේ. ඒ හැරුණු කොට අවම වශයෙන් සිවිල් වැසියන් 650ක් පමණ මිය ගොස් තිබේ. එහෙත් වාර්තාකරුවන් පවසන්නේ අද වන විට මෙම ගැටුමෙන් අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් මිය යන්නට ඇති බව යි.

පසුගිය වසරේ දී ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබී අහමඩ්, ඉතියෝපියානු මහජන විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනවාර්ගික හා කලාපීය පක්ෂ ඒකාබද්ධ කළේ ය. පෙර දී එරට දේශපාලනය, ජනවාර්ගික ෆෙඩරල්වාදය හා තනි ජනවාර්ගික කණ්ඩායම්වලට කලාපීය බලපෑමක් ලබා දෙන බලය බෙදා ගැනීමේ ක්‍රමයක් ලෙස පැවතිණි. අබේ විසින් රටේ දේශපාලනය වෙනස් කිරීමට ගත් උත්සාහයෙන් ගැටුම ඇති විය. වසර 30ක් ඉතියෝපියාව පාලනය කළ අබීගේ පක්ෂය රට පුරා විහිදුණු සමෘද්ධිමත් පක්ෂයක් බවට පත් විය.

මුළු ජනගහණයෙන් 6%ක් ජනවාර්ගික වශයෙන් නියෝජනය කරන ඉතියෝපියාව තුළ මිලිටරි හා දේශපාලනික වශයෙන් බලගතු පක්ෂයක් වන ටයිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ, නව පක්ෂයට බැඳීම ප්‍රතික්ෂේප කළේ ය. ඔවුහු අබී අහමඩ් අවජාතක පාලකයෙකු බවට චෝදනා කළහ. මන්දයත් 2020 අගෝස්තු 29 වන දින පැවැත්වීමට නියමිත ව තිබූ එරට මහ මැතිවරණය COVID-19 වසංගතය පැතිර යාම හේතුවෙන් 2021 දී තීරණය නොකළ දිනයක් දක්වා කල් දැමූ හෙයිනි.

සභාපති ඩෙබ්‍රෙෂන් ජෙබ්‍රෙමිකයිල්ගේ නායකත්වයෙන් යුත් ටී.පී.එල්.එෆ් පක්ෂය 2020 සැප්තැම්බර් මාසයේ දී ටයිග්‍රේහි ප්‍රාදේශීය මැතිවරණයක් පැවැත්වූහ. ඒ ෆෙඩරල් රජයට පටහැනිව ය. එහෙයින් ෆෙඩරල් රජය විසින් ටයිග්‍රේහි මැතිවරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කළේය.

නොවැම්බර් 4 වන දින ඉතියෝපියාවේ ජාතික ආරක්ෂක බළකායේ උතුරු අණදෙන මූලස්ථානයට ටයිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ විසින් එල්ල කරන ලදැයි කියන ප්‍රහාරයක් හේතුවෙන් තත්ත්වය ප්‍රචණ්ඩ විය. අසල්වැසි අම්හාරා කලාපයට සහ එරිත්‍රියාවට ද රොකට් ප්‍රහාර එල්ල වී තිබිණි.

ෆෙඩරල් හමුදා නොවැම්බර් 28 වන දින ටයිග්‍රේ අගනුවර වන මෙකෙල් අල්ලා ගත් බව ප්‍රකාශ කළ අතර අගමැති අබී විසින් සහතික කෙරුණේ ටයිග්‍රේ මෙහෙයුම ‘අවසන්’ බව ය. එනමුත් ටී.පී.එල්.එෆ්. පැවසූයේ ඔවුන් දිගට ම සටන් කරන බව යි. අග්‍රාමාත්‍ය අබීගේ පිරිස විසින් මෙකෙල් ජයග්‍රහණය කළ පසු ටී.පී.එල්.එෆ්. සංවිධානයේ නායකයින් ඉතියෝපියානු හමුදාවෙන් සැඟ වී කඳුකරයට පලා ගියහ.

පසුබිම.

1991 දී ඉතියෝපියානු සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු, ජනවාර්ගික පදනම මත පිහිටුවා ගත් පක්ෂවල සන්ධානයක් වන ඉතියෝපියාවේ මහජන විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (ඊ.පී.ආර්.ඩී.එෆ්.) පාලනය යටතේ ඉතියෝපියානු රාජ්‍යය තනි රාජ්‍යයක් බවට පත් විය. 2012 දී මිය යන තුරු ම එහි අගමැතිවරයා වූයේ ටී.පී.එල්.එෆ්.හි සභාපති වූ මෙලෙස් සෙනාවි ය. 

2019 දී අබේගේ සමෘද්ධිමත් පක්ෂයට ඒකාබද්ධ වීම ප්‍රතික්ෂේප කරන තෙක් ටී.පී.එල්.එෆ්. ඉතියෝපියානු පාලක සන්ධානයේ කොටසක් විය. ටයිග්‍රේ රාජ්‍යයේ මිලිටරි මැදිහත්වීමට මාස කිහිපයකට පෙර රජය සහ ටී.පී.එල්.එෆ්. පක්ෂය අතර විවාද උත්සන්න වූ බව පෙනේ. ඔරොමෝ – අම්හාරා සම්භවයක් ඇති අග්‍රාමාත්‍ය අබී අහමඩ්, ටයිග්‍රේ ප්‍රාදේශීය ආණ්ඩුවේ සිටින ටී.පී.එල් එෆ්. පක්ෂ සාමාජිකයින් තම අධිකාරයට හානි කරන බවට චෝදනා කළේය. එසේ ම ඔවුහු 2020 සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ පාර්ලිමේන්තු මැතිවරණය ද ප්‍රතික්ෂේප කළහ. මන්දයත් ෆෙඩරල් රජය සහ මැතිවරණ මණ්ඩලය විසින් ඉතියෝපියාවේ සියලු මැතිවරණ COVID-19 වසංගතය අවසන් වන තෙක් ප්‍රමාද කරනු ලැබූ බැවිනි. ටයිග්‍රේවරුන් මැතිවරණය පැවැත් වීමත් ටයිග්‍රේ රාජ්‍යය කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වන අබී අහමඩ් සහ එරිත්‍රියානු ජනාධිපති ඉසියාස් අෆ්වර්කි අතර සබඳතා උණුසුම් වීමත් ගැටලුවලට හේතු වූ බව සැලකේ.

ටී.පී.එල්.එෆ්. විසින් මිලිටරි කඳවුරකට ප්‍රහාරය එල්ල කිරීමට දිනකට පෙර ඉතියෝපියාවේ ෆෙඩරල් පාර්ලිමේන්තුව විසින් එම පක්ෂය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට යෝජනා කර තිබුණි. ඒ අතර අහමඩ් විසින් පත් කරන ලද ජෙනරාල්වරයකු විසින් ටයිග්‍රේ රජය තුළ හමුදාපති ධුරය දැරීමට උත්සාහ කළ ද ටයිග්‍රේවරුන් විසින් එය වළක්වනු ලැබ තිබිණි.

ව්‍යවස්ථාමය සන්දර්භය.

ඉතියෝපියාවේ, 1995 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 39.1 වන වගන්තියේ සඳහන් වන්නේ, “ඉතියෝපියාවේ වෙසෙන සෑම ජාතියකට, ජාතිකත්වයකට සහ ජනතාවකට ම වෙන්වීමේ අයිතිය ද ඇතුළු ස්වයං නිර්ණය සඳහා කොන්දේසි විරහිත අයිතියක් ඇත.” යනුවෙනි.

එහි ම 62.9 වන වගන්තිය මඟින් කියවෙන්නේ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කිසියම් රාජ්‍යයක් ව්‍යවස්ථාමය නියෝගයට අනතුරක් කරන්නේ නම්, ෆෙඩරල් රජය ඊට මැදිහත් විය යුතු ය.” යනුවෙනි.

2020 සැප්තැම්බර් අග දී ටී.පී.එල්.එෆ් ප්‍රකාශ කළේ, ෆෙඩරල් රජයේත්, මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත්, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලයේත් ව්‍යවස්ථාමය කාල සීමාව 2020 ඔක්තෝබර් 5න් අවසන් වන බව යි. “ඔක්තෝබර් 5 න් පසු රජය ව්‍යවස්ථානුකූලව අවජාතකයි.” ඔවුහු පැවසූහ. එහෙයින් ඔවුන් විසින් පළ කරන ලද සැලැස්මේ විස්තර කර ඇති පරිදි වසංගතය හේතුවෙන් මැතිවරණය පැවැත්විය නොහැකි නම්, පවතින රජය වෙනුවට භාරකාර රජයක් ආදේශ කිරීමට ඔවුහු යෝජනා කළහ.

ගැටුම.

අබීගේ රජය ටයිග්‍රේ පක්ෂයේ යෝජනා පිළි ගත්තේ නැත. ටී.පී.එල්.එෆ්.ලාගේ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර වශයෙන් 2020 නොවැම්බර්හි දී ඉතියෝපියානුවන් විසින් ප්‍රහාරයක් දියත් කරන ලද අතර ඒ හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට සහ කලාපයේ රජයේ සේවාවන් වසා දැමීමට සිදු විය. ඊළඟ දින කිහිපයේ දී, ගැටුම් දිගට ම පැවති අතර ඉතියෝපියානු පාර්ලිමේන්තුව ටයිග්‍රේ සඳහා අතුරු රජයක් පිහිටුවන බව ප්‍රකාශ කළේය. උතුරු ප්‍රදේශය පුරා ඉතියෝපියානු ගුවන් ප්‍රහාර දියත් කෙරුණු අතර එමඟින් නගර කිහිපයක් නැවත ලබා ගන්නා ලදී. නොවැම්බර් 9 සිට 10 දක්වා රාත්‍රියේ දී අම්හාරාන්ස් සහ වෙල්කයිට් ප්‍රදේශවල ජීවත් වූ සිවිල් වැසියන් 600ක් පමණ මයි කද්රා නගරයේ දී සමූල ඝාතණය කෙරුණේ මන්නා සහ පිහිවලින් ඇනීමෙනි. මේ බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හා ඉතියෝපියානු මානව හිමිකම් කොමිසම හරහා සිදු කෙරුණු මූලික පරීක්ෂණවලින් ද හෙළි වී තිබේ. 2020 නොවැම්බර් 14 වන දින ටයිග්‍රේ හමුදා එරිත්‍රියානු අගනුවර වන අස්මාරා වෙත රොකට් ප්‍රහාර එල්ල කළ අතර අනෙක් රටවල් ද ගැටුමට ඇද දැමීමේ අදහසින් මිසයිල යැවූ බව කියවේ. නොවැම්බර් 18 වන විට ඉතියෝපියාවේ අගමැති කියා සිටියේ ඔවුන් ෂයර් සහ ඇක්සම් නගර අල්ලා ගත් බවයි. නොවැම්බර් 23 වන දින රජය විසින් පැය 72ක කාලයක් ලබා දෙමින් කැරළිකරුවන් හට යටත් වීම සඳහා අවසන් නිවේදනයක් නිකුත් කළේය. නොවැම්බර් 26 වන දින, එම කාලය අවසන් වූ විට, අබී විසින් ෆෙඩරල් හමුදාවන්ට නියෝග කළේ මෙකෙල් වෙත ප්‍රහාරයක් එල්ල කරන ලෙස යි. නොවැම්බර් 28 වන දින ඉතියෝපියානු රජය “සිය නීතිය බලාත්මක කිරීමේ මෙහෙයුමේ අවසාන අදියර” අවසන් කරමින් නගරය පාලනය කර ගත් බව නිවේදනය කළේය. ටී.පී.එල්.එෆ්. මෙකෙල් වෙතින් ඉවත් විය.

මේ වන විට ගැටුමෙන් දහස් ගණනක් මිය ගොස් ඇති බවට විශ්වාස කෙරෙන අතර 44,000ක් පමණ සුඩානයට පලා ගොස් ඇත. දකුණු සුඩානය ටී.පී.එල්.එෆ්හි සභාපතිට රැකවරණය ලබා දී ඇති බව හෙළි විය. එහෙයින් නොවැම්බර් 29 වන දින දකුණු සුඩානයේ ඉතියෝපියානු තානාපති හදිසියේ ම ඉතියෝපියාවට ආපසු ගෙන්වා ගනු ලැබූ අතර ඉතියෝපියාවේ දකුණු සුඩාන තානාපතිවරුන්ට ද රට හැර යාමට පැය 72ක කාලයක් ලබා දී තිබිණි.

ප්‍රතික්‍රියා.

ජාතික.

ඔගඩන් ජාතික විමුක්ති පෙරමුණ (ඕ.එන්.එල්.එෆ්.) විසින් ඉතියෝපියාවේ සෝමාලිවරුන්, ටයිග්‍රේට එරෙහි යුද්ධයේ ආධාරකරුවන් ලෙස නිරූපනය කිරීමට ජනාධිපති මුස්තාෆ් ගත් තීරණය හෙළා දුටුවේය.

2020 නොවැම්බර් 12 වන දින ටී.පී.එල්.එෆ් සභාපති ඩෙබ්‍රෙෂන් ජෙබ්‍රෙමිචයෙල් තමන් යටත් වූ බවට වූ චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ “අපි තවමත් රැඳී සිටිමු. මේ අයට අප පරාජය කළ නොහැක.” යනුවෙනි.

නොවැම්බර් 27 වන දින, බීබීසීයේ ස්ටීවන් සකූර් විසින් තම රට දැන් “සිවිල් යුද්ධයකට ගිලී තිබේද?” යන ප්‍රශ්නය නැඟූ විට එය පැහැදිලි කළ ඉතියෝපියාවේ නීතිපති, ගෙඩියන් තිමෝතිවෝස්, ප්‍රතිචාර දැක්වූයේ මෙසේ ය. “උතුරු අණදෙන නිලධාරියාට පහර දීමෙන් ටයිග්‍රේවරුන්ට අත්පත් කර ගැනීමට අවශ්‍ය ව තිබූ බර අවි අත් කර ගැනීමට අගමැතිවරයා ඔවුන්ට ඉඩ දුන්නේ නම්, අප එවැනි තත්වයකට වැටෙන්නට ඉඩ තිබුණි. නමුත් අප මේ මොහොතේ ගෙන ඇති පියවර හේතුවෙන් එම හැකියාව වළක්වා ගත හැකිය.”

ජාත්‍යන්තර.

ටී.පී.එල්.එෆ්.ට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඉතියෝපියාවේ හමුදාවන්ට ගුවන් ආධාර සැපයීම සඳහා එරිත්‍රියාවේ ස්ථානගත කර ඇති ඩ්‍රෝන යානා යොදවා ඇත.

පූර්ණ පරිමාණ ගැටුමක් ඇති වුවහොත් විශාල මානුෂීය අර්බුදයක් මතුවීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇඟවීය.

අප්‍රිකානු සංගමය (ඒ.යූ.) ඉල්ලා සිටියේ සතුරුකම් නතර කර සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙසයි.

කැනේඩියානු විදේශ ඇමති ප්‍රංශුවා – පිලිප් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ ගැටුම්වල දී කිසියම් සංයමයක් පෙන්වන ලෙස යි.

ජිබුටියානු ජනාධිපති ඉස්මායිල් ඕමාර් අබී වෙත සහයෝගය පළ කරමින් කියා සිටියේ, “ෆෙඩරල් මට්ටමින් නීතිය හා සාමය යථා තත්වයට පත් කිරීමටත්, රට බිඳ දැමීමට උත්සාහ කරන අයට දඬුවම් කිරීමටත් අබී තෝරාගෙන ඇත. ටී.පී.එල්.එෆ්. මධ්‍යම ආණ්ඩුව දණින් නැවීමට දැන් කාලය එළඹ ඇති අතර එම සාකච්ඡා ඉතියෝපියාවේ බෙදීමකට තුඩු දිය හැකිය. මන්දයත්, වෙනත් කලාපීය කණ්ඩායම්වලට තමන්ගේම බෙදුම්වාදී ප්‍රකාශයන් එළි දැක්වීමට හැකි පූර්වාදර්ශයක් ඔවුන් විසින් සපයනු ලැබීමට ඉඩ ඇති බැවිනි.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩොමිනික් රාබ් තමා අබී සමඟ කතා කළ බවත්, ටයිග්‍රේ ගැටුම කරගෙන යන ලෙස ඉල්ලා සිටි බවත් ප්‍රකාශ කළේය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ගැටුම නිමා කර සාමය යථා තත්ත්වයට පත් කිරීමට වහා ම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි අතර සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. එක්සත් ජනපද ජනාධිපති වශයෙන් තේරී පත් වූ ජෝ බයිඩෙන්ගේ විදේශ ප්‍රතිපත්ති උපදේශක ඇන්ටනි බ්ලින්කන්, ඉතියෝපියාවේ මානුෂීය අර්බුදය, ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය සහ ප්‍රදේශයේ සාමයට හා ආරක්ෂාවට ඇති තර්ජන පිළිබඳව දැඩි කණස්සල්ල පළ කළේය.

ලොව පුරා මානුෂීය සංවිධාන සහ ප්‍රජාව ටයිග්‍රේ වැසියන්ගෙන් සටන් විරාමයක් ඉල්ලා සිටිති.

යුරෝපා කොමිසම කියා සිටියේ අවතැන් වූ ඉතියෝපියානු සරණාගතයින්ට සුඩානයට පලා යාම සඳහා ආධාර කිරීම සඳහා මූලික වශයෙන් ඩොලර් මිලියන 4ක හදිසි ආධාර ලබා දෙන බවයි.

ඉතියෝපියාවේ ටයිග්‍රේ කලාපීය ගැටුමේ සටන් කරන පාර්ශ්වයන්ගෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචෙලෙට් ඉල්ලා සිටියේ සියලු  පූර්වාරක්ෂාවන් ගෙන, සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස තම හමුදාවන්ට පැහැදිලි උපදෙස් ලබා දෙන ලෙසයි.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (යූ.එන්.එච්.සී.ආර්.) පිලිපෝ ග්‍රැන්ඩි, උම් රාක්බා කඳවුරට ගිය අවස්ථාවේ දී කියා සිටියේ සුඩාන දේශ සීමාවට පලා යන ඉතියෝපියානු සරණාගතයින් අතිරික්තයන් හමුවීම සඳහා සුඩානයට ඩොලර් මිලියන 150ක ආධාරයක් අවශ්‍ය බවයි.

ඉතියෝපියාවෙන් පිටත, ටයිග්‍රේ ඩයස්පෝරාවේ ජනතාව මෙන් ම එරිත්‍රියානු සම්භවයක් ඇති ජනතාව ද ගැටුමට විරෝධය දැක්වීම පිණිස පාරට බැස තිබේ. එනමුත් ගැටුම නිම වන බවක් තවමත් පෙනෙන්නට නැත.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author