2022 අගෝස්තු 17

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මුහුදින් ආ ශිතාද රෝගය.

දැනට වසර ගණනාවකට පෙර එනම්, 1536 දී පමණ “ස්ටැඩකෝනා” (වර්තමාන “ක්විබෙක්” නගරය) අසල අයිස්වල සිර වී සිටි ජැක් කාටියර් නම් පුද්ගලයෙකුගේ නැව කරකියා ගත හැකි දෙයක් නොමැති ව එක තැන නතර විය. නැවුම් ආහාර කිසිවක් නොමැති ව තාවකාලික බලකොටුවක් වන් නැවක් තුළ සිර වී සිටි කාර්ය මණ්ඩලය ඉතා දරුණු රෝගයකින් පෙළෙන බව ටික දිනකින් ම දක්නට ලැබිණි. ඔවුන්ගේ මුඛය ගඳ ගැසීය, වීදුරුමස් දිරාපත් විය, සියලු දත් වැටී ගිය අතර දත්වල මුල් පවා කුණු විය. 

හදිසියේ වැළඳුණු මෙම රෝගය කුමක්දැයි කිසිවෙකුටත් සිතා ගත නොහැකි විය. එහෙත් නැව්පති වූ කාටියර්ගේ සිත තුළ විටමින් ඌණතාවක් පිළිබඳ සැකයක් පහළ විය. මෙයට පෙර 1534 වසරේ දී ස්ටැඩකෝනා වෙත ගිය ඔහුගේ පළමු ගමන අතරතුර දී කාටියර් විසින් එරට ජීවත් වූ “ඩොම් අගයා” සහ “ටයිග්නොග්නි” නමැති තරුණයන් දෙදෙනා පැහැරගෙන විත් තමන් සමඟ ප්‍රංශයට ගෙන ගොස් තිබිණි. මේ වන විට ඒ දෙදෙනා නැවත සිය රට පැමිණීමට සමත් ව සිටිය ද ආක්‍රමණිකයෙකු මෙන් ම මංකොල්ලකාරයෙකු ද වූ කාටියර් හා ඔහුගේ සහචරයින් පිරිස සිය රට තුළට නැවත වැද්ද නොගැනීමට ඔවුනට ඕනෑ තරම් හේතු තිබිණි. එහෙත් තමාට කළ අඩත්තේට්ටම් නොතැකූ “ඩොම් අගයා” කාටියර් හට “ඇනෙඩා” නම් ගසකින් ලබා ගත් කොටස්වලින් කසායක් සාදා ගන්නා ආකාරය පෙන්වා දුන්නේ ය. ප්‍රංශ ජාතිකයන් මුලින් කල්පනා කළේ එය තම කාර්ය මණ්ඩලයෙන් පළි ගැනීම සඳහා තමන් විෂ යොදා මැරීමට ස්වදේශිකයින් විසින් කළ කුමන්ත්‍රණයක් දැයි කියාය. එහෙත් ඖෂධය අතිශය ඉක්මන් වූ අතර පසුදින වන විට කාර්ය මණ්ඩලය සුවය ලබා තිබිණි. ශිතාද නම් වූ රෝගය සඳහා සිදු කළ ප්‍රතිකර්මයක් වශයෙන් සඳහන් වී තිබෙන ප්‍රථම ඖෂධය මෙය යි.

මෙම කතාවේ දී පැවසෙන “ඇනෙඩා” නම් ගසෙහි සැබෑ අනන්‍යතාවය කුමක්ද යන්න නිශ්චිත නැත. නමුත් එයින් කියවෙන්නේ ලොව නැගෙනහිර ප්‍රදේශවල වැඩෙන සුදු කිහිරි ගස යැයි සැකෙවින් නිගමනය කළ හැකි වේ. අදාළ ගස කුමක් වුවත්, එහි ඇතුළත් වූ පෝෂණ ගුණයේ ප්‍රබලතාව හේතුවෙන් නැවියන් හට සම්පූර්ණ සුවය ලැබුණි. එහෙත් මෙම රෝගය වසර 200කට වැඩි කාලයක් තිස්සේ විශේෂයෙන් නාවිකයින්ගේ ජීවිත බොහෝ ගණනක් බිලි ගෙන තිබේ.

වර්තමාන යුගය වන විට අදාළ සුදු කිහිරි ගස පමණක් නොව තවත් බොහෝ ශාක වර්ග ද ශිතාද රෝගය පාලනය කිරීම සඳහා ඖෂධ වශයෙන් භාවිත කෙරේ. එයිනුත් වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ විටමින් සී බහුල වශයෙන් අඩංගු වන බිලිං, සියඹලා, කරඹ හෙවත් ජැම්සන්, කාමරංකා ආදිය ය. ශිතාද රෝගය ම නොවුවත් දත්වල පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා බිලිං ගෙඩියක් දත්වල තබා ගැනීම, ගෙඩි දෙකක් හෝ තුනක් හොඳින් සැපීම ආදී අත්බෙහෙත් පුරාණ කාලයේ සිටි ම යොදා ගැනිණි. හොඳින් ඉදුණු කාමරංකා ගෙඩි ලුණු සවල්පයක් ඉස ආහාරයට ගැනීමෙන් පමණක් නොව එහි යුෂ ගෙන පානයක් ලෙස සකස් කොට ගෙන බීමට ගැනීමෙන් ද සිරුරේ සියලු විෂ නැසෙන අතර, විටමින් සී සංඝටක හොඳින් සිරුර තුළට අවශෝෂණය වේ. මන්දයත් මෙම රෝගය වැළඳීමට හේතුව වන්නේ විටමින් සී හෙවත් “ඇස්කෝර්බික් අම්ලය” අඩු වීම ය. පැඟිරි සහිත ගෙඩි යොදා ගනිමින් මෙම අමුතු රෝගය සාර්ථකව මැඬලිය හැකි බවට ඔප්පු කිරීමේ ගෞරවය 1753 වර්ෂයේ දී රාජකීය නාවික හමුදාවේ ස්කොට්ලන්ත ශල්‍ය වෛද්‍යවරයා වූ “ජේම්ස් ලින්ඩ්” හට හිමි වේ. කෙසේ වෙතත්, “ගිල්බට් බ්ලේන්” වැනි සෞඛ්‍ය ප්‍රතිසංස්කරණවාදීන් රාජකීය නාවික හමුදාවට ලෙමන් යුෂ පුරුදු කිරීම එතරම් සුදුසු යැයි සැලකුවේ නැත. එහෙයින් අදාළ ප්‍රතිකර්මය එතරම් කලක් බල පැවැත්වූණේ ද නැත.

ශිතාද හෙවත් “ස්කර්වි” රෝගය වැඩි වශයෙන් දක්නට ලැබෙනුයේ දිගු දුර මුහුදු ගමන්වල යෙදෙන පුද්ගලයින් අතර ය. රුවල් නැව් මඟින් යාත්‍රා කළ සමයේ දී සාමාන්‍යයෙන් නැවට නගිනා පුද්ගලයින්ගෙන් 50%ක් ගමන අවසන් වන විට මිය යනු ඇති බවට උපකල්පනය කෙරිණි. ඊට හේතුව ද ශිතාද රෝගය ම විය. පෞරාණික ඊජිප්තු නගරවලින් ද ශිතාද රෝගීන් සිටි බවට සාක්ෂි ලැබී තිබේ. වර්තමානයේ දී එය සාමාන්‍ය සමාජය තුළ ද දක්නට ඇත. සරණාගතයින් අතර මෙය සියයට 45ක පමණ ප්‍රතිශතයකින් දක්නට ලැබේ.

කුඩා දරුවන්ට මෙම රෝගය වැළඳුණු විට ආහාර අරුචිය, බර අඩු වීම, වහා කිපෙනසුලු බව, සුදුමැලි වීම ආදිය දක්නට ලැබෙන අතර වැඩිහිටියන්ට නම් තෙහෙට්ටුව , හුස්ම ගැනීමේ අපහසුතාව, අලස බව, දත් බුරුල් වීම, ඇඟපත රුදාව ආදිය ඇති වනු දැකිය හැකි ය. එහෙත් ඒ මූලික රෝග ලක්ෂණ පමණි. නිවැරදි අන්දමින් ප්‍රතිකාර නොකළහොත් සිරුරේ රතු රුධිරාණු සෛල ටිකෙන් ටික අඩු වන අතර හිසකෙස්වල වර්ණය හා ස්වභාවය ද වෙනස් වීමට පටන් ගනී. තත්ත්වය වඩාත් දරුණු අතට හැරීමේ දී සිරුරේ තැනින් තැනින් ලේ ගැලීමට ඉඩ ඇති අතර, රෝගියාගේ හැසිරීම ද වෙනස් වනු ඇත. තව ද සුව නොවන තුවාල ඇති වීම හා ශරීරය නොයෙකුත් ආකාරයෙන් ආසාදනය වීම යනාදී ලක්ෂණ ද දැකිය හැකි වේ. ශිතාද රෝගය ඇති වීමට හේතු වන්නේ දිගු කලක් තිස්සේ පීඩා විඳීමට සිදු වන මානසික ආබාධ, අසාමාන්‍ය හා අහිතකර ආහාර පුරුදු, මත්පැන්, දුම්වැටි හා මත්ද්‍රව්‍ය, බඩවැල්වල අක්‍රමිකතා, ඩයලයිසිස් ආදිය යි. පෙනී යන අන්දමට මෙම රෝගය පිළිබඳ ජනතාව තුළ එතරම් ගැඹුරු දැනීමක් නොමැති  වනුයේ එය සමාජය තුළ බහුල ව දක්නට නොලැබෙන රෝගයක් නිසා ය. එහෙත් ඉක්මනින් රෝගය විනිශ්චය කොට ප්‍රතිකාර නොකළේ නම් ශිතාද හෙවත් “ස්කර්වි” රෝගයෙන් යමෙකු මරණයට පත් වීමට පවා ඉඩ තිබේ.

ශ්‍රීනි ලංකා ජයකොඩි.