Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මෙක්සිකානු වසංගතය.

2009 පෙබරවාරි 10 වන දින මෙක්සිකෝ නගරයේ “ට්ලැටෙලොකෝ”හි නටබුන් වූ පිරමීඩයක තිබී ඇටසැකිල්ලක් සොයා ගන්නා ලදී. පුරාවිද්‍යාඥයින් විසින් මෙක්සිකෝ නගරයේ හදවත බඳු නගරය තුළ තිබී පිළිවෙළින් මිනිස් ඇටසැකිලි දුසිම් හතරක් සහිත සමූහ මිනීවළක් ද සොයාගෙන ඇත. කලක් ඇස්ටෙක් ප්‍රභූ පැලැන්තියේ ප්‍රධාන ආගමික හා දේශපාලන මධ්‍යස්ථානයක් වූ “ට්ලැටෙලොකෝ” ප්‍රදේශයේ මාළිගා සංකීර්ණයක් පිළිබඳ විමර්ශකයින් විසින් සොයා බලමින් සිටියදී මළ සිරුරු 49 ක්, ඔවුන්ගේ පපුව හරහා දෑත් බැඳගෙන සිටිනු සොයා ගන්නා ලදී. වසංගත යනු අලුත් දෙයක් නොවේ. සමහර බෝවන රෝග මිනිස් ඉතිහාසයේ ගමන් මඟ ද බෙහෙවින් වෙනස් කර ඇත.

මෙයට වසර පන්සියයකට පමණ පෙර, 1519 පෙබරවාරියේ දී ස්පාඤ්ඤ ජාතික “හර්නන් කෝර්ටේස්” කියුබාවෙන් පිටත් වී මෙක්සිකානු ඇස්ටෙක් ශිෂ්ටාචාරය ගවේෂණය කිරීම හා යටත් විජිතකරණය කිරීම සඳහා යාත්‍රා කළේය. වසර දෙකක් ඇතුළත ඇස්ටෙක් පාලකයා මියගොස්, ට්ලැටෙලොකෝ අගනුවර අල්ලා ගනු ලැබූ අතර කෝර්ටේස් ඇස්ටෙක් අධිරාජ්‍යය ස්පාඤ්ඤයට ඈඳා ගැනීමට උත්සාහ කළේ ය. ස්පාඤ්ඤවරුන් ආයුධ සහ උපක්‍රම තුළින් මෙම ක්‍රියාවලිය සිදු කර ගැනීමට උත්සාහ කළ නමුත් බොහෝ විනාශයන් සිදු වූයේ යුරෝපයේ පැතිර ගිය වසංගත රෝගය නිසාය. කියුබානු ප්‍රදේශය යටත් කර ගැනීමෙන් පසුව, ප්‍රධාන මෙක්සිකෝ භූමිය ගවේෂණය කිරීම සඳහා කෝර්ටේස් යවන ලදී. තම කුඩා යාත්‍රාව වෙරළට ගොඩබස්වන අතර ම එහි නවත්වා තිබූ මෙක්සිකෝ නැව් විනාශ කර දැමීමට ඔහු නියෝග කළේය.

කෝර්ටේස් මිනිසුන් 500 දෙනෙකු සමඟ මෙක්සිකානු රට තුළට ම ගියේය. මෙම කලාපය ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ වාසස්ථානය වූ අතර මේ වන විට මිලියන 16 ක ජනතාවකගේ අධිරාජ්‍යයක් විය. යටත් විජිත හා කප්පම් ක්‍රමයක් හරහා ඇස්ටෙක්වරු “ටෙක්කෝකෝ” විලෙහි මහා දූපත් නගරයක් වන “ට්ලැටෙලොකෝ” ස්ථාපිත කළ අතර එය වර්ග සැතපුම් 80,000 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර තිබිණි. අගනුවර සහ එහි පාලකයා කෙරෙහි ඇති වූ අමනාපය පිළිබඳ සොයාගත් කෝර්ටේස් බොහෝ ප්‍රදේශවාසීන් සමඟ සන්ධාන ගත විය. ඔහු තවත් කුඩා බලඇණියක් සමඟ ට්ලැටෙලොකෝ වෙත ගමන් කළ අතර එහි දී මොන්ටෙසුමා අධිරාජ්‍යයා ඔවුන් ගෞරවයෙන් පිළිගත්තේය. එහෙත් කුමන්ත්‍රණකාරී කෝර්ටේස් විසින් උපායශීලී ලෙස මොන්ටෙසුමා අල්වා ගෙන සිරගත කළේ ය.

වසර දෙකක් ගත වූ නමුත් අවසානයේ ඔහු 1521 අගෝස්තු මාසයේ දී ඔහු ඇස්ටෙක් අගනුවර යටත් කර ගැනීමට සමත් විය. මෙම සටනේ ඔහුගේ සගයා වූයේ ඔහු සහ ඔහුගේ මිනිසුන් නොදැනුවත්ව ම ඔවුන් සමඟ ගෙන ආ යුරෝපීය විෂබීජය ය.

කෝර්ටෙස් දක්ෂ නායකයෙකු වුවද, ඔහුට සහ ඔහුගේ හමුදාවට දහසක් ස්පාඤ්ඤ ජාතිකයන් සහ ආදිවාසී සගයන් උදව් නොමැති ව මිනිසුන් 200,000ක් ජීවත් වූ නගරයක් ජය ගැනීමට නොහැකි විය. ඔහු සමඟ රැගෙන ආ වසූරිය රෝගය වසංගතයක ස්වරූපයෙන් පැතිර ගිය අතර එය ක්‍රමයෙන් මෙක්සිකෝ වෙරළ තීරයෙන් අභ්‍යන්තරයට ව්‍යාප්ත විය. 1520 දී ජනාකීර්ණ නගරයක් වූ “ට්ලැටෙලොකෝ” නගරය සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට වසංගතය සමත් වූ අතර එක් වසරක් තුළ එහි ජනගහණය සියයට 40කින් පහළ ගියේ ය. 

වසූරිය ආශ්වාසයෙන් බෝ වන වෛරසයක් වූ නිසා උණ, වමනය සහ කැසීම ඇති වූ අතර ඉක්මනින් ශරීරය තරලයෙන් පුරවන බිබිළිවලින් ආවරණය විය. මේවා කැළැල් ඇති වන තුවාල කබල් බවට හැරිණි. රෝගීන්ගෙන් තුනෙන් එකකට පමණ එය මාරාන්තික වූ අතර, රෝගයෙන් පීඩා විඳින අයගෙන් තවත් තුනෙන් එකක් අන්ධභාවයට පත් විය.

වසූරිය පුරාණ කාලයේ ඊජිප්තු, ඉන්දියානු හා චීන සංස්කෘතීන් තුළ ද පැවති බවට සාක්ෂි තිබේ. 11 වන සියවසේ කුරුස යුද්ධයේ දී යුරෝපයට පැමිණි එම වසංගතය, සහස්‍ර ගණනාවක් පුරා මිනිස් ජනගහණය තුළ ආවේණික ලක්ෂණයක් විය. යුරෝපීයයන් ලෝකයේ වෙනත් ප්‍රදේශ ගවේෂණය කිරීමට හා ජනපදකරණය කිරීමට පටන් ගත් විට වසූරිය ඔවුන් සමඟ ගමන් කළේය. ඇස්ටෙක්වරු ඇතුළු ඇමරිකාවේ ස්වදේශික ජනතාව වසූරිය රෝගයට ගොදුරු වූයේ ඔවුන් කිසි විටෙකත් මෙවැනි වෛරසයකට නිරාවරණය නොවූ හෙයින් වෛරසයට විරුද්ධ ව ස්වාභාවික ප්‍රතිශක්තියක් නොමැති වූ බැවිනි. එබැවින් ඊට ඵලදායී ප්‍රති -වෛරසයක් සොයා ගැනීමට පවා අසීරු විය.

“වසංගතය දින 70 ක් පුරා පැවතුණි. එය නගරයේ සෑම තැනකම පහර දුන් හෙයින් අපගේ ජනතාවගෙන් විශාල සංඛ්‍යාවක් මරුමුවට පත් විය. අපගේ මුහුණු, පියයුරු හා උදරය මත තුවාල ඇති විය. හිස සිට පාදය දක්වා වේදනාකාරී තුවාල වලින් අප වැසී තිබුණි.” යනුවෙන් රෝගයට ගොදුරු වූවෝ පැවසූහ. කෝර්ටස් සමඟ පැමිණි ෆ්‍රැන්සිස්කානු පූජකයෙක් එය මෙසේ විස්තර කරයි. “කිසිවෙකුත් මෙම රෝගයට පිළියම් නොදැන සිටි හෙයින්, රෝගීහු ඇඳ ඇතිරිලි මෙන් එක ගොඩේ මිය ගියහ. බොහෝ තැන්වල නිවසේ සිටි සියල්ලන්ම මිය ගිය අතර, මියගිය විශාල පිරිස භූමදාන කිරීමට නොහැකි වූ නිසා, ඔවුහු වළකට ඇද දමනු ලැබූහ. රෝගීන්ගේ ගෙවල් ම ඔවුන්ගේ සොහොන් බවට පත් වනු පිණිස මළ සිරුරුවලට ඉහළින් නැවත නිවෙස් ගොඩ නැඟිණි.”

වසූරිය ඇස්ටෙක්වරුන්ට විවිධාකාරයෙන් පහර දුන්නේය. පළමුවෙන්ම, එහි ගොදුරු වූවන්ගෙන් බොහෝ දෙනෙක්, විශේෂයෙන් ළදරුවෝ සහ කුඩා දරුවෝ මිය ගියහ. බොහෝ වැඩිහිටියන් රෝගී වූයේ සිය නිවෙස්වල සිටි ලෙඩුන්ට සාත්තු කිරීමට යාමෙනි. අවසාන වශයෙන්, මිනිසුන්ට තවදුරටත් තම භෝග වවා ගත නොහැකි විය. එය පුළුල් සාගතයකට තුඩු දෙමින්, වසංගතයෙන් දිවි ගලවා ගත් අයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවදුරටත් දුර්වල කළේ ය.

ඇත්ත වශයෙන්ම, වසූරියෙන් පීඩා විඳි එකම ආදිවාසීන් ඇස්ටෙක්වරු නොවේ.  උතුරු ඇමරිකාවේ ස්වදේශික ඇමරිකානු ජනගහණයට අමතරව, මායා සහ ඉන්කා ශිෂ්ටාචාර ද වසූරිය මගින් අතුගා දැමිණි.  සරම්ප සහ මැම්පස් වැනි අනෙකුත් යුරෝපීය රෝග ද සැලකිය යුතු ලෙස අන්දමින් ලෝකය විනාශ කළේ ය.

පසු කාලයේ දී මෙම වසංගතය ජෛව විද්‍යාත්මක යුද්ධ සඳහා අවියක් බවට පත් විය. 18 වන ශතවර්ෂයේ දී බ්‍රිතාන්‍යයෝ වසූරිය රෝගකාරකය ස්වදේශික ඇමරිකානු ජනගහණය වෙත ආසාදනය කිරීමට උත්සාහ කළහ. එක් අණ දෙන නිලධාරියෙක් ඒ පිළිබඳ මෙසේ ලියා තිබේ. “වසූරිය රෝහලෙන් අපි ඔවුන්ට බ්ලැන්කට් දෙකක් සහ අත් ලේන්සුවක් දුන්නා. එය අපේක්ෂිත ප්‍රතිඵල ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.” දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍ය, ඇමරිකානු, ජපන් හා සෝවියට් කණ්ඩායම් සියල්ලම වසූරිය යොදාගෙන ජීව විද්‍යාත්මක අවියක් නිපදවීමේ හැකියාව පිළිබඳව සොයා බැලූ බවට සාක්ෂි තිබේ.

ඇස්ටෙක් අධිරාජ්‍යය සමඟ කෝර්ටස්ගේ ගැටුම ඇතුළුව ලෝක ඉතිහාසයේ බොහෝ මහා හමුවීම් ආයුධ, උපක්‍රම සහ උපාය මාර්ග සමඟ පවත් වන ලද සම්බන්ධතාව පිළිබඳ සැලකූ විට පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා ක්ෂුද්‍ර ජීවීන්ට යුද්ධයේ බලවත්ම යන්ත්‍රෝපකරණ පවා අකාර්යක්ෂම කළ හැකි වීම පුදුම සහගත ය.

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author