Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මිනිස්සුන්ගේ මරණ උඩ ලියවෙන තුප්පහි නාටක – සාරාර්ථ රාජපක්ෂ

පසුගිය පොහෝ දිනයේ මහර බන්ධනාගාරය තුළ සිදු වූ  අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන්   රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වන අදහස් වල ඇති පරස් පරය අපට තව දුරටත් මෙම සිද්ධිය සාමාන්‍ය සිද්ධියකට ලඝු කිරීමට තිබු අවකාශයට බාධා මතු කල අතර මේ පිලිබඳ තව දුරටත් විශ්ලේෂනාත්මකව කරුණු සොයා බැලීමට අප උනන්දු කිරීමට සමත්වුණා.

බන්ධනාගාරය තුළ ඇතිවූ සිදුවීමෙන්  මේ වන විට මියගිය රැඳවියන්  ගණන 11 ක් වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව  117 කි . තවත් පිරිසක් සිටින්නේ ජීවිතයත් මරණයත් අතර සටනකය.

පහළින් දක්වා ඇත්තේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පරස්පර අදහස් වලින් කිහිපයක්..

බන්ධනාගාර විෂයභාර අමාත්‍ය  සුදර්ශනී  ප්‍රනාන්දුපුල්ලේට අනුව –

බන්ධනාගාර ගැටුම  රජය නොදන්නා  කිසියම් අදිසි හස්තයක මෙහෙයවීම මත සිදු වූ කුමන්ත්‍රණයකි.

විමල් වීරවංශ අමාත්‍යවරයාට අනුව – 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා   ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කිරීම සඳහා  සිදුවූ   ජාත්‍යන්තර කුමන්ත්‍රණය ප්‍රතිඵලයකි.වැලිකඩ සිද්ධිය මෙන්ම  මහර  සිද්ධිය පිටුපස ද  ගෝඨාභය රාජපක්ෂ මහතා  අපකීර්ති පත් කිරීමේ  ජාත්‍යන්තර කුමන්ත්‍රණ දෙකක් ක්‍රියාත්මක වී ඇත. බුද්ධි අංශ විසින්   මේ පිළිබඳ කරුණු දැන සිට තිබේ. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු විසින්  බන්ධනාගාර රැඳවියන්ට ලබාදුන් “රිවස්” නම්  මත් පෙති පාවිච්චි කිරීමෙන් පසු  ලේ දැකීමට ඇති වූ ආශාව නිසා  ඇති කරගත් ගැටුමකි.

 උදය ගම්මන්පිල අමාත්‍යවරයාට අනුව – 

ආණ්ඩුව මේ පිළිබඳව කිසිවක් දන්නේ නැත.  වූයේ  කුමක්දැයි සොයා බැලිය යුතුය. තවමත් යන්න දේ සිදුවෙමින් පවතින නිසා මේ සම්බන්ධයෙන්   යම් නිශ්චිත හේතුවක් ඉදිරිපත් කළ නොහැක.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන්ට අනුව –

මෙම ගැටුම  කොරෝනා  ව්‍යාප්තිය හේතුවෙන් රැඳවියන් අතර සිදු වූ  නොසන්සුන්තාවයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ ගැටුමකි. කෙසේ වෙතත්  රැඳවියන් බන්ධනාගාර රෝහලට කඩාපැන එහි ඇති ඖෂධ පානය කිරීම හේතුවෙන්  ඇතිවූ මත් ගතිය  ගැටුම් උත්සන්න වීමට බලපා තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට අනුව –

බන්ධනාගාරය තුළ සිදු වූ කළමණාකරන සහ පරිපාලන දෝෂයක  ප්‍රතිඵලයකි. බන්ධනාගාර  රෝහල තුළ  මානසික රෝගීන්ට ලබාදෙන පෙති වර්ග 21000කට වඩා ගබඩා කර තිබුණා.

බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායකට අනුව – 

රැඳවියන් PCR පරීක්ෂණ ඉල්ලුවා. තියන තත්වය පැහැදිලි කරන්න නිලධාරීන් උත්සාහ කළා.  රැඳවියන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණා.  රබර් උණ්ඩ වලින් වෙඩි තියන්න සිද්ධ වුණා. බෙහෙත් ගබඩාව කඩා පැන  මානසික රෝගීන්ට ලබාදෙන බෙහෙත් පෙති සියල්ල පානය කරල තිබුණා. ඊට පස්සේ ඔවුන් එකිනෙකා මරා ගන්න පටන් ගත්තා.  ඒක තමයි තත්ත්වය බරපතළ වුණේ.

සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංගමයේ ලේකම්  සුදේශ් සිල්වාට අනුව – 

බන්ධනාගාර නිලධාරීන්ගේ වරදින් බන්ධනාගාරය තුළට  පැමිණි කොරෝනා වසංගතයේ හේතුවෙන්   පීඩාවට පත් රැඳවියන් PCR  පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය බව පැවසුවා. තමන්ට රෝගයෙන් ආරක්ෂා වෙන්න අවශ්‍ය පහසුකම් ඉල්ලුවා. 

නමුත් ආණ්ඩුව උත්තර දුන්නේ උණ්ඩයෙන්.

මහර සිද්ධිය පිළිබඳ ඇසෙන කතා ඔහොමය.

මෙහි මුලින්ම ලියා තැබිය යුතු දෙයක් තිබේ සිද්ධිය වූයේ කෙසේ දැයි දන්නේ එළියෙ සිටින අප නොව සිද්ධියට මුහුණ දුන් සහ සිද්ධිය මෙහෙය වූ පුද්ගලයන්මය.

නමුත් ඒ වටා ගොඩනැගෙන පරස්පර කරුණු සහ හොරුන්ට පෙර කෙසෙල් කැන් වැට පැනීමේ සිද්ධාන්ත අධ්‍යනය කිරීමේදී  අපට බොහෝ දෑ විශ්ලේෂණාත්මක අවබෝධ කරගත හැක.

මුලින්ම විමල් වීරවංශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශය පිළිබඳ අවධානය යොමු කරමු.

ඔහු පවසන ආකාරයට  මෙය ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන සමයේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ සිදුවීම හා සමාන සිදුවීමක් මහර බන්ධනාගාර තුළ නිර්මාණය කොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කීර්ති නාමය පළුදු කිරිම සඳහා දියත් වූ ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි. 

මෙම සිද්ධිය අද ඊයේ ඇති වූවක් නොවන අතර බුද්ධි අංශ විසින් මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබූ බවද විමල් වීරවංශ අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම මෙය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කුමන්ත්‍රණයකි. විමල් වීරවංශට අනුව අදාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා මත්පෙති පොවා රැඳවියන්ගේ පාලනය ඔහුට අවශ්‍ය ලෙස සිදුකර තිබේ.

ජාතික ආරක්ෂාව අනතුරේ?

කාන්තාවන්ගේ සනීපාරක්ෂාව  පිළිබඳ විමසද්දී ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය පැවසුවේ කාන්තාවන්ගේ සනිපාරක්ෂාව වඩා රටේ ජාතික ආරක්ෂාවට අත්සන් රජය ප්‍රමුඛතාව ලබාදී ඇති බවයි.

විමල් වීරවංශගේ කතාව තුළ මතුවන බරපතළ ප්‍රශ්නය වන්නේ බන්ධනාගාරය තුළ ඇතිවන මෙම ගැටුම් පිළිබඳ  බුද්ධි අංශ විසින් කල් තියා දැනුවත්ව සිටි බව පැවසීමයි.

කල්තියා දැන සිටියේ නම් මිනිස් ජීවිත 11ක් බිලිගෙන තවත් පුද්ගලයින් 117 දෙනෙකු තුවාල ලබා කෝටි ගණනක මහජන දේපල විනාශ වී යන තුරු උඩ බලා සිටීම බරපතළ තත්ත්වයකි .

ඒ සඳහා බුද්ධි අංශ හෝ රාජ්‍ය පාලකයන් අවශ්‍ය නැත.

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදීත් මේ රටේ බුද්ධි අංශ සහ පාලකයින් හැසිරුණු තකතිරු ආකාරය නිසා වන්දි ගෙවන්නට වූයේ අහිංසක මිනිස්සුන්ටය.

මේ රජය බලයට පත් වූයේ එම සිද්ධි පෙන්නා ජාතික ආරක්ෂාව සුරකින බවට පොර ටෝක් දී ගෙනය.නමුත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ජාතික ආරක්ෂාව තියා නිරායුද සිරකරුවන් සිටින බන්ධනාගාරයක තත්වයක් වත් පාලනය කර ගත නොහැකි දුර්වල ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්ව ඇති බව විමල්ගේ කතාවෙන් තහවුරු කරන ලදී.

පාස්කු ප්‍රහාරය සිදුවන විට එම ආණ්ඩුවේ  විමල් සිටියා නම් සියල්ලට පෙර ඉදිරියට පැන එම ප්‍රහාරය ISIS නම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානය විසින් සිදුකරන ලද එකක් බවත් රටේ පාලකයන් පිළිබඳ ජනතාවට අප්‍රසාදයක් ඇති කොට රාජ්‍ය පාලනය අවුල් කොට රටේ බලය ඇල්ලීමට ඔවුන් උත්සාහ කරන බවත් පවසා ,මිය ගිය අයගේ ජීවිත පරිත්‍යාගය  ආශිර්වාදයක් කරගෙන අගමැති ජනපති සහ බුද්ධි අංශ තවදුරටත් ශක්තිමත් කල යුතු බවත් පවසමින් එම ආණ්ඩුවේ වගකීම් විරහිත ක්‍රියාකලාපය සාධාරණීකරණයට කරනවා සැක නැත. එසේ නම් ඇතැම් විට යහපාලන ආණ්ඩුව තවමත් බලයේය.

විමල්ගේ පිහිටට සැම විටම එන විජාතික කුමන්ත්‍රණය

විමල් සැමටම කලියෙන් එළියට පැන ආණ්ඩුව සුද්ද කිරීමට ටැංකි සුද්දා තියරියට අවතීර්ණය විය.

ඔහුගේ වාග් මාලාවේ ඇති විජාතික ,ජාත්‍යන්තර , අධිරාජ්‍යවාදී, ඊනියා කුමන්ත්‍රණ කෑලි එළියට දැම්මේය.

ඔහු කීවේ මෙය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එක්ව ජනාධිපතිවරයාගේ මුහුණේ දැලි ගෑමට ගැසූ ගේමක් බවය.

නමුත් විමල්ගේ කතාවෙන් සිදුවූයේ ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය බිමට සමතලා වී යාමයි.

ජනාධිපතිවරයා එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ.කලක් රටේ ආරක්ෂක ලේකම්වරයාය. තිස් වසරක් ත්‍රස්තවාදය සමඟ සටන් කිරීමට අවශ්‍ය පරිපාලන නායකත්වය ලබා දුන් මිනිසාය.

ජනපතිධූරයට පත්ව වසරක් ගත වූ තැන ජාතිය අමතමින් බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය තුරන් කර ඇති බව පැවසූ රාජ්‍ය නායකයාය.

නමුත් විමල්ට අනුව එහෙව් නායකයාද, නායකයාගේ බුද්ධි අංශ ද නිකම්ම නිකං රැදවියන් දහ පාලෝස් දෙනෙකු සහ පෙති බෙදන මත්ද්‍රව්‍ය ජාවාරමෙකුට පදිරි විය.

ඒ කියන්නේ විමල්ගේ කතාවෙන් ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව නැමති වස්තරය ගැලවිනි.

හිරේ ඉන්නේ අතට අහුවෙන අහුවෙන බේත් ගිලින රිලව් ද?

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට අනුව බන්ධනාගාරයෙන් පලායාම උත්සාහ කරන රැඳවියන් කඩාපැන තිබෙන්නේ බන්ධනාගාර රෝහලටය.

සාමාන්‍යයෙන් රෝහලට කඩා පනින්නෙ රෝගීන් මිස පලායන්නට උත්සාහ කරන්නන් නොවේ. පලා යන්නට උත්සාහ කරන්නන් කඩා පනින්නේ සාමාන්‍යයෙන් ආයුධ ගබඩාවටය. නමුත් මහර ආයුධ ගබඩාව සුරක්ෂිතය.

මානසික අබාධ වලට ලබා දෙන බෙහෙත් පෙති වලින් ප්‍රචණ්ඩත්වය ඇති වන බව කීම විහිළුවක්.

කෙසේ වෙතත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසන ආකාරයට බන්ධනාගාර රෝහල තුළ වූ රැඳවියන් හිතුණු හිතුණු අයුරින් බෙහෙත් පෙති පානය කර තිබේ.

එහිදී ඇතිවූ මත් ගතිය ගැටුම තීව්‍ර කිරීමට හේතු වී ඇත.

ඒ අනුව අපට එළඹීමට ඇති නිගමනය වන්නේ මහර බන්ධනාගාරය තුළ සිටි රැඳවියන් අමුතුම ආකාරයක ජීවීන් කොට්ඨාශයක් වන බවයි.

එනම් ඔවුන්ගේ අතට හසුවන ඕනෑම ඖෂධයක් හිතුන හිතුන අයුරින් පානය කිරීම ඔවුන්ගේ  පුරුද්ද  බවයි.

කිසිදු ලෙසකින් මොලේ කළඳක් හෝ ඇති සත්ව කොට්ටාශයක් අතට අහුවෙන ඕනෑම දෙයක් කටේ ඔබ ගන්නේ නැත.

මෙවැනි කතා බුද්ධිමත් සජය කිසිවිටකත් එක වර පිළිගන්නට සුදානම් නැත.

අනෙක් බරපතල කරුණ වන්නේ මානසික රෝගෙන්ට ලබා දෙන ඖෂධ වලින් ප්‍රචණ්ඩත්වය ඇති වන බව කීමේ විහිලුවයි. මනෝ වෛද්‍යවරුන් මෙම කතාව හාත්ස්‍යයෙන් බැහැර කරයි. 

බන්ධනාගාරයක් ද? පිස්සන් කොටුවක් ද? මත්පෙති ගබඩාවක් ද?    

මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මානසික රෝගීන්ට ලබාදෙන පෙති වර්ග 21,000 බන්ධනාගාර රෝහල තුළ ගබඩා කර තිබූ බවයි.

නොකියා කියන්න උත්සහ කරන්නේ  මේ 21,000 ම හෝ ඉන් කොටසක් මෙම රැඳවියන්  විසින් භාවිත කරන්නට ඇති බවයි.

ඒ අනුව බලන කල මහර බන්ධනාගාරය යනු බන්ධනාගාරයකට වඩා පිස්සන් කොටුවකි.

අනික් අතට බන්ධනාගාරයක් මුවාවෙන් පවත්වාගෙන ගිය මත්පෙති ගබඩාවක් වැනිය.

අහිංසකයන්ගෙ පිටට වරද පටවන එකිනෙකා මරා ගැනීමේ කතාව.

බන්ධනාගාර කොමසාරිස් (පාලන ) චන්දන ඒකනායකට අනුව සිදුවී ඇත්තේ මත් පෙති පානය කළ රැඳවියන් එකිනෙකා මරා ගැනීමෙන් සිදු වූ විපතකි.

හානි බොහෝමයක් සිදුව තිබෙන්නේ ඔවුන් මත් පෙති පානය කිරීමෙන් අනතුරුව එකිනෙකා කාකොටා ගැනීමෙනි.

චන්දන ඒකනායකට අනුව රැඳවියන් එකිනෙකා කා කොටා ගෙන තිබේ නම් ඒ තුවක්කු වලින් වෙඩි තබා ගනිමිනි.

මන්ද වෛද්‍ය වාර්තාවල දැක්වෙන්නේ බොහෝ දෙනෙකුට තිබෙන්නේ වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල බවයි.

එමෙන්ම ඇද වැටීම් වලින් ඇති වූ තුවාල බවයි.

මේ වන විට ආණ්ඩුවේ මාධ්‍ය හොරණෑ රැල්ලට අනුව මියගොස් ඇත්තේ පට්ටම චාටර් කොරෝනා ආසාදිත කුඩ්ඩන්ය.

උන් මැරුණාට කමක් නැත.

රැල්ල හදන්නේ එහෙමය.

රිමාන්ඩ් සිරකරුවන් යනු සැකකරුවන් මිසක අපරාධකරුවන් නොවේ.

යුක්තිය පසඳලීමේ කාර්යය තුළ පිළිගන්නා ප්‍රධානතම තත්ත්වයක් වන්නේ ඕනෑම විත්තිකරුවෙකු  නඩු විමසීමක් අවසන වරදකරුවෙකු බවට පත් කරන තෙක් ඔහු සැකකරුවෙක් පමණක් යන අදහසයි.

එනම් ඒ තුළ ඔහුට සාමාන්‍ය පුරවැසි අයිතිවාසිකම් ඒ අයුරින්ම භුක්තිවිදීමේ අයිතිය උදාකර තිබේ.

නමුත් මේ යන විදියට රිමාන්ඩ් රැඳවියන් අපරාධකරුවන් කර තීරණයක් ලබා දී අවසන්ය.

එමෙන්ම ඔවුන් කොරෝනා ආසාදිතයින් වන බැවින් මිය ගියාට කම් නැති යන්න සිතන තැනට සමාජය තල්ලු කර තිබේ.

පරස්පර කතා ගොතන්නේ කවුදැයි ? ඇයිදැයි? කගේ උවමනාවට දැයි? කියා දන්නේ ඔවුන්මය. නමුත් එළියේ සිට බලන විට අපට නම් පෙනෙන්නේ මෙම සිදුවීමෙන් ආණ්පඩුව සහ එයට සම්බන්ධ විවිධ කණ්ඩායම් හතර බීරි කතා තවානක් දමා ඇති බවයි.

තමන් දරුවන් සැමියන් පියවරුන් ඉල්ලා හඬා වැටෙන මිනිසුන් වෙනුවෙන් සාධාරණයක් කරන්නට මේ ආණ්ඩුවට නොහැකි බව නම් ඉතා පැහැදිලිය.

සිරකරුවෝ මනුෂ්‍යයෝය වුවද, මේ වන විට ඔවුන් අමනුෂ්‍යයන් බවට සමාජය ඉදිරියේ වර්ණ ගන්වමින් තිබේ.

ඇත්තටම වුයේ කුමක් දැයි කාගේ කාගේත් හඬා වැටෙන හෘද සාක්ෂිය කාට කාටත් කියා දෙනු ඇත.

මේ කාලකන්නි නාටක ඉවර වන්නේ කවදාදැයි අපි දන්නේ නැත.

බන්ධනාගාර රැඳවියන් ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නට බැරි ආණ්ඩුවක් රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාවට වගකියන්නේ කෙසේදැයි අසන්නට අපට සිදුවේ.

හිරගෙදරට කොරෝනා ගෙන ආවේ මුහුදේ ව්‍යාපාර කරන්නට ගොස් නඩු වැටුනු විශ්‍රාමික හමුදා නිලධාරියෙකු ට අයත් Man power ආයතනයකට වැලිකඩ සිරකරුවන් ගෙනයාමෙන් බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පුද්ගලික රූපවාහිනී නාලිකාවක සංවාදයක දී ප්‍රකාශයක් සිදු කර තිබුණි.

එසේ නම්  වරද ඇත්තේ කොතැන ද?

මිනිස්සුන්ට තමන්ගේ සෞඛ්‍යය වෙනුවෙන් රැකීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නැතිද? 

අද මේ සියල්ල අභියෝගයට ලක්වී තිබේ.

ආණ්ඩුව වගකිව යුතු ඕනෑම බරපතළ අතපසු වීමකදී හෝ වරදක දී ආණ්ඩු විසින් ම පත් කර ගන්නා කොමිසම් සහ කමිටු ගැන රටේ ජනතාවට විශ්වාසයක් නැත. කුමන රජය බලයේ හිටියත් එහි වෙනසක් ද නැත.

අවසානයේ අපට සිදුවන්නේ සියල්ල යටපත් කරමින් එක එක තිර පිටපත්කරුවන්ගේ අතින් ලියවෙන වැල් ටෙලියක ප්‍රේක්ෂකයන් වීමට පමණි.

© සාරාර්ථ රාජපක්ෂ 

About The Author