Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මැරඩෝනා සමඟ එළි බැසි වාමාංශික දේශපාලනය.

ARCHIV - 24.07.2011, Kuba, Havanna: Der venezolanische Präsidenten Hugo Chavez (r) begrüßt den ehemaligen Fußballstar Diego Armando Maradona (l) und kubanischen Staatschef Fidel Castro. Chávez dankte Maradona für seinen Besuch in Havanna, wo der venezolanische Führer eine medizinische Behandlung gegen Krebs erhielt. Maradona ist tot. Er starb im Alter von 60 Jahren, wie der argentinische Fußballverband AFA am 25.11.2020 mitteilte. Foto: Prensa Miraflores Handout/EFE / PRENSA MIRAFLORES/EPA/dpa +++ dpa-Bildfunk +++

ඩියාගෝ මැරඩෝනා මිය ගියේ ය. 1994 වසර දක්වා ඔහු ක්‍රීඩා කළ ආජන්ටිනා පාපන්දු කණ්ඩායමට පමණක් නොව ලොවට ම ඔහු පුරාවෘත්තයකි. මිය යන විට 60 වැනි වියේ පසු වුව ද මැරඩෝනා රෝග කිහිපයකින් ම පෙළෙමින් සිටි බව කියවේ. 1986 පාපන්දු ලෝක කුසලානය ආජන්ටිනාවට හිමි කර දුන් ඔහුගේ එම අවසන් ගෝලය “දි හෑන්ඩ් ඔෆ් ද ගෝඩ්” යනුවෙන් හැඳින්වේ. මැරඩෝනා රණ්ඩු කෙක්කක් විය. ඔහුට විරුද්ධ චෝදනා බොහොමයකි. ඒ කෙසේ වුවත් ඒ සියල්ල ඔහු සිදු කළේ නියම සමාජවාදියෙකු වශයෙන් අසාධාරණයට විරුද්ධ වීම සඳහා බව බොහෝ දෙනෙකුගේ අදහස යි.

මැරඩෝනා චේ ගුවේරාගේ රසිකයෙකු වූ අතර ෆිදෙල් කැස්ත්‍රෝගේ මිතුරෙකි. ඔහු චේ ගුවේරාගේ රුව සිය දකුණු අතේ පච්ච කොටා තිබිණි. ඔහුගේ වම් කකුලේ ෆිදෙල්ගේ පච්චයක් තිබී ඇත. එක් අයෙක් මාක්ස් – ලෙනින්වාදී විප්ලවවාදියෙකු හා කීර්තිමත් දේශපාලනඥයෙකි. අනෙකා පාපන්දු ක්‍රීඩකයෙකි. වර්තමාන ලෝකයේ, එවැනි විවිධ පසුබිම් සහිත පුද්ගලයන් දෙදෙනෙකු එකිනෙකා සමඟ සම්බන්ධ වේ යැයි සිතීම දුෂ්කර ය. නමුත් මැරඩෝනා, ෆිදෙල් කැස්ත්‍රෝ නම් වූ කියුබානු නායකයා තම දෙවන පියා ලෙස සලකා තිබේ. එනම්, එතැන මිතුරෙකුට වඩා වැඩි සම්බන්ධයක් තිබී ඇත.  

ඩියාගෝ මැරඩෝනාගේ ජීවිතය තුළ දේශපාලනය යනු පාපන්දු ක්‍රීඩාව මෙන් ම තීරණාත්මක අංගයක් විය. මෙම ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා කිසි විටෙකත් තම දේශපාලන අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට පැකිළුණේ නැත. විශේෂයෙන් ලතින් ඇමරිකාවේ වාමාංශික දේශපාලනඥයන්ට සහාය දැක්වීමේ දී ඔහුගේ සමාජවාදී අදහස් වඩාත් කැපී පෙනුණි.

ෆිදෙල් කැස්ත්‍රෝ සමඟ ඩියාගෝ මැරඩෝනාගේ මිත්‍රත්වය කෙසේ සිදු විණිදැයි සොයා බලන විට පෙනී යන්නේ මැරඩෝනා ප්‍රථම වරට කස්ත්‍රෝ මුණගැසුණේ ආර්ජන්ටිනාව ලෝක කුසලානය වෙත ගෙන ගොස් වසරකට පසු වන බව ය. කෙසේ වෙතත්, ඔවුන්ගේ මිත්‍රත්වය මල්ඵල ගැන්වුණේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි ඔහු 2000 දශකයේ මුල් භාගයේ දී පමණ කියුබාවට ගොස් එම පුරුද්දෙන් ගැලවීමට ප්‍රතිකාර ලබා ගත් කාලයේ දී ය. කියුබාවේ වසර 4ක් ගත කළ අවධියේ දී ෆිදෙල් කැස්ත්‍රෝ ඔහුට උදව් කළ ආකාරය පිළිබඳ මැරඩෝනා බොහෝ විට කතා කර තිබුණේ කොකේන් නිසා ඇති වූ හෘදයාබාධයකින් කස්ත්‍රෝ මිය යාමෙන් පසුව ය.

“ආර්ජන්ටිනාවේ සායන වසා දමන විට කස්ත්‍රෝ කියුබාවේ දොරවල් මට විවෘත කළේය. ආජන්ටිනාව සිය දොරවල් වසා දැමුවේ මාගේ මරණය ඔවුන්ගේ අතින් සිදු වීම අවශ්‍ය නොවූ බැවින් විය යුතු ය.” යනුවෙන් මැරඩෝනා පවසා තිබේ.

කියුබානු නායකයා තමාට සෑම උදෑසනක ම ඇවිදීමට ආරාධනා කළ බවත් ඔහු සමඟ දේශපාලනය හා ක්‍රීඩාව පිළිබඳ  සාකච්ඡා කරන බවත් මැරඩෝනා අනාවරණය කළේය. 2005 වසරේ විකාශනය වූ රූපවාහිනී වැඩසටහනක දී ෆිදෙල් කැස්ත්‍රෝ සහ මැරඩෝනා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත් විණි. එහි දී ඒ දෙදෙනා එක් ව ඇමරිකානු විරෝධී හැඟීම් අතිශය ප්‍රබල ලෙස ගෙනහැර දැක්වූහ. එවකට ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ජෝර්ජ් බුෂ් නැවත තේරී පත් වී තිබිණි. කස්ත්‍රෝ හා මැරඩෝනා විසින් බුෂ් හට පහර දී තිබුණේ “බුෂ් යනු වංචාවේත්, මියාමිහි ත්‍රස්තවාදී මාෆියාවේත් උපත!” යනුවෙන් පවසමිනි.

2016 නොවැම්බර් 25 වන දින ෆිදෙල් කැස්ත්‍රෝ අභාවප්‍රාප්ත වන විට මැරඩෝනා මහත් සේ වේදනාවට පත් විය.  

“මට මාගේ ශෝකය පාලනය කර ගත නොහැකි විය. පියාගේ මරණයෙන් පසුව, මට දැනුණු ගැඹුරුතම ශෝකය එය යි” යනුවෙන් ඔහු පවසා තිබේ. පසුව මැරඩෝනා හවානා වෙත ගිය අතර එහි දී සිය හොඳ මිතුරාට මෙන් ම “දෙවන පියාට” උපහාර දැක්වීය. ඉන් වසර හතරකට පසු හරියට ම නොවැම්බර් 25 වන දින මැරඩෝනා හෘදයාබාධයකින් මිය ගියේ බුවනෝස් අයර්ස්හි පිහිටි ඔහුගේ නිවසේ දී ය.

වෙනිසියුලාවෙ හිටපු ජනාධිපති හියුගෝ චාවේස් සමඟ ද මැරඩෝනා හොඳ සම්බන්ධතාවයක් පැවැත්වීම පුදුමයක් නොවේ. චාවේස් විසින් පවත්වන ලද රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ ඔහු එක්සත් ජනපදය කෙරෙහි සිය වෛරය ප්‍රකාශ කර ඇත්තේ “මම එක්සත් ජනපදයෙන් එන සෑම දෙයකටම වෛර කරමි. මගේ මුළු ශක්තියෙන් මම එයට වෛර කරමි.” යනුවෙන් පවසමිනි.

මැරඩෝනා පාපන්දු තරුවක් ලෙස සිටි සමයේ පවා ඔහුගේ දේශපාලන අදහස් පැහැදිලි ව ප්‍රකාශ විය. 1986 දී පැවති ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේ දී ආර්ජන්ටිනාව එංගලන්තයට එරෙහිව ගෝල 2-1 ක ජයක් ලබා ගත් පසු මැරඩෝනා එම රට සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළේය. ඔහු පැවසූ පරිදි එය තමා හට පාපන්දු තරඟයකට වඩා වැඩි යමක් විය. මන්දයත් මැරඩෝනා එම ජයග්‍රහණය ලබා ගැනීම තුළ සිදු කර තිබුණේ 1982 වසරේ ෆෝක්ලන්ඩ් දූපත්වලට එරෙහි යුද්ධයේ දී ආර්ජන්ටිනාව පරාජය කිරීම වෙනුවෙන් පළිගැනීමකි. 2000 දී ප්‍රකාශයට පත් කරන ලද “අයි ඩියාගෝ” නම් ඔහුගේ ස්වයං චරිතාපදානයේ මැරඩෝනා විසින් එංගලන්තයට එරෙහි ව ලබා ගත් ජයග්‍රහණය විස්තර කළේ “අපේ ධජය ආරක්ෂා කිරීමක්” ලෙස ය.

“ලාස් මල්විනාස් යථා තත්වයට පත් කිරීම සඳහා අපගේ ක්‍රමය එය යි.” යනුවෙන් ඔහු ලියුවේ ය. “එය තරඟයක් ජය ගැනීමට උත්සාහ කරනවාට වඩා වැඩි දෙයක්. අපි කිව්වා ක්‍රීඩාව යුද්ධයට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. නමුත් අපි දැනගෙන හිටියා ආර්ජන්ටිනාවෝ එතන මැරිලා හිටියා කියලා. ඔවුන් කුරුල්ලන් වගේ මරලා දැම්මා කියලා. මේක අපේ පළිගැනීම. ඒක ලොකු දෙයක්. අපි අපටත් වඩා අපේ ධජය ආරක්ෂා කරමින් සිටින්නෙමු.” යනුවෙන් මැරඩෝනා විස්තර කර තිබේ.

පසුකාලීන ව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුව ද, මැරඩෝනා වචනාර්ථයෙන් ම කොමියුනිස්ට්වාදියෙක් විය. ලොව ම සමාජවාදී ක්‍රමයකට අනුගත වීම පිළිබඳ සිහින දුටු ඔහු ධනවාදීන් හැම විට ම පිළිකුල් කළේ ය. ඇතැම් බටහිර දේශපාලන විචාරකයින්ට අනුව මැරඩෝනා යනු ලතින් ඇමරිකානු වාමාංශිකයින්ගේ ප්‍රචාරක මෙවලමකි. කෙසේ වුවත් එය සත්‍ය නොවන බව පෙනී යන්නේ දුගී පැල්පතක උපත ලබා, සමාජ අසාධාරණය සියැසින් දුටු මැරඩෝනා වාමාංශික දේශපාලනයේ යෙදුණේ සිය හදවතින් ම වන බවට ඕනෑ තරම් සාක්ෂි සොයා ගත හැකි වන බැවිනි.

ශ්‍රීනි ලංකා ජයකොඩි.

About The Author