Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මුව ආවරණ බැහැර කරන්නේ බලාගෙනයි..

කොවිඩ් 19 නිරෝධායන සඳහා හුදෙකලා කළ කලාපවල, නිවාසවල හා පුද්ගලයින් විසින් භාවිතා කරන මුව වැසුම් ආදි අපද්‍රව්‍ය බැහැර කිරීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් මාර්ගෝපදේශ මාලාවක්

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රජය විසින් එම ආසාදිතයින් නිරෝධායනය සඳහා හුදෙකලා කරන ලද ප්‍රදේශවල මෙන්ම ස්වයං නිරෝධායනය කෙරෙන නිවෙස් වල ආසාදිතයින් බැහැර කරන මුව වැසුම් හා අත්වැසුම් යනාදී අපද්‍රව්‍ය දැඩි ලෙස පරිසර හානිකර බව පෙනී ගොස් ඇත.

මේ නිසා එවැනි අපද්‍රව්‍ය විදිමත් පරිදි බැහැර කිරීම සඳහා වැඩ පිළිවෙළක් සකසන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දෙන ලදී.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඊයේ (10) දින සිට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ.

එම මාර්ගොපදේශණ මාලාව යටතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල වෙසෙන ජනතාව, නිරෝධායනය සඳහා යොමු කර ඇති නිවාසවල, හා එම වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා පොදුවේ මහජනතාව විසින් කොවිඩ් 19න් ආරක්ෂා විම සඳහා භාවිතා කරන මුවවැසුම් හා අත්වැසුම් යනාදිය බැහැර කිරීමේ දි පරිසරයට මෙන්ම මහජන සෞඛ්‍යයට හානි නොවන අයුරින් ඒවා බැහැර කිරීමේ දී අනුගමනය කළ යුතු ආකාරය පිලිබඳව මෙම මාර්ගොපදේශවල අන්තර්ගතය.

විශේෂයෙන් හුදෙකලා කරනු ලැබු ප්‍රදේශවල සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වෙනත් වාහන හා සේවකයින් යොදවන ලෙස පළාත්පාලන ආයතනවලට මෙමගින් උපදෙස් දී තිබේ. එමෙන්ම කොවිඩ් ආසාදිතයින් විසින් භාවිතා කරන මුවවැසුම් හා අත්වැසුම් යනාදිය කහපැහැති බෑගයකට දමා වෙන් කළ යුතුය.

කහපැහැති බෑග්වල අසුරා ඇති අපද්‍රව්‍ය කිසිසේත්ම ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොදා නොගත යුතු යුතු අතර ඒවා විදිමත් පරිදි විනාශ කිරීමට පියවර ගත යුතුය.

එමෙන්ම කොවිඩ් 19 ආරක්ෂා කිරීම සඳහා පොදුවේ මහජනතාව විසින් භාවිතා කරන මුවවැසුම් හා අත්වැසුම් යනාදිය බැහැර කිරීමට පෙර හොඳින් සෝදා වියළා ගත යුතු අතර බැහැර කළ යුත්තේ ඉන් අනතුරුව බව ද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. සමරසිංහ මහතා පැවැසීය.

ඒ මහතා ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවක දී මෙම අදහස් පළ කළ අතර මෙම මාර්ගෝපදේශණ මාලාව සියලුම පළාත් පාලන ආයතන වෙත ලබා දී ඇතැයි ද පැවසීය.

දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ඉන් මහජනතාව ආරක්ෂා කර ගැනීමේ දි විශේෂයෙන් මෙම සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ දී දැනට පවතින අපරීක්ෂාකාරි බව හේතුවෙන් එසේ බැහැර කරන මුවවැසුම් හා අත්වැසුම් නිසා නැවතත් කොවිඩ් 19 වෛරසය පරිසරයට එක්වීමට බෙහෙවින් ඉඩකඩ පවතින බව ද පෙනී ගොස් තිබේ.