Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මැසචුසෙට්ස්වරුන් විසින් තහනම් කෙරුණු නත්තල.

මෙයට වසර ගණනාවකට ඉහත දී බ්‍රිතාන්‍යයන් ඇමරිකාවට සංක්‍රමණය වීමෙන් පසු, නව එංගලන්තය තුළ වඩාත් ප්‍රසිද්ධ වූ ප්‍රදේශය වූයේ “මැසචුසෙට්ස් බේ” ය. එකල වැඩි බලයක් තිබුණේ පියුරිටන්වරුන්ට ය. එනම්, ජේසුස් වහන්සේගේ ආගම තුළ ඇති කතෝලිකයින්ට අයත් සියලු චාරිත්‍ර ඉවත් කිරීම සිය ජීවිතයේ පරම අභිලාෂය කර ගත් පිරිස ය. එ් අනුව මැසචුසෙට්ස් ප්‍රදේශයේ විසූ පියුරිටන්වරුන් වූ එබෙනෙසර් ස්කෘජ් සහ ග්‍රින්ච් යන ප්‍රධානීන් දෙදෙනා කිසිදු ඇහිල්ලක් බැලිල්ලක් නොමැති ව එම ජනපදයේ නත්තල් උත්සවය මුළු පරම්පරාවක් සඳහා ම තහනම් කළහ. මන්දයත් උපවාසය හැරුණු කොට නත්තල හා බැඳුණු ඉතිරි සියලු උත්සව කතෝලික සම්ප්‍රදායන් තුළින් පැමිණි බවට ඔවුන් විශ්වාස කළ බැවිනි.

1630 දී එංගලන්තයේ සිට මැසචුසෙට්ස් බේ ජනපදය සොයා පැමිණි පියුරිටන්වරුන්ගේ හැසිරීම භක්තිමත් කිතුනුවන් හට පුදුමයට කරුණක් විය. ඒ වන විටත් එම ජනපද වාසීන් නිවාඩු ලබා ගනිමින් නත්තල සැමරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබුණ ද, පියුරිටන්වරු ඔවුන්ගේ සියලු වෙළඳසල් සහ පාසල් විවෘත කළහ. එපමණක් නොව නත්තල් දිනයේ දී අසාධාරණ අන්දමින් පල්ලිය වසා දැමූහ. මෙම නිවාඩු දිනය මෝඩකමක් ලෙස සලකා, නොසලකා හැරීමට එම ජනතාවට බල කෙරිණි.

පියුරිටන් ආණ්ඩුකාරවරයෙක් නත්තල් සැමරුමට බාධා කරයි.

1647 දී එංගලන්තයේ පියුරිටන්වරුන් විසින් පළමුවන චාල්ස් රජු බලයෙන් පහ කිරීමෙන් පසු, එම රජුගේ හිස ගසා දමන ලදී. ඔවුන්ගේ පළමු නීති මාලාව අතර නත්තල් උත්සවය තහනම් කිරීම ද විය. ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසින් දන්වනු ලැබුවේ දෙසැම්බර් 25 වන දින සියලු  ඉංග්‍රීසි ජාතිකයින් ඔවුන්ගේ පාපවලට ගණන් දිය යුතු බව ය. එනම්, නිරාහාරව සිටීම හා නින්දාවට ලක් වීම ය. නව එංගලන්තයේ පියුරිටන්වරු අවසානයේ පැරණි එංගලන්තයේ සිටි අයගේ නායකත්වය ම අනුගමනය කිරීමට පටන් ගත් අතර, 1659 දී මැසචුසෙට්ස් බේ ජනපදයේ මහාධිකරණය විසින් නත්තල් නිවාඩු දිනය ප්‍රසිද්ධියේ සැමරීම සාපරාධී වරදක් බවට පත් කරමින් නව නීතියක් නිකුත් කළේ ය. ඒ අනුව කිසියම් පුද්ගලයෙකු විසින් නත්තල උත්සවයක් ලෙස සැමරුවහොත් හෝ නිවාඩු ලබා ගතහොත් ඔහු නියත වශයෙන් ම සිලිං 5ක දඩයකට යටත් කරන ලදී. 

පියුරිටන්වරු නත්තලට වෛර කළේ ඇයි?  

“නත්තල් සටන” ග්‍රන්ථයේ කතුවරයා වන ස්ටීවන් නිසෙන්බෝම් පවසන්නේ පියුරිටන්වරු නත්තලට මෙතරම් වෛර කරන්නට ඇත්තේ පියුරිටන්වරු රෙපෙරමාදු භක්තිකයින් වූ බැවින් විය හැකි බව ය. ඔවුන්ගේ ම ආගමට අදාළ කොටසක් වුවත් කතෝලිකයින් ද නිවැරදි ආගම් භක්තිකයින් බව පිළිගැනීමට ඔවුහු අකැමැති වූහ. කතෝලිකයින් විසින් මහ ඉහළින් සමරන ලද නත්තල ද ප්‍රතික්ෂේප කිරීමට පියුරිටන්වරු පෙළඹුණාහ.

බයිබලය ගැඹුරින් අර්ථකථනය කරමින් පියුරිටන්වරු සඳහන් කළේ නත්තල් උත්සවය සැමරීමට කිසිදු ශුද්ධ ලියවිලිමය පදනමක් නොමැති බව ය. ඔවුන් උත්සාහ කළේ සමාජයක් පවත්වාගෙන යාම සඳහා නීති සම්පාදනය කිරීමට ය. එනමුත් සැබැවින් ම නත්තල් උත්සවයක් පැවැත්වීම මඟින් බයිබල් පාඨ කිසිවක් උල්ලංඝණය නොවුව ද ජේසු උපත සැමරීම පිළිබඳ බයිබලයේ කොතැනකවත් සඳහන් වන්නේ නැත. එය සත්‍යයක් විය.

සියල්ලට ම වඩා පියුරිටන්වරුන් හට නත්තල භයානක වූයේ ඔවුනට අනුව එහි තිබූ මිථ්‍යාදෘෂ්ටික මූලයන් නිසා ය. ප්‍රසිද්ධ පියුරිටන් ඇමතිවරයකු තර්ක කළේ ක්‍රිස්තුස් වහන්සේ ඉපදුණේ එම මාසයේ නොවන බවට යි. පෙර ජීවත් වූ මිථ්‍යාදෘෂ්ටිකයන් විසින් අදහනු ලැබූ සූර්යයාගේ මංගල්‍යය යෙදී තිබුණේ දෙසැම්බර් 25 වන දිනට යි. එය ඔවුන්ගේ නිවාඩු දිනයක් වූ අතර, ගම ම එක්රොක් වී සතියක පමණ කාලයක් උත්සවාකාරයෙන් ගත කළහ. ක්‍රිස්තියානි ආගම පැතිරීමට පටන් ගත් කාලයේ දී එම ආගමික නායකයින් සිතුවේ මෙම ආගම එම මිත්‍යාදෘෂ්ටිකයින් හට බද්ධ කිරීමේ පහසු ම ක්‍රමය ඔවුන්ගේ දෙවියන් සහ ජේසුස් වහන්සේ සම්බන්ධ කිරීම බව යි. ඒ අනුව ඔවුන් ඇදහූ දෙවියන්ගේ මංගල්‍යය දිනය ජේසුස් වහන්සේගේ උපන් දිනය හා සමපාත කෙරිණි. එය ද නිවැරැදි තර්කයක් විය. නිසෙන්බෝම් මෙසේ පවසයි.

 “කතෝලිකයෝ මෙම උත්සවය කිසිදු බයිබලානුකූල පදනමකින් තොර ව භාර ගත්හ. සැබැවින් ම මෙම නිවාඩුවට ජේසුස් වහන්සේ උපන් කාලය, සූර්යග්‍රහණය සහ ක්‍රිස්තියානි ධර්මය සමග කිසිදු සම්බන්ධයක් නැත.”

ජනතාව නත්තල් උත්සවය පැවැත්වූ මිථ්‍යාදෘෂ්ටික ස්වරූපය ද පියුරිටන්වරුන් හට කරදරයක් විය. 16 වන සියවසේ විසූ පූජකවරයෙකු වන හියු ලැටිමර් මෙසේ ලියා තිබේ. “නත්තල් දින 12 තුළ මිනිස්සු ක්‍රිස්තුස් වහන්සේට අගෞරව කරති.” සැබැවින් ම 1600 ගණන්වල නත්තල් උත්සවය නිහඬ රාත්‍රියක් නොවීය.  පූජනීය අවස්ථාවකට වඩා රළු, වසන්ත විවේකයක් සඳහා වඩාත් කැමැති වූ නත්තල් නරඹන්නෝ, මෙම උත්සවය බලපත්‍ර සහිත ව බීමට, දාදු දැමීමට සහ කාඩ් සෙල්ලම් කිරීමට නිදහසට කරුණක් ලෙස භාවිත කළහ.

මෙම කාලයේ දී බොහෝ විට තරුණ තරුණියන්ගේ හා ආධුනිකයින්ගේ කණ්ඩායම් ගෙයින් ගෙට ගොස් සමෘද්ධිමත් මිනිසුන්ගේ දොරවල් ඔවුන්ට විවෘත කරන ලෙස ඉල්ලා සිටියහ. නත්තල් කාලයේ දී ධනවතුන් විසින් තමා වැනි නිර්ධනයන් හට සේවය කළ යුතු බව ඔවුහු තදින් ම විශ්වාස කළහ. කිසියම් ධනවතෙකු දුප්පතුන් හට මුදල් හෝ ආහාර ලබා දීම ප්‍රතික්ෂ්ප කළහොත් එම පිරිස විසින් ධනවතාට හා ඔහුගේ නිවසට අලාභ හානි කළ බව සඳහන් වේ.

1660 දී රාජාණ්ඩුව යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු එංගලන්තයේ නත්තල් උත්සවය යළිත් වරක් නීත්‍යනුකූලව පැවැත්වීමට පටන් ගැනිණි. එහෙත් මැසචුසෙට්ස්වරුන් වෙත පනවන ලද තහනම ඉදිරි පරම්පරා ගණනාවක් සඳහා එම පොත්වල ලියවී තිබිණි. ප්‍රසිද්ධියේ තහනම් කර තිබුණ ද, මෙම නත්තල් උත්සවය පෞද්ගලික ව නිවෙස් තුළ සමරන ලදී. විශේෂයෙන් බොස්ටන් වැනි ප්‍රදේශවලත්,  පියුරිටන්වරුන්ගේ බල කේන්ද්‍රයට වඩා දුරින් පිහිටි ධීවර නගරවලත්, අක්‍රමිකතා, අධික ලෙස මත්පැන් පානය සහ ලිහිල් ලිංගික ක්‍රියාකාරකම් සහිත ව කුප්‍රකට අන්දමින් නත්තල පැවැත්වුණු බව පෙනේ.

නිසෙන්බෝම්ට අනුව ඔහුගේ පර්යේෂණවල දී, 1659 නීතිය යටතේ කිසිදු නඩු පැවරීමක් පිළිබඳ වාර්තා හමු වී නැත. රජය විසින් කෙතරම් තහනම් කර තිබුණ ද, කිසියම් දුරකට ම්ලේච්ඡ අන්දමින් උත්සවය පවත්වා තිබුණ ද, ඔවුන් එයට කිසිදු නීතිමය පියවරක් ගෙන නැත. “තහනම්” යන වචනය පියුරිටන්වරුන්ගේ ව්‍යවස්ථාවේ සඳහන් ව තිබූ බව සැබෑවකි. එහෙත් හොර රහසේ හෝ පෞද්ගලික ව සිදු කෙරුණු කුඩා උත්සව සඳහා රජය නෑසූ කන් ව සිටි බව පෙනේ. ඊට හේතුව වශයෙන් කිව හැක්කේ තමන් විසින් වසර ගණනාවක් ආශාවෙන් සමරනු ලැබූ උත්සවයක් තහනම් කිරීමට එරෙහි ව ජනතාව අතරින් මතු විය හැකි කැරැල්ල වැළැක්වීමේ අරමුණින් රජය එවැනි සුළු සුළු කරුණු නොසලකා හැර තිබූ බව යි.

කෙසේ වෙතත් දෙවන චාල්ස් රජුගේ පාලන සමයේ දී යටත් විජිතයේ පියුරිටන් නායකයින් හට ඔවුන්ගේ අසාධාරණ නීති ලිහිල් කිරීමටත් නැතහොත් ඔටුන්න අහිමි කර ගැනීමටත් අවදානමක් ඇති විය. එහෙයින් අවසානයේ දී 1681 වසර වන විට මැසචුසෙට්ස් බේ ජනපදය ඇතුළු නත්තල් තහනම පැනවූ සියලු ප්‍රදේශවල එම නීතිය අහෝසි කෙරිණි.

එනමුදු නත්තල් උත්සවය ප්‍රසිද්ධියේ සැමරීමට එරෙහි ව තිබූ විරෝධාකල්පය ඉදිරි වසර ගණනාව පුරාවට ම මැසචුසෙට්ස් නගරය තුළ පැවතිණි. අලුතින් පත් කරන ලද රාජකීය ආණ්ඩුකාර ශ්‍රීමත් එඩ්මන්ඩ් ඇන්ඩ්‍රොස් 1686 දී බොස්ටන් නගර සභාවේ නත්තල් දින ආගමික කටයුතුවලට සහභාගී වූයේ ය. ඔහු යාඥා කරමින් ගීතිකා ගායනා කළ අතර, එමඟින් ඒ වන විටත් ඔහුගේ තනතුර වෙත එල්ල වෙමින් තිබූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවලින් ආරක්ෂා වීමට ඉඩ ලැබුණු බව කියවේ. තව ද 1800 ගණන් වන තෙක් ම දෙසැම්බර් 25 වන දින දී මැසචුසෙට්ස්හි ව්‍යාපාරික ස්ථාන සහ පාසල් විවෘත ව පැවති අතර බොහෝ පල්ලි වසා දමා තිබුණි. 1856 වන තෙක් දෙසැම්බර් 25 වන දිනට යෙදුණු නත්තල පමණක් නොව ජූලි 04 දින නිදහස් උත්සවය සහ ජෝර්ජ් වොෂිංටන්ගේ උපන් දිනය ද මැසචුසෙට්ස්හි ප්‍රසිද්ධ නිවාඩු දිනයන් බවට පත් වූයේ නැත.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author