Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මෑණියෝ, වෙදෙක් වෙයි – පැණිය, බෙහෙතක් වෙයි

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක් වූ කෑගල්ලේ දේවාලයක මෑණියන් නමින් ප්‍රකටව කටයුතු කල ධම්මික බණ්ඩාර නැමැත්තෙකු විසින් කොරෝනා රෝගය සුව කිරීම සදහා නිපදවන ලද පැණිය ආයුර්වේද කොමසාරිස්වරයා විසින් දේශීය ඖෂධයක් ලෙස ලියාපදිංචි කර තිබෙනවා.

ඒ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් එය දේශීය ඖෂධයක් ලෙස භාවිත කිරීම සදහා අනුමැතිය ලබාදීමෙන් අනතුරුවය.

පැණිය ට අමතරව කපු මහතෙකු වූ ධම්මික බණ්ඩාර මහතා වෙද මහතෙකු ලෙස හදුන්ව දීමටද මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, කුමාරි වීරසේකර මහත්මිය කටයුතු කළ ආකාරයද දක්නට ලැබුණා.

ඇය පළ කළ අදහස්,

“ධම්මික වෙද මහතාගේ ඖෂධය පිළිබඳව සියලුම තාක්ෂණික වාර්තා ඇගයීමට ලක්කිරීමෙන් අනතුරුව, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් එය දේශීය ඖෂධයක් ලෙස භාවිත කිරීමට අනුමැතිය ලබාදීලා තියෙනවා. එම අනුමැතිය මත ආයුර්වේද කොමසාරිස්වරයා විසින් අද එය දේශීය ඖෂධයක් ලෙස ලියාපදිංචි කරනු ලැබුවා. ඒ ලියාපදිංචි කිරීම කෙසේ නමුත් මෙය කොවිඩ් රෝගය සඳහා සුදුසු ඖෂධයක් ද යන්න තීරණය කරනු ලබන්නේ සායනික පරීක්ෂණවලින් අනතුරුවයි. ඒ සඳහා පත්කරන ලද විද්වත් කමිටුව විසින් එම සායනික පරීක්ෂණ කටයුතු ඉදිරියේ දී පවත්වාවි. ඉන් අනතුරුව තමා අපි මෙම ඖෂධය කොවිඩ් රෝගය සඳහා සුදුසු ඖෂධයක් ද යන්න නිගමනය කරනු ලබන්නේ. “

ධම්මික බණ්ඩාර මහතා විසින් කොවිඩ් මර්දනය සඳහා අත්හදා බැලුණු ඖෂධය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ද අද තහවුරු කළා.

ඒ අනුව මෙම ඖෂධය පිළිබඳව කරුණු රැසක් සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව එම ඖෂධයට නිෂ්පාදන බලය සඳහා අවසර ලබා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව තීරණය කර තිබේ.