Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැඟවීලා

“මේ ගුරු පාරේ මේ දොළ අයිනේ අපේ රහස් ඇත සැඟවීලා……..අපේ රහස් ඇත ලියවීලා…..”

සුනිල් ආරියරත්න ලියූ පණ්ඬින් අමරදේවයන්ගේ සුගායනීය හඬ මුසුවෙන් අපට ඇසෙන හෘද ස්ඵන්දනය මදකට නතර කරවන්නට සමත් ගීයක රසභාව විඳින්නට කෙරෙන ආරාධනාවයි.

ප්‍රේමයේ සුන්දරත්වය රැඳී ඇත්තේ සැඟවීම තුළයි. රහස තුළයි. රහස සැබෑ ලෙසම රහසක් වන්නේ එය එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් දැනගත් විටය. ගීතයට අනුව මේ ප්‍රේම කතාව දන්නේ දෙදෙනෙක් පමණි. නමුත් ඒක පාර්ශ්වීය ප්‍රේම කතා වල රහස දන්නේ එක් අයෙක් පමණි. කෙසේ නමුත් සඟවන ලද ප්‍රේමය සුන්දරය. පැරණි ගීතයක් වන මේ සොඳුරු ගීතය ගැමි පරිසරයක් තුළ ජන්මය ලැබූ ගැමි පරිසරයක උපමා රූපක වල පහස විඳි සොබාදහම සමඟ සමීප ඇසුරක් පිළිඹිබු වන ගීයකි. පෙම් යුවළගේ රහස් දන්නේ ගුරු පාරයි. ඒ ගුරු පාර දිගේ ඔවුන් ජීවිතය සැලසුම් කරන්නට ඇත. දෙතඟින් දොඩමළු වන්නට ඇත. හැඟීම් බෙදා ගන්නට ඇත. දුක සතුට එකිනෙකා වෙත පවරාගන්නට ඇත. හදවත් ස්පර්ශ කරන්නට ඇත. හදවත් වල සියුම් තත් පිරිමදින්නට ඇත. ප්‍රේමය රස විඳින්නට ඇත. ප්‍රේමය දරාගන්නෙට ඇත. ඒත් ඒ අතීතය දන්නේ මේ ගුරු පාරයි. මේ දොළ අයිනේ අපි ජීවිතය බොදා ගත් අයුරු දන්නේ විටෙක නිසලව ගලා ගිය විටෙක ගල් පර වල හැපි හැපී ගලා ගිය දොළ පහරයි. ඒ රහස් සොබා දහම හැර වෙන කිසිවෙක් දන්නේ නැත.

” පටු මාවත් වල දූවිලි අතරේ අපගේ ඉපැරණි පිය සටහන් ඇත……………

ගුරු පාර පටුය. තාර දමා නැත සුදු වැලි ඇතිරූ ගුරු පාරක ස්වභාවය ග්‍රාමීය පරිසරයට නැවුම් නැත.එබඳු ගුරු පාරක ගමන් කළ අය ගුරු පාරේ සොඳුරු බව දනී. මේ කතා නායකයා ස්මරණය කරනුයේ තම ඉපැරණි ප්‍රේමයයි. පැරණි යන්නට ” ඉ ” උපසර්ගය එක් වූ කළ ඉතා පැරණි යන අදහස ගම්‍ය වේ. එසේ නම් මේ කතානායකයා සක්මන් කරනුයේ ඉපැරණි ප්‍රේම මතකයන් තුළය. ප්‍රේමය පැරණි වන තරමට එය සොඳුරුය. බිඳී විසිරුණු විරහව තුළ සැඟවුණු ඉපැරණි මතක වල සජීවී මතකයන් ස්පර්ශ කරනා කළ එය සොඳුරු ය. අද කාලයක් ගත වෙලා. ඔබත් මාත් එක්ව සක්මන් කළ මේ ගුරු පාරේ අපේ පා සලකුණු ඇති. ඒ පිය සටහන් සනිටුහන් වන්නේ මේ ගුරු පාරේ දූවිලි අතරේය. දූවිලි සංකේථාර්තයකි. දූවිලි වල වටිනාකම අඩුය. මේ ප්‍රේම කතාවටද අයුෂ තිබී නැති වන්නට ඇත. ප්‍රේමය අතරමැද කැඩී බිඳී විසිර ගොස් තිබිය හැක. නමුත් කතා නායකයා සිය මතක අතරේ සැරි සරයි.

” දොළ මත දිදුලන පෙන පිඬු අතරේ අපේ කතාවේ කෙටි පටුනක් ඇත”

දොළ මත සුදු පෙණ පිඬු අතරේ අපේ ආදර කතාවේ කෙටි පටුන ලියවී ඇත. පොතක පටුන කියවූ කළ යම් කෘතියක අන්තර්ගතය පිළිබඳ දළ අවබෝධයක් අපට ඇති වේ. අපූරු පද වියමන තුළ ආදර කතාවේ දිග පළල අපට පෙනේ. පටුන කෙටිය. පටුන කෙටි වූ පමණින් අන්තර්ගතය කෙටි වේද? කෙටි පටුනක් තුළ දිගු කතාවක් වුවද තිබිය හැක. කෙසේ නමුත් ඒ කතාවේ රහස දන්නේ මේ දිදුලන පෙණ කැටිය.

” ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා අතිනත ගෙන අප දෙඩූ කතා බහ “

මා ඔබේ සියුමැලි අත පිරිමදිමින් ඔබට මිමිණූ රහස් අසා සිටියේ කවුරුන්ද? ඒ ඉර හඳ පමණි. අපේ ආදර කතාව දුටුවේ කවුරුන්ද? ඒ මේ ගලා යන දොළ පහරයි. මේ අජීවී සොබා දහම පමණයි.

“එනමුඳු එදවස් සඟවණු හැකි වේ ඉරට හඳට ඇළ දොළට කතා බැහැ.”

කතානායකයාට කිසිදු ගැටලුවක් නැත. රහස් දන්නේ ඈත් ඔහුත් සොබාදහමත් පමණි. ඇළට , දොළට, ඉරට, හඳට කතා කරන්නට බැරිය. එහෙයින් ඈත් ඔහුත් පමණක් දන්නා ඒ අතීතය සදාකාලික රහස් ය. බියක් ඇති කරගත යුතු නැත. කතානායකයා අවසානයේ හිත හදාාගන්නේ එසේය.සොබා දහමේ උපමා, රූපක, සංකේත විනාඩි තුනකට කෙටිකර අපූරු පද වියමනක සඟවා අපට තිළිණ කරන්නට සුනිල් සර් වෙර දරා ඇත. ගැමි පරිසරයක් තුළ ආරදරයේ මිහිර, ආදරයේ රසය , ආදරයේ රහස, ආදරයේ වියෝව ගීතය තුළ අන්තර්ගතය . එහෙත් ප්‍රේමයට ගැමි හෝ නාගරික ලෙස බෙදීම් නැත. ඇළ දොළ නොමැති වුවද යම් යම් තැන් වල අපි හැමෝගෙම ආදර ස්මාරක පිහිටා ඇත. එවැනි තැන් පසු කර යන විට මදකට හෘද ස්ඵන්දනය නවතිනු ඇත.ගීතය හෘද ස්ඵන්දනය නතර කරන්නට සමත් වන බව මා මුලදී කීවේ ඒ නිසාය ජීවිතයේ සමහර මතක අමතක කළ හැකි නමුත් ප්‍රේමනීය මතක සදාකාලිකය. ඒවා අමතක කර දමන්නට උත්සාහ කළද අමතක නොවේ. කෙටි පටුනක් ඇති කෙටි නමුත් හිතට දැනෙනා ප්‍රේම කතා මෙන්ම කෙටි පටුනක් ඇති දිගු ප්‍රේම කතා තුළද, ජයගත් ප්‍රේම කතා තුළ මෙන්ම අත් හැරුණු ප්‍රේම කතා තුළද දැවටුණු ප්‍රේමණීය මතක සදාකාලිකය. ඒවා වඩාත් රසවත් වන්නේ රහස් වූ විටය. ප්‍රේමයේ රහස් හදවත නම් සේප්පුවේ දමා ආරක්ෂා කිරීම වඩා වටින්නේ ය. වඩා රසවත් වන්නේය. 

© ජයනි ඉෂාන්ති

About The Author