Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මිනීමැරුමක වරදකරුවෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා කතානායක වරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අද දිවුරුම් දෙන ලදී.

බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තුවට තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා බන්ධාගාරයේ වෑන් රථයකින් පාර්ලිමේන්තුව වෙත රැගෙන එන ලදී.

මිනීමැරුම් චෝදනාවකට වැරදිකරුව මරණ දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට විරෝධය පළකිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කලුපටි පැළඳ අද දින පාර්ලිමේන්තුවට පැමිණ තිබුණි.

මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙසත් දන්වමින් අභියාචනාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබීම ඊට් හේතුවයි.

ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවේ ඊයේ දිනයේදීය.

තීරණය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා තේරී පත්වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බවය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු සියලු හිමිකම් ඒ ආකාරයෙන්ම භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඒ අනුව ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නීතිමය බාධාවක් පවතින බව පෙනී යන්නේ නැති බව ද සඳහන් කර සිටියේය.

ඔහු ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීමට තීරණය කර ඇති අභියාචනාධිකරණය එහි වගඋත්තරකරුවන් වන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් යන පාර්ශ්ව වෙත නොතීසි නිකුත් කර තිබේ.