Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මැකෝ මහ බැංකු අධිපතිගෙන් සල්ලි ඉල්ලයි

මැතිවරණ කටයුතු සඳහා ඉන්ධන සහ විදුලිය අඛණ්ඩව සැපයීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ප්‍රමාණවත් ප්‍රතිපාදන සපයා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ලිපියක් යොමු කරමින් පෙරේදා (23) ඉල්ලීමක් කළේය.

ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා නොදුනහොත් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන බවද ඔහු සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව යන ආයතනවල ප්‍රධානීන් සමග මැතිවරණ කොමිෂන් සභාව පැවැත්වූ සාකච්ඡාවේදී පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ විදුලිය ලබාදීම සඳහා ප්‍රතිපාදන නොමැති බව ප්‍රකාශ කළ හෙයින් එම ආයතන වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මෙම ඉල්ලීම කළ බවද පුංචිහේවා මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය බලාගෙන සිටින බව නීතිඥ නිමල් පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවසීය.

ඡන්ද මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සඳහා අඛණ්ඩව විදුලිය සැපයුමක් අවශ්‍ය වන අතර මැතිවරණ නිලධාරීන්ගේ සහ ඡන්ද අපේක්ෂකයන්ගේ ගමනාගමන කටයුතු සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක්ද එම කාලසීමාවේදී අවශ්‍ය වන්නේය.

මේ අනුව මැතිවරණය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් සහ අඛණ්ඩව විදුලිය සැපයුමක් ලබාදීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව එම ආයතන ප්‍රධානීන්ගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.

About The Author